මට රඟපෑමේ ආසාවක් තිබුණෙ නැහැ
මේ සොඳුරු තරුණියගෙ නම කවිහාරි. ඒත් හැමෝම වගේ මේ දිනවල මෙයාට කියන්නෙ ‘ජානු’ කියලයි. විකාශය කෙරෙන ‘ජානු’ නාට්‍ය නිසා ඒ විදියට ඇයට ජානු කියලා තමයි හැමෝම වගේ කියන්නේ. මේ විදියට ටෙලි තිරයට ආ ‘කවිහාරි’ කවුද? ටෙලි නාට්‍ය නරඹන බොහෝ දෙනා ඇය ගැන විස්තර ගැන ගන්න කැමති ඇතිනෙ? ඔන්න ඒ නිසාම මේ කතාබහ ‘ජානු’ වූ කවිහාරි, එක්කයි.
සම්පූර්ණ නම කිව්වොත්?
යසස් ශ්‍රී කවිහාරී හපුතන්ත්‍රී.
යසස් ශ්‍රී කියන්නද? කවිහාරි කියන්නද?
දැන් නම් හැමෝම වගේ කියන්නෙ ‘ජානු’ කියලයි.
කවුද මේ කවිහාරි?
උපන්නේ නුවර. පදිංචියත් නුවර. පවුලේ අම්මයි තාත්තයි, නංගිලා දෙන්නයි, මමයි. එයාලා පාසල් යනවා. ක්‍රීඩාවලට බොහොම දක්ෂයි. මාත් විෂය මාලාවට අමතරව බාහිර ක්‍රියාකාරකම් කළා. නෙට්බෝල් වගේම නැටුම් එහෙමත් කළා. ඉගෙන ගත්තෙ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයෙන්.
මොන විදියෙ අරමුණක් ඇතිවද ඉගෙනීම් කළේ?
ලොකුම ආසාව වුණේ ගුවන් සේවිකාවක වෙන්න. උසස් පෙළට ලිව්වේ වාණිජ අංශයෙන්. ඉන් පස්සේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කළා. ඒ අතරවාරයේදී තමයි ෆැෂන් මොඩ්ල් කෙනෙක් විදියට කටයුතු කරන්න පටන් ගත්තෙ. ඒ අතරවාරියේදී ජානු නාට්‍යයේ රඟපෑමට ඇරයුම් ලැබුණා.
වරායේ කළ රස්සාවෙන් ඉවත්වීම අපරාදෙ නේද?
ඒ ලෙවල් ඉවර වූ විගස වගේ වරායේ රැකියාවට එක්වුණේ. ඒ නිසා කොළඹ නතර වෙන්න සිද්ධ වුණා. ඒ විදියට මම කොළඹ තනියම ඉන්නවට තාත්තා අකමැති වුණා. ඉන්පස්සෙ මගේම ෆැෂන් (විලාසිතා) නාමයක් පටන් ගත්තා. ඔන්ලයින් ඔස්සේ. ඒ බ්‍රෑන්ඩ් එකේ නම cutafit. මගේ ඔන්ලයින් එකවුන්ට් එක හැක් වුණා. දැන් ආයෙමත් ඒක පටන් ගන්න ආසයි. විලාසිතා මොඩල් කෙනෙක් නිසා මගේම clothing brand එකක් කරන්න තමයි වඩා කැමති.
ජානු පළමු ටෙලිනාට්‍ය රඟපෑමද්?
ඔව්, මට රඟපෑමේ ආසාවක් තිබුණෙ නැහැ. ඒත් මගේ ෆොටෝස් දැකලා මේ චරිතයට කතා කළා. ඒ නිසා ට්‍රයි කරලා බලන්න හිතුණා. අනෙක මේ නාට්‍යයේ රඟපාන ප්රවීනයින් එක්ක රඟපෑමට ලැබීමම ලොකු අවස්ථාවක්. ඒ නිසා ආසා හිතුණා. ගෙදරින් නම් තාත්තා මුලදි කැමති වුණේ නැහැ. ඒත් යන්න එපා කියලා කිව්වෙත් නැහැ. තාත්තා එක්ක තමයි මුලින්ම ගියෙත්. තාත්තා මට ඉන්න ඕන විදිය ගැන කියලා දුන්නා.
කොහොමද ‘නුවර’ ට ආසද? කොළඹ ගැන මොකද හිතන්නේ?
නුවරට තමයි ආස. ඒත් මේ වැඩ නිසා කොළඹ නතර වෙලා ඉන්නෙ. ෆ්‍රී වුණ ගමන් නුවර යනවා. ෂූටිංවලදි ප්‍රවාහන පහසුකම් ලබා දෙනවා. එක්කෝ තාත්තා මා එක්කගෙන යන්න එනවා.
‘ජානු’ ගැන කියමු?
ජානුගෙ පෙම්වතා සහස්. එයා එක්ක යාළු වෙලා සිටි කාලය හරිම සුන්දරයි. ඒ අතරේදී ජානුගේ තාත්තා මිය යනවා. තාත්තාගෙ මරණින් පස්සෙ ජානුට කසාදයක් බඳින්න වෙනවා. ඇයව බන්දවලා දෙන්නෙ වයසින් වැඩිමල් පොල් මුදලාලි කෙනෙකුට. සහස්ට ඉන්නෙ සචින් ලියනගේ අයියා. පොල් මුදලාලිට ඉන්නෙ එස්.අයි. සමරක්කොඩි මහතා. අම්මගෙ කීමට පොල් මුදලාලි කසාද බැන්දට ජානු ආදරය කරන්නෙ ‘සහස්’ට. ඒත් අකමැත්තෙන් වුණත් ජානු පොල් මුදලාලි හෙවත් අල්පොන්සු සැමියා නිසා එයාගෙ යුතුකම් ඉටු කරනවා.
කොහොමද ‘ජානු’ නිසා ලැබෙන ප්‍රතිචාර?
කොහේ හරි ගියාම ඔයා නේද ජානු කියලා අහන තරමට මිනිස්සු දැන් මා ගැන දන්නවා. හරි සතුටුයි.
කවි හෙවත් කවිහාරිගෙ ඇත්ත ආදරේ කොහොමද?
පෙම්වතෙක් ඉඳලා නැහැ.
කවිට ආදරේ ගැන හිතන්නෙ?
දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්න පුළුවන් නම් හැමදාම ආදරෙන් ඉන්න පුළුවන්. මම කාලා බීලා දඟලලා ඉන්න කෙනෙක්. ඒ මම ඉන්න විදිය තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ගැලපෙන්නෙ. අනෙක ආදරයේදි මට ගොඩක් ආදරේ ඕනෑ කෙනෙක්. ඒ නිසා මාව හොඳට තේරුම් ගත්ත කෙනෙක් තමයි ගැලපෙන්නේ.
යෝජනා එනවා?
එනවා. ඒත් ඒවා ඔළුවට ගත්තොත් මේ වැඩ කිසි දෙයක් හරියට කරන්න බැරි වෙනවා. හිතට හරියන කෙනෙක් දැණුනොත් හිතලා බලනවා. තාම වයස 22නෙ.
රඟපෑම දිගටම කරන්නද ආස?
ඔව් එහෙම වේවි. තව නාට්‍ය හත අටකටම කතා කළා. ප්‍රධාන චරිත ලැබුණෙ. ඒත් ජානු ඉවර වෙනකල් ජානු එක්ක ඉන්න කැමතියි. ඒක මගේ පළමු නාට්‍යය. ඒකෙ මතකය එක්ක මේ විදියට ඒක ඉවර වෙනකල් වෙන ඒවා බාර ගන්නෙ නැහැ.
කවිහාරි ඒ කාලයේ ක්‍රීඩාවලට දක්ෂයි කිව්වනෙ. අද ක්‍රීඩාවක නිරත වෙන්නෙ නැද්ද?
පාසලෙන් අයින් වෙනවත් එක්කම තමයි ක්‍රීඩාව නතර වුණෙත්. හැබැයි අදටත් නෙට්බෝල්වලට ආසයි. ලැබුණොත් අදටත් නෙට්බෝල් ක්‍රීඩා කරනවා. 2019 දී අපේ පාසලේ දක්ෂතම ක්‍රීඩිකාව වුණෙත් මම. පොඩි කාලයේ ඉඳලම බාස්කට් බෝල්, වොලිබෝල්, එල්ලේ සහ චෙස් කළා.
කවි විශේෂයෙන් කැමති දේ මොනවද?
ලස්සන තැන්වල ඇවිදින්න කැමතියි. නුවරඑළිය, බදුල්ල, හැටන්, නුවර වගේම වෙරළ ප්‍රදේශවලටත් හරිම ආසයි. මගේ යාළුවෝ 10 දෙනෙක් විතර ඉන්නවා. අපි කණ්ඩායම එකතු වෙලා විවේකයක් ලැබුණාම සංචාරය කරන එක තමයි කරන්නෙ. මොන විදියෙ ‘ට්‍රිප්’ ගියත් අපි සෙට් එක තමයි යන්නෙ. ළඟදී අපි උස්සන්ගොඩ ගියා. හරිම ලස්සනයි.
ගෙවී ගිය ජිවිතයේ මිහිරි මතකයන් මොනවද?
කවිහාරි, ජානු වෙච්ච දවස හැමදාම ආදරණීය මතකයක් වේවි. 2019 දී අපේ පාසලේ දක්ෂතම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීම සහ මිස් අන්තෝනියස් ලෙස කිරුළ ලැබීමත් සදාදරණීය මතකයක්.
‘කවි’ මොන වගේ කෙනෙක්ද?
මට හිතෙන්නෙ මම හරි සංවේදී ඉක්මනට දුක දැනෙන කෙනෙක්. චූටි දේටත් ඇඬෙන කෙනෙක්. ඒ වගේම තමයි නිතරම හිනාවෙන් ඉන්නෙ. මගේ වටා සිටින යාළුවන්ගෙන් පවා ආදරේ හොයන සංවේදී කෙනෙක්.
‘කවි’ට ආඩම්බර හිතෙන්නෙ?
අම්මටයි - තාත්තටයි වදයක් නොවී ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඒ නිසා තමයි මගේම විලාසිතා ‘Brand’ එකක් පවා කරන්න හිතුවෙ. මගේම උත්සාහයෙන් නැගී සිටින්න කැමති නිසා ඒ විදිය ගැන මට ආඩම්බරයි. කරන දේ හරියට කරලා අම්මට තාත්තාට බරක් නොවී ජීවත් වෙන අතරේ ගෙදරට උදවු කිරීම සහ අම්මා තාත්තාව බලා ගැනීම අරමුණයි.
ගෙදර වැඩත් කරනවද?
කොරෝනා කාලයේදී ගෙදරම හිටපු නිසා උයන්න පිහන්න පුරුදු වුණා. මම කොහොමටත් කම්මැලි කෙනෙක් නෙවෙයි. කැපවීමෙන් වැඩකරන කෙනෙක්. අද නුවර නම් හෙට ගාල්ලෙ වැඩවලට යනවා. ඊට පසුවදා තවත් තැනක ෂූටිං හරි ෆෝටෝ ෂූට් හරි. ඒත් මහන්සිය ගැන හිතන්නෙ නැහැ. වැඩ වෙලාවට වැඩ කරනවා.
කවිහාරිට අත් හරින්නම බැරි පුරුද්ද?
පොඩි දේටත් අඬන එක. මට සීරියස් වෙන්න බැහැ. සීරියස් වෙන්න ට්‍රයි කරනවා.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ