මට හිතෙන්නෙ ආදරේ කියන්නෙ තමන් කළ යුතු දෙයක්. මට හිතෙන්නෙ ආදරේ කියන්නෙ ක්‍රියාපදයක්.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෙටිහාමි (අප්පුච්චා)

කෝ රත්තරනේ දරුවා?

සුගුණහාමි (කෙටිහාමිගේ ලේලිය)

කිරි බීලා නිදාගත්තා.

කෙටිහාමි

හනේ මයෙ අම්මෙ, දොරවල් එහෙම හොඳට අඩවල් කොරලා නේද ආවෙ? ඇහේම තියාගෙන බලාගන්ට ඕනෑ නොදරුවන්ව.

සුගුණහාමි

මං අගුළු දාලා ආවේ.

මේ විදියට සුගුණහාමි අපට මුණගැහෙන්නේ විකාශය කෙරෙන සුදත් රෝහණ අධ්‍යක්ෂණය කළ, මාණික්කාවත ටෙලි මාලාව ඔස්සේය. සුගුණහාමිට ජීවය දෙන ඇය තිලක්ෂණී රත්නායක රංගන ශිල්පිණියයි.

තිලක්ෂණී, මේ වගේ චරිතයකට දායක වුණේ පළමු වතාවටද?

මේ විදියෙ චරිතයකට මීට පෙර දායක වුණා. ඒත් ඒක තවම විකාශය වුණේ නැහැ.

මේ දිනවල තිලක්ෂණී අපට හමුවන්නෙ මේ විදියට මාණික්කාවතේ සුගුණහාමි ලෙස විතරද?

ඔව්, මේ දිනවල විකාශය වෙන්නෙ මම රඟපෑ නාට්‍ය වලින් මාණික්කාවත විතරයි. සමහර විට ළඟදීම සුරාජ් මාපා අධ්‍යක්ෂණය කළ නොනිමි නාට්‍යය විකාශය වේවි.

වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව යන මේ අංශ තුනේම තිලක්ෂණී සිටින කෙනෙක්. එතකොට, වෘත්තිය විදියට රඟපෑම විතරද කරන්නෙ?

වෘත්තියක් විදියට මේ මොහොත වෙන විට නම්, රටේ ඇතිවූ වාතාවරණය එක්ක ප්‍රධාන වෘත්තිය කරගෙන කලාව ඇතුලෙ විතරක් සිටීම අසීරු දෙයක්. ඉතින් ඒ නිසා මගේ අනෙක් දක්ෂතාවය වන භාෂා පරිවර්ථන (සිංහල – ඉංග්‍රීසි භාෂාවට) කටයුතු කරනවා. ඒ අතරේ පර්යේෂණ කටයුතු කරන ආයතනයකටත් සේවය ලබාදෙනවා. ඒ අතරේදී මට තෘප්තිමත් විය හැකි කලා කටයුත්තකදී ඒකට සම්බන්ධ වෙනවා. මේ තියෙන ස්වභාවය එක්ක ඒ විදියට තමයි කටයුතු කරන්නෙ.

ඒ ස්වභාවයට සමීපව ගත කරන තිලක්ෂණීගෙ ජීවිතය මොන වගේද?

ජීවිතයේ මේ දිනවල වැඩිපුර ගෙවෙන්නෙ පාඩම් වැඩ වලට.

හැමදාම වගේ කතා කළොත් පාඩම් වැඩවල නිරතවන කෙනෙක්, ඒ ගැන කියමු? මොනවද මේ පාඩම්?

කාලයෙන් කාලයට විෂය වෙනස් වෙනවා. මේ දවස්වල Speech and Drama විෂයෙහි ඉහළම ශ්‍රේණිය වන Grade – 8 වෙනුවෙන් සූදානම් වෙනවා. ට්‍රිනිටි කොලේජ් ඔෆ් ලන්ඩන් අධ්‍යාපනික ආයතනයෙන් තමයි එය කරන්නෙ. මේ හැදෑරීම ඇත්තටම අපේ රංගන විෂයට ඉතාම වැදගත් වෙනවා.

අපි සුගුණහාමි ගැන කතා කරමු. ඒ චරිතය ලැබුණාම කොහොමද ඒකට ලැහැස්ති වුණේ?

සුදත් රෝහණ මහත්මයා මේ චරිතය ගැන මට වටහා දුන්නාට ඒක ලොකු අභියෝගයක් කියලයි දැනුණෙ. ඒක වයස 20 වගේ කාලයේ සිට 73 දක්වා වගේ කාලයක් දක්වා නිරූපණය කරන්න තියෙන චරිතයක්. ඒ වෙනුවෙන් මට මහන්සිවෙලා වැඩ කරන්න තියෙන බව තේරුම් ගත්තා. චරිතයට ප්‍රවේශ වීමට මේක්අප් (වේෂ නිරූපණ) අංශයේ නාරද ධනංජි තොටගමුව, රජිත, ඇතුළු පිරිස වගේම මාණික්කාවත නාට්‍යයේ සමස්ථ නිෂ්පාදන කණ්ඩායම වෙතින් ලැබුණු සහයෝගය නිසා තාරුණ්‍යයේ සිට වයස්ගත පෙනුම දක්වා විකාශය වෙන ඒ චරිතය ගොඩනගා ගන්න පුළුවන් වුණා. ඊට පෙර ඒ වගේ මේක්අප් එකක් මට දාලා තිබුණෙ නැහැ, ඒ වගේ දෙයක් කරද්දි විනය ශික්ෂණය කියන දේ ඉතා වැදගත්. ඒක ඇත්තටම වේෂ නිරූපණ කණ්ඩායම සහ රඟපාන ශිල්පීන් අතර තිබිය යුතු හොඳ අවබෝධයක්. ඒ අවබෝධය නිසා මට මේ චරිතය කරන්න හොඳ පරිසරයක් නිර්මාණය වී තිබුණු බව කියන්න පුළුවනි. සහාය අධ්‍යක්ෂවරයා වන චමින්ද උඩුවෙල ඇතුළු සියලුදෙනා ඒ සහයෝගය ලබාදුන්නා. මගේ සැමියා ලෙස මෙහි රඟපාන ප්‍රගීත් රත්නායක කියන්නෙ මට වඩා සෑහෙන්න අත්දැකීම් ලැබූ ප්‍රවීණයෙක්. එයා වගේම අනෙක් හැමෝම දුන් සහයෝගය, සහ අත්දැකීම් බෙදාහදා ගනිමින් අපි ඒ රංගනය කළා. සුදත් රෝහණ මහතා එයාගෙ අත්දැකීම් සම්භාරය හරි අපූරුවට යොදාගත් නිර්මාණයක් ලෙසයි මාණික්කාවත මා දකින්නෙ.

සුගුණහාමි නිසා මුහුණ දුන් ශේෂ වූ මතකයන් මොනවද?

මාණික්කාවත රූගත කිරීම් සිදුකළේ හරිම ලස්සන පරිසරයක. කල්තොට. ලස්සනම පරිසරයක හදපු පසුතලය සහ අපි ගෙයක් හදලා තිබුණා. දර්ශන වාර වැඩිපුර රූගත කෙරුනේ කෙටිහාමිගෙ සහ පසුව දාවිත්ගෙ ඒ ගෙදර තිබූ ලොකේෂන් එකේ. මට අමතකම නොවන දේ තමයි මේ පවුලේ උදවිය ඡායාරූපයක් ගන්න ගිය අවස්ථාව. ඒ කාලයේදි හැටියට කැමරාව කළු රෙද්දකින් වහලනෙ පිංතූර ගත්තෙ. ලංකාවට මුලින්ම ඡායාරූපකරණය ආ අවස්ථාව. ඒ දර්ශනය රූගත කිරීම මට හරිම සතුටුදායක අවස්ථාවක් වුණා. ඒ පරිසරය කඳු, වෙල්යාය, නිම්න කුඹුරු තියෙන චිත්‍රයක් වගේ පෙනෙන සුන්දර පළාතක්. ඉතින් සැමදාම උදේට ඒ පරිසරයට ගිහින් රූගත කිරීම්වලට දායක වෙන්න ලැබීමම ලොකු වාසනාවක් වුණා. අපි නවාතැන් ගත් ස්ථානයට වඩා වැඩිපුර කාලය ගත කළේ ඒ සුන්දර ලොකේෂන් එකේ. රාජා අයියා රසම රසට අපට කෑම හදලා දුන්නා. ලස්සන පරිසරයක තුන්වේලම රසට කාලා හිටපු සුන්දර කාලයක්.

කොහොමද දාවිත්ගෙ චරිතය රඟපාන මේ නාට්‍යයේ ඔබගේ සැමියාගේ භූමිකාව රඟපාන ප්‍රගීත් රත්නායකගෙන් ලැබුණු සහයෝගය?

ප්‍රගීත් අයියා මේ විදියට රඟපාන්නේ අවුරුදු කීපයකට පසුවයි. එයා එක්ක රඟපෑමත් මට විශේෂ වූ බව කියන්න පුළුවනි. මම ඒ දිනවල ක්ෂේත්‍රයට ඒමටත් පෙර එයා රඟපෑ චරිත සහ නිර්මාණ දැකලා තියෙනවා. එයා තමයි මා එක්ක මේ චරිතය රඟපාන්න එහා පැත්තෙ ඉන්නෙ කිව්වාම මට ඇතිවුණේ සතුටක්. අපි දෙන්නා රඟපෑම ගැන සහ විෂයය ගැන බොහෝ දේ කතා කළා. එයා රඟපෑමෙන් ලද අත්දැකීම් මට කියා දුන්නා. ඒ ඒ දර්ශන අපි කළ යුතු විදිය ගැන නිතරම පෙර කතාබහක යෙදුණා. අපි නවාතැනට යන එන විටදී, කොළඹ සිට කල්තොටට යද්දි පවා කතා කළේ අපි දෙන්නා මේ නාට්‍යයේ හැටියට කතාව ගලපාගත යුතු විදිය ගැනයි. කාලයක් රඟපාන්නෙ නැතුව හිටියත්, එයා විෂයයෙන් ඈත්වෙලා හිටියෙ නැතිවග එයාගෙ දැනුමෙන් වටහා ගන්න පුළුවනි. එයාගෙ කටහඬ දැනුම සියල්ල යාවත්කාලීන කරගෙන සිටින වග පෙනෙනවා.

කොයිහැටි වෙතත්, මාණික්කාවතේ සුගුණහාමිට, ඒ විදියට දාවිත් ඉන්නවා. තිලක්ෂණීට කවුද ඉන්නෙ?

තිලක්ෂණීටත් කවුරුහරි ඉන්න එපැයි නේද? තිලක්ෂණීටත් ආදරේ ඕනෑනෙ.

තිලක්ෂණීට ආදරේ දැනෙන්නෙ කොහොමද? කොහොමද ආදරේ ගැන හිතන්නෙ?

මට හිතෙන්නෙ ආදරේ කියන්නෙ තමන් කළ යුතු දෙයක්. මට හිතෙන්නෙ ආදරේ කියන්නෙ ක්‍රියාපදයක්. ඒ ආදරය කියන දේ ඇතුළෙ, ඉවසීම, කැපවීම, වගේ සියලු දේ තියෙනවා. ආදරේ කියන්නෙ තමන් අත්නෑඍ කළයුතු දෙයක් කියලයි මට දැනෙන්නෙ.

තිලක්ෂණීගෙ සැබෑ චරිතය මොන වගේද?

එදිනෙදා කරන කියන දේ ඵලදායි කරගැනීම තමයි මගේ ප්‍රයත්නය. ඒ නිසා කරන දේ සහ මම තෝරාගත්ත වෘත්තිය ඇතුළේ ඒක දියුණු කරගන්න සහ දියුණු කළයුතු විදිය ගැන නිතරම හිතනවා. සාමාන්‍ය ජීවිතයේ සතුටින් ඉන්න කැමති හරිම සාමාන්‍ය කෙනෙක්.

තිලක්ෂණී රස විඳින්නෙ මොන වගේ විෂයයන්ද?

රඟපෑමෙන්ම තමයි. චරිතයක් රඟපෑමෙන් ලබන වින්දනය සතුට ඉහළයි. එය වෘත්තියකට වඩා මගේ ජීවිතයේ රිද්මයක් වෙලා. ඒ නිසා හරිම කැමැත්තෙන් කරන්නෙ. ඒ වෘත්තියමය බව එක්ක එම විෂයෙහි ජීවත්වෙමින් වින්දනයක් ලබනවා.

සඳුන් ගමගේ