මීට වසර දහයකට පෙර ජීවිතය ගැන හිතපු විදිහට වඩා අද හිතන විදිහ වෙනස්. ඒක අත්දැකීම් මත ලැබෙන දෙයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඈන්ගෙ චරිතය ගත්තොත් කිසිම පිළිවෙළක් නැති, කොටට අඳින, රස්තියාදුකාර ගති ඇති, තමන්ට ඕනෑ දේ සල්ලි විසි කරලා හොයා ගන්න සහ තමන්ගේ ඉලක්කය වෙත කොහොම හරි ළඟා වෙන අපිළිවෙළ චරිතයක්. “හැබැයි සැබෑ ජීවිතයේදී මගේ ජීවිතයයි ඈන්ගෙ ජීවිතයයි කියන්නේ හාත්පස වෙනස්.” කවුද මේ ඈන්? ඇය අපට හමුවන්නෙ ‘හීනයකි මේ ආදරේ’ නාට්‍යයේ චරිතයක් ලෙසයි. ඉතින් මේ විදිහට ‘ඈන්’ වූ ඇය තමයි 2005 වසරේදී ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළ දැරුවෙ. ඇය නටාෂා හප්පාවන. නටාෂා ‘හීනයකි මේ ආදරේ’ සමග ආලින්දයට පැමිණෙන මොහොතක අද අපේ කතාබහ ඇය සමගයි.

නටාෂා ගැන මුලින්ම මතක ආවර්ජනයක් කරමු?

“රූපවාහිනී ක්ෂේත්‍රයට මුලින්ම මම ආවේ සුනේත්‍රා කුමාරි මහත්මියගෙ මග පෙන්වීම යටතේ නිවේදිකාවක විදිහට. ඉන් පස්සේ 2005 වසරේදී ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළ ලැබුවා. එම වසරේදීම ලාස්වේගාස්වල තිබූ ලෝක විවාහක රූ රැජින තරගයට දායක වී දෙවැනි ස්ථානය ඇතුළු තවත් උප කිරුළු දෙකක් දිනා ගත්තා. ඉන් පසුව නිරූපිකාවක ලෙස කටයුතු කරන අතරේදී රැකියාව කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ. ඒ අතරතුරේදී ජ’පුර සරසවියේදී විද්‍යාවේදී උපාධියත්, එංගලන්ත සරසවියකට සම්බන්ධව ශාස්ත්‍රපති උපාධිය දක්වා ඉගෙනීම් කළා. ව්‍යාපාර පරිපාලනය තමයි මගේ විෂයය. ඉදිරියේදී මනෝවිද්‍යා අංශයේ උපාධිය කරන්න බලාපොරොත්තු වෙනවා. අද වන විට මම උත්සව සංවිධාන කරන මගේම ආයතනයක් පවත්වාගෙන යනවා. ඊටත් අමතරව තාත්තාගේ ව්‍යාපාරයේ අධ්‍යෂිකාවක ලෙස වැඩ කරනවා.”

රංගනයට ආවේ?

“රංගනය කෙරෙහි මුල ඉඳලාම මට ලොකු ආසාවක් තිබුණා. ඒත් පුද්ගලික ජීවිතයේ තිබූ යම් යම් දේ එක්ක එදා මට රංගනයට දායක වීමට නොහැකි වුණත් අද ඒ අවකාශය ලැබී තිබෙනවා. ඉසුරු වීරසිංහ මුදලි එක්ක එයාගේ අලුත් ෆිල්ම් එකේ රඟපෑමට ගිවිස ගෙන ඉන්නෙ.”

ඒ අතරේ ද ‘හීනයකි මේ ආදරේ’ නාට්‍යයට සම්බන්ධ වුණේ?

“ඒක අහම්බයක්. ඒකට ආරාධනාව සහ හඳුන්වාදීම කළේ සුරාජ් මාපා. ඒ නිසා තමයි ශාන්ත සොයිසා මහතාව මුණගැහුණෙ. තිර පිටපත කියෙව්වා. මම ඒ චරිතයට කැමැති වුණා. ඊටත් පෙර මෙම නාට්‍යය විකාශනය කෙරෙන අයි.ටී.එන්. නාලිකාවේ වැඩසටහනක් ඉදිරිපත් කිරීමටත් මම දායක වුණා. ඒ අවස්ථාව ලැබුණෙ සඳරුවන් අයියා නිසයි. ‘හීනයකි මේ ආදරේ’ මගේ ප්‍රථම ටෙලිනාට්‍ය රංගනයයි. හැබැයි ඊට පෙර විශාරද නන්දා මාලිනි මහත්මියගෙ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වුණා. ඒකට මට ආරාධනා කළේ සමන් අතාවුදහෙට්ටි මහතා. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත අධ්‍යක්ෂණය. රඟපෑමක් විදිහට මගේ පළමු පෙනී සිටීම ඒ මියුසික් වීඩියෝවයි. නමුත් ටෙලිනාට්‍යයක් ලෙස පළමු වතාවට රඟපාන්නෙ ‘හීනයකි මේ ආදරේ’ නාට්‍යයේ.”

කොහොම ද ටෙලිනාට්‍යයක රඟපෑම ලෙහෙසි ද?

“ඒක හිතන තරම් ලෙහෙසි නැහැ. පිටපත කියවලා ඒ චරිතයේ ජීවත් වුණොත් විතරක් චරිතයට සාධාරණයක් කරන්න පුළුවනි. ශාන්ත සොයිසා මහතා ඇතුළු කණ්ඩායම ලබා දුන් සහයෝගය නිසා මට ඒ චරිතයට යම්කිසි සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවා. චරිතය තේරුම් ගත්තොත් සහ අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම ලබා දෙන උපදෙස් පිළිපැද්දොත් වැඩේ හරියට කරන්න පුළුවනි. ඒ වගේම රංගනයටත් ආසාවක් තියෙන්න ඕනෑ.”

නටාෂා රඟපෑ චරිතය රූපවාහිනී තිරයේ දකිද්දි ඇති වූ හැඟීම මොන වගේ ද?

“ඇත්තටම සතුටුයි. මට තව මොනවා ද මගේ චරිතයට එක් කරන්න පුළුවන් සහ තවත් කළ යුතු දේ ගැන මට අවබෝධ වුණා.”

නටාෂා කියන්නේ?

“ඒක රුසියානු නමක්. එහි අරුතට අනුව නත්තල් දා උපත වගේ තේරුමක් තියෙන්නේ. ස්වාමීන්ගේ උපන් දිනය කියලත් හැඳින්වෙනවා.”

නටාෂාට තවත් නමක් තියෙනවා නේද?

“සවනි නටාෂා හප්පාවන මගේ සම්පූර්ණ නම. පළමු නම දාලා තියෙන්නෙ මගේ අම්මයි - තාත්තයි. දෙවැනි නම දාලා තියෙන්නේ මගේ නැන්දා. සවනි කියන්නේ හොඳින් ශ්‍රවණය කරන්නී යන අදහසට.”

ඒ වුණාට වැඩිපුර කතාව නේද ශ්‍රවණයට වඩා?

“දෙකම අඩු වැඩි වශයෙන් තියෙනවා. සමහර වෙලාවට මම අඩුවෙන් කතා කරන කෙනෙක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒත් යාළුවෝ එක්ක ඉන්නකොට එහෙම නැහැ. නිදහසේ ඉන්න කැමැති, මිනිස්සුන්ගෙ දුක හඳුනන සරල චරිතයක්.”

ඇත්තටම ඇයි ටෙලිනාට්‍ය රංගනයට එන්න හිතුවේ? ජනප්‍රිය වීමට පහසුම අංශයක් නිසා නේද?

“නැහැ. මම හැමදාම රංගනයට ආසා කළ, ආදරය කළ කෙනෙක්. ඒත් පසුගිය කාලයේදී අවාසනාවකට මට ලැබුණු අවස්ථා මග හරින්න සිද්ධ වුණා. සමහර ඒවාට ලැබුණු ආරාධනා මට දැනගන්නවත් ලැබුණෙ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී මේ ලැබුණු අවස්ථාව මග හරින්න හිතුවෙ නැහැ. මැරෙන්න කලින් රඟපෑමට තිබූ ආසාව උනන්දුව ඉටු වූ මොහොතක්, ජීවිතයේ ලැබුණු ලොකු අවස්ථාවක්, වගේම පළපුරුද්දක්.”

දැන් දිගටම රඟපාන්න ද කල්පනාව?

“ලැබෙන අවස්ථාව සහ චරිතය ගැන තේරුම් අරගෙන, පුළුවන් නම්, මට සුදුසු නම් බාර ගන්නවා. දැනටමත් ‘අඹ යහළුවෝ’ අධ්‍යක්ෂණය කළ සුදත් දේවප්‍රිය අයියා එයාගේ නිර්මාණයකට ආරාධනා කරලා තියෙන්නේ. ඒක ජීවිතයේ මට ලැබුණු ලොකුම අවස්ථාවක්. ඔව්, බොහෝ විට මම දිගටම රඟපාවි.”

රඟපෑමට මෙච්චර ආසා කරන නාටාෂා, මෑත කාලයේ නැරැඹූ ටෙලිනාට්‍ය අතරින් වඩා හිත ගිය නිර්මාණ මොනවා ද?

“ගිරිදේවි, තණමල්විල කොල්ලෙක්, සහෝදරයා වගේ නාට්‍ය මගේ හිතට ගෙනැල්ලා දුන්නෙ පුදුම වින්දනයක්. ගිරිදේවි නාට්‍යයේ ශලනි තාරකා කියන්නේ මගේ ප්‍රියතම චරිතයක්. වාසනාවකට මට මේ නාට්‍යයේ රඟපෑමට ලැබුණෙ ඇය සමගයි.”

නටාෂා සිනමාවට ගැළපෙනවා කියලා හිතනවා ද?

“ඒක මට කියන්න බැහැ. නමුත් ඉසුරු වීරසිංහ මුදලිගේ චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව මට ඒ අත්දැකීම ගැන කියන්න පුළුවන් වේවි. ඒකෙ මට රඟපාන්න තියෙන්නෙ මනෝ වෛද්‍යවරියක ලෙස.”

හීනයකි මේ ආදරේ’ නාට්‍යයේ අද අපට හමුවන නටාෂාට ආදරේ දැනෙන්නෙ කොහොම ද? ආදරේ කියන්නෙ හීනයක් වගේ ද?

“ඒ විෂයය ගැන විග්‍රහ කරන්න එච්චර මම කැමැති නැහැ. වෙලාවකට හීනයක් වගේම වෙලාවකට එය දරා ගන්න බැරි දුකක්. වෙලාවකට නැතුවම බැරි දෙයක්. අපි නොදැනුවත්වම අපට ආදරේ කරන අය ඇති. සමහරුන්ට දැනෙනවා ඇති, නොදැනෙනවාත් ඇති.”

නටාෂා ජීවිතේ ගත කරන්න කැමැති මොන විදිහට ද?

“කිසිම කෙනකුට බලපෑමක්, බරක් නොවන විදිහට, ස්වාධීනව ජීවත් වෙන්න කැමැතියි. ඒ වගේම හරිම සරල විදිහට, කාටවත් කරදරයක් නොවී, දැනුවත්ව කාගෙවත් හිතක් නොරිදා ජීවත් වීමට. මීට වසර දහයකට පෙර ජීවිතය ගැන හිතපු විදිහට වඩා අද හිතන විදිහ වෙනස්. ඒක අත්දැකීම් මත ලැබෙන දෙයක්.”

නටාෂා කියන්නෙ රූපලාවන්‍ය ගැන ඕනෑවටත් වඩා වද වෙන කෙනෙක් ද? නැත්නම් නිදහස්ව විලාසිතා කරන්න කැමැති, පොළොවෙ පය ගහපු කෙනෙක් ද?

“මම විලාසිතාවලට කැමැතියි. මගේ වෘත්තිය එක්ක මට ලස්සනට ඇඳලා ලස්සනට ඉන්න සිද්ධ වෙනවා. මට බස් එකේ යන්නත් පුළුවන්, ත්‍රීවීල් එකේ යන්නත් පුළුවන්, මගේම වාහනේ යන්නත් පුළුවන්. සෙරෙප්පු දෙකක් දාලා, ඩෙනිමක් දාලා, අවස්ථාව අනුව ජීවිතය ගෙන යන්න පුළුවන් කෙනෙක්. නිතරම රූපලාවන්‍ය කරගෙනම ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි මම ලස්සනට ඉන්න හදන්නෙ මගේ සතුටට.”

ජීවිතේ දරා ගන්න පුළුවන් දේ සහ දරා ගන්න බැරි දේ මොනවා ද?

“දරා ගන්න බැරිම දේ තමයි පවුලේ අයට කරදරයක් වීම. විශේෂයෙන්ම කාගේ හෝ දරුවකු දුක් විඳීම හෝ ලෙඩ වීම මට දරා ගන්න බැහැ. එතැනදී මම හරිම සංවේදීයි.”

නිතරම ඔබ හරි කියලා ද හිතන්නෙ?

“නැහැ. එහෙම හිතන්නෙ නැහැ. අපිට අපිවම තීරණය කරන්න බැහැනේ. මගේ මතයට ඔයාලා ඔක්කෝම නතු වෙන්න ඕනෑය කියන තැන මම නැහැ.”

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

හැඩගැන්වීම් - සුරංග ආකාෂ්

විලාසිතා සහ පසුතලය – කණිෂ්ක සඟබෝ ඩයස්