මට ලැබෙන්නෙම අහිංසක අම්මාගේ චරිතයනෙ. දැන්නම් වෙනසකට යන්න කැමැත්තක් තියෙනවා
මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණ කිහිපයකම දක්නට සිටින චරිතයක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කරගන්න හිතුවා. ඇය නමින් තරුෂි පෙරේරා
තරුෂි පෙරේරා මේදිනවල පුංචිතිරයේ වැඩිපුර දකින්න ඉන්නවා නේද?
වැඩිපුර කියන්නෙ මම ටික කාලෙකට පෙර සම්බන්ධ වුණු දෙවැනි ඉනිම සහ නීල පබළු ටෙලි නිර්මාණ තවම විකාශය සිද්ධවෙනවා. ඊට අමතරව අලුත්ම නිර්මාණයකට කියලා සම්බන්ධ වුණේ සියත නාළිකාවෙ අලුතින්ම විකාශය ආරම්භ කරපු විසේකාර හාදුවක් ටෙලි නිර්මාණයට. ඒ නිර්මාණය සතියේ දිනවල රාත්‍රී 8ට විකාශය වෙනවා. ඇත්තටම අද වෙද්දි හොඳ ප්‍රතිචාර ලබන නිර්මාණයක්, මේ නිර්මාණත් එක්ක පුංචි තිරයේ තවත් අලුත් ටෙලි නිර්මාණ දෙකකට වගේ සම්බන්ධ වෙලා තියෙනවා. බොහෝ දුරට ඒ නිර්මාණ ඉදිරියේදී විකාශය වෙයි. රටේ පවතින ප්‍රශ්න නිසා ඒ හැමදේම ටිකක් නැවතිලා තියෙන්නෙ. එහි විකාශය සිදුවෙනකම් අපිත් බලාගෙන ඉන්නවා.
ඉතින් අපි මුලින්ම කතා කරමුද ‘‘විසේකාර හාදුවක්’’ හි ඉන්දු ගැන?
ඉන්දු දියණියන් තිදෙනෙක්ගෙ මවක්නෙ, ඇය ගොඩක් අහිංසකයි. ඒ නිසාම ජීවිතේ ඒ පවුල ඇතුළෙ විවිධාකාර විදියෙ හැළහැප්පීම් එක්ක ඇයට ජීවත්වෙන්න වෙලා තියෙනවා. තම ස්වාමියා පවා හැරදාලා වෙනත් කාන්තාවක් ළඟට යන්න හදන අවස්ථාවක වුණත් ඇය ඒ හැමදේම අහිංසක ලෙස දරාගෙන ඉන්නවා. ඇත්තටම එවැනි දුකක් දරාගන්න අමාරුයිනෙ. නමුත් මේ චරිතයෙ විදියට මාරම ඉවසීමක් ඇයට තියෙන්නෙ, සැබෑ මවක්, බිරිඳක්, කාන්තාවක් විදියට ජීවිතේ එන විවිධාකාර ගැටලු අභියෝගවලට මුහුණදෙමින් තම දරුවො නිසා ඉවසගෙන ඉන්න යකඩ ගැහැනියක් තමයි ඇය.
පෞද්ගලික ජීවිතේ ගත්තොත් තරුෂිට එවැනි ඉවසීමක් තියෙයිද?
මම හිතන්නෙ නැහැ මට එවැනි ඉවසීමක් තියෙයි කියලා. දැන් ඉන්න අලුත් පරම්පරාව නම් කොහොමත් ඉවසන්නෙ නැහැනෙ. අද සමාජයේ, අද පරම්පරාවෙ පවුල් ප්‍රශ්නයක් ඇතිවුණ ගමන්ම දෙන්නා දෙපැත්තට වෙන එකනෙ කරන්නෙ. දරුවො ඉන්නවද? නැද්ද? ඒවා බලන්නෙ නැහැ. ඔයාට එපානම් මටත් එපා කියන තැන අද ගැහැණු පිරිමි ඉන්නෙ. නමුත් අපිට පෙර පරම්පරා මේ දේ ටිකක් ඉවසුවා. කොහොමත් අද සමාජයේ ‘‘ඉන්දු’’ වැනි චරිත දකින්න ඉන්නවා ගොඩක්.
මේ චරිතය මට ගොඩක් ඈතයි. නමුත් මේ චරිත රංගනයට ප්රවිශ්ඨ වුණාට පස්සෙ මටත් මේ රංගනය ඔලුවට බරක්. විශේෂයෙන්ම ඒ බර දැනෙන්නෙ මේ කතාවෙ මට ඉන්නෙත් ගැහැණු ළමයි තිදෙනෙක්නෙ, දියණියන්ම ඉන්න ගෙදරක අම්මා කෙනෙක් තනිවෙද්දි මට නම් හිතට මාරම බියක් දැනෙනවා. මොකද දුවලා අතරෙ ලොකු වගකීම් තියෙනවනෙ ඉෂ්ට කරන්න. ඇත්තටම මගේ ඇත්ත ජීවිතේ මට මේ ගැන කතා කරන්න අත්දැකීම් නැහැ. නමුත් චරිතෙකට හෝ මෙවැනි රංගනයක් ඉදිරිපත් කරද්දි මේ තත්ත්වය ගැඹුරින් හදවතට දැනෙනවා.
ඒ නිසාම මගේ පෞද්ගලික ජීවිතේත් මම බලාපොරොත්තු වුණේ ප්‍රාර්ථනා කළේ පුතෙක් ලැබුණොත් හොඳයි කියන දේ, මොකද අද සමාජය එක්ක බලද්දී, අපි ගෙවාගෙන ආපු ජීවිතයෙ දැකපු දේවල් එක්ක පෞද්ගලිකව මම බය වුණා දුවෙක් ලැබෙනවාට. දුවෙක් ලැබුණොත් ගොඩක් ශක්තිමත් වෙන්න ඕනෑ. ශක්තිමත් නොවී අහිංසක දුවෙක් වුණොත් බයයි. කැත්තට, පොල්ල වගේ හැදෙන දුවෙක් නම් හොඳයි. නමුත් එහෙම නොවුණොත් ගොඩක් පරිස්සම් කරන්න ඕනැනෙ. ඒ නිසා මම ප්‍රාර්ථනා කළේ පුතෙක්.
ඒ ප්‍රාර්ථනා කරපු විදියට මට පුතෙක් ලැබුණා. දැන් පුතාට අවුරුදු 7ක් වෙනවා.
‘‘විසේකාර හාදුවක්’’ මේ නාට්‍යයේ පවුල කොහොමද?
මේ ටෙලි නිර්මාණයේ මගේ සැමියාට ඉන්නෙ ජනප්‍රිය රංගන ශිල්පී සහන් රන්වල. සහන් කියන්නෙ මීට පෙර අවස්ථා කිහිපයකදීම මගේ පෙම්වතාට සහ සැමියාට රංගනයෙන් දායක වුණු ගොඩක් සමීප මගේ මිතුරෙක්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනා මගෙ පළමු වේදිකා නාට්‍ය වුණු සහන් විසින්ම අධ්‍යක්ෂණය කරපු ‘‘වෙලාව කීයද’’ වේදිකා නාට්‍යයේත් මම ඔහුගේ බිරිඳට තමයි රංගනයෙන් දායක වුණේ. ඉතින් මේ නිර්මාණයේත් ඔහු මගේ සැමියා විදියට රංගනයෙන් එකතුවෙලා ඉන්නවා. හරි පහසුයි වැඩ කරගෙන යන්න. මොකද හුරු පුරුදු කෙනෙක් නිසා. ඒ වගේම මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්න දරුවො ටිකත් හරි ආදරණීයයි. ලස්සන දරුවො ටිකක්. ඉතින් එක් පවුලක් වගේ වැඩ කරගෙන යනවා මේ වෙද්දි.
දැන් තරුෂිට ලැබෙන්නෙම අම්මාගේ චරිතයද?
ඔව්, දැන් ගොඩක් ලැබෙන්නෙ නම් අම්මාගේ චරිතය. කොහෙමත් මට පුතා ලැබෙන්නට පෙරත් අම්මගේ චරිතය කළා. පුතා ලැබුණට පස්සෙ අවුරුදු 2කින් තමයි මම නැවත රංගනයට සම්බන්ධ වුණේ. එතැන් පටන් මේ දක්වා ලැබුණෙ නම් අම්මා චරිතය තමයි. ඇත්තටම දැන්නම් මේ චරිතයෙ පොඩි ඒකාකාරි ගතියකුත් තියෙනවා. මොකද මට ලැබෙන්නෙම අහිංසක අම්මාගේ චරිතයනෙ. දැන්නම් වෙනසකට යන්න කැමැත්තක් තියෙනවා.
පසුගිය කාලෙ අලුත් වැඩකටයුත්තකට අතගහලා තිබුණා නේද?
ඔව්. ඇත්තටම කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු හීනයක් මල්ඵල ගැන්වීමක් සිදුවුණා. ඒ මගෙ පළමු තිර පිටපත් රචනයක් එක්ක අධ්යක්ෂණයට යොමුවෙන්න අවස්ථාව ලැබුණා. මගේ මුල්ම තිර පිටපත් රචනය තමයි ‘‘රෑනගල වලව්ව’’ නමුත් එහි කොටස් 20ක් වගේ තමයි රචනා කරන්න ලැබුණෙ. මගේ පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතුත් එක්ක, විශේෂයෙන්ම බබාගේ වැඩත් එක්ක ඒ දේ දිගටම කරගෙන යන්න හැකියාවක් තිබුණෙ නැහැ. එතැනින් පසුව ටික කාලයකින් මගේ දෙවනි නිර්මාණ කටයුත්ත විදියට ‘‘සත්වර්ෂා’’ ටෙලි නිර්මාණය රචනා කළා. එහි තිර පිටපත, අධ්‍යක්ෂණය, රංගනය හැමදේම එක්ක සම්බන්ධ වුණා. මුලින්ම මෙහි කොටස් කිහිපයක් සඳහා නිෂ්පාදනයෙනුත් සම්බන්ධ වුණා. නමුත් මේ නිර්මාණයේත් කොටස් 18කට වගේ තමයි මට සම්බන්ධ වෙන්න ලැබුණෙ. මොකද මේ නාට්‍යය 2019 වසරේ තමයි නිර්මාණය වුණේ. ඒ කාලෙ රටේ තිබුණු වසංගත තත්ත්වය එක්ක පූර්ණ නිදහසකින් වැඩ කරන්න මට මානසිකත්වයක් තිබුණෙ නැහැ. ඒ නිසා ඒ නිර්මාණය බාරදීලා මම තාවකාලික නැවතුමක් ගත්තා. ඇත්තටම මම මෙතැනින් නැවතිලා නැහැ. තාවකාලිකව තමයි මේ නැවතීම සිදුවුණේ. ඉදිරියට හොඳ නිර්මාණ අධ්‍යක්ෂණයක් එක්ක එකතුවෙන එක ජීවිතේ ලොකුම හීනයක්. මේ කාලෙනම් රටේ තියෙන තත්ත්වයත් එක්ක නිර්මාණ කටයුත්තකට අතගහන්න බැරිවෙයි. ඒ වගේම පුතාගේ අධ්‍යාපන කටයුතුවලට මූලිකත්වය දෙන්න ඕනෑ. ඒ දේවල් මූලිකව කරගෙන ඉඩ ලැබෙන විදියට කලා ක්ෂේත්රය වෙනුවෙන් හොඳ, වැදගත් නිර්මාණාත්මක දෙයක් ලබාදෙන්න තමයි ලොකුම බලාපොරොත්තුව තියෙන්නෙ.
ඇයි නිර්මාණ කටයුත්තකට අතගහන්න හිතුවෙ?
නිර්මාණ කටයුත්තකට අත ගහනවා කියන්නෙ ඇත්තටම භාරදූර කාර්යයක්, ඒත් ඒ දේ කාලයක් තිස්සේ පටන්ම මගේ යටිහිතේ තිබුණු දෙයක්. කලාව කියන දේට කැමැත්තක් උණක් තියෙන්නම ඕනැ ඒ හැම අංශයක්ම ස්පර්ශ කරන්න. මට කලා උණ තදින්ම තිබුණ නිසා සහ තියෙන නිසා තමයි තිර පිටපත් රචනයට, අධ්යක්ෂණයට නිෂ්පාදනයට යන්න හිතුණෙ. ඒ වගේම අපේ රටේ නිර්මාණවලින් කතා කරන්න අවශ්‍යම කාලීන මාතෘකා ඕනෑ තරම් තියෙනවා. ඉතින් ඒ විවිධ මාතෘකා ඔස්සේ මිනිසුන්ට, දෙමව්පියන්ට, දරුවන්ට හැඟීම්බර විදියට දැනෙන්න හදවතට කතා කරන්න පුළුවන් නිර්මාණ බිහි කරන්න පුළුවන්නම් ඒ දේ ගොඩක් වටිනවා. හදවතට කතාවක් දීලා කඳුළක් දෙන එක හොඳයි මොළය දෙනවට වඩා. ඉතින් මට ඕනැ වුණේ රටේ කාලීන මාතෘකාවක් ඔස්සේ මිනිසුන්ගේ හදවතට කතා කරන්න පුළුවන් විදියෙ නිර්මාණයන් කරන්න. ඒ විදියට තමයි ‘‘සත් වර්ෂා’’ නිර්මාණය වෙන්නෙත්.
ධනු විජේරත්න