මට රඟපාන්න පුළුවන් කියන එක මම හඳුනාගෙන සිටියේ නැහැ
රංගනයට, ගායනයට එක සේ දස්කම් දක්වන තැනැත්තියක් වත්මන් සිංහල වේදිකාවේ අපට හමු නොවන තරම්ය. මාධනී මල්වත්ත නම් රටම හඳුනන ටෙලි, සිනමා නිළියත් මුල් කාලීනව අපට හමුවන්නේ කරළිය හරහාය. ඇය ගැන රටම එසේ දැන ගත්තත් ඇය ගැන ඇගේ හැකියාවන් ගැන අපි නොදන්නා දේ බොහෝය. මේ ලිපියෙන් දිග හැරෙන්නේ ඒ කතාවය.
“මුලින්ම මට රඟපාන්න පුළුවන් කියන එක මම හඳුනාගෙන සිටියේ නැහැ. මුලින්ම මම හඳුනාගත්තේ මගේ ගායන හැකියාව, පෙර පාසලේදී තමයි මං ඒක හඳුනා ගත්තේ. සංගීතය මම හදාරන්න ගන්නේ 6 වසරේදී. කවුරු හරි කෙනෙක් මට සිංදුවක් කියන්න කිවුවොත් එවලේම ඉදිරිපත් වෙන පුරුද්දක් මට තිබුණා. අවුරුදු උත්සවවල මම ජන ගායනා තරගවලට ඉදිරිපත් වෙලා පළමු ස්ථානය ලබාගෙන තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කළ භක්ති ගීත තරගවලට ඉදිරිපත් වුණා. මට හොඳට ඒ කාලේ භක්ති ගීත ගායනා කරන්න පුළුවන්.
මගේ තාත්තා රැකියාව කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිසා ශිෂ්‍ය භක්ති ගීත තරගවලට ඇතුළත් වෙන්න මට හැකිවුණා. ගායනා තරග වගේම නර්තන තරගවලටත් මම ඒ කාලේ සහභාගී වුණා. උසස් පෙළ කළාට පස්සේ තමයි මම සංගීතය විෂයක් විදියට හදාරන්න පටන් ගත්තේ. උසස් පෙළට මම ඉතිහාසය, සංගීතය, බෞද්ධ ශිෂ්ටාචාරය, සිංහල කියන විෂයන් තමයි හැදෑරුවේ. මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ සංගීතය විෂයක් විදියට හදාරන්න. ඉන් පස්සේ මම තරුණ සේවා සභාවට ඇතුළත් වීම හරහා සංගීතය තරමක් යට ගිහිල්ලා නාට්‍ය කලාවට වැඩි වශයෙන් යොමු වුණා. පහුගිය කාලේ මට නැවතත් ගායිකාවක් විදියට මතු වෙන්න උවමනා වූ නිසා මගේම ගීත 09 ක් මම පටිගත කරගත්තා. ඉදිරියේදී මගේ ගීත සංයුක්ත තැටියක් නිකුත් වීමට නියමිතයි.
මගේ වෙනත් හැකියාවන් ගැන කතා කළොත් මම කැඩෙට් කෙනෙක්. ඒ කියන්නේ ශිෂ්‍යභට බාලිකාවක්. මම රන්ටැඹේ පුහුණුවට පවා ඒ කාලේ ගියා. ඒ වගේම සාජන් නිලයටත් උසස් වුණා. එහිදී කරපු නාට්‍යවලදීත් හොඳම නාට්‍ය විදියට අපේ නාට්‍ය සම්මාන දිනාගත්තා. ජීවිතයේ පිළිවෙල කියන එක මම ඉගෙන ගත්තේ එතනදී. ගොඩාක් විෂයන් එතනදී ඉගෙන ගත්තා. ඊට අමතරව මම පාසලේ ඉඳපු හොඳ ක්‍රීඩිකාවක්. දුර පැනීම, යගුළිය විසි කිරීම වගේ තරග ඉසව්වලට සහභාගි වුණා. සංගීතය, නාට්‍යවලින් සමස්ත ලංකා ජයග්‍රහණ ලැබුවත් මම ඉස්කෝලේදී පහුගිය කාලේ සමාජ මාධ්‍යයේ ලියන්න ගත්තාම මට ලැබුණු ප්‍රතිචාර එක්ක මටත් පොඩියට හරි ලියන්න පුළුවන් කියලා තේරුණා. ‘‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’’ කියන එක බොරුවක් කියලා තමයි මට හිතෙන්නේ. ලියන්න ලැබුණු උත්තේජනයත් එක්ක ඉදිරියේදී නවකතාවක් එහෙමත් මගේ අතින් බිහිවෙන්න පුළුවන්. මම ඊට අමතරව නාට්‍ය ගුරුවරියක් විදිහටත් වැඩ කරනවා. මට නාට්‍ය ඇකඩමියක් තියෙනවා. පළවෙනි සහ දෙවැනි කියලා කණ්ඩායම් දෙකක් මගේ ඇකඩමිය හරහා ක්ෂේත්රයට දායාද වී තිබෙනවා. රඟපෑම ගැන ඉගෙන ගන්න ආස අයට තමයි මම මේ ඇකඩමිය පටන් ගත්තේ.
ඒ වගේම මගේ වෙනත් හැකියාව ගැන කිවුවොත් අධ්‍යක්ෂණයටත් මට යම් හැකියාවක් තිබෙන බව ‘‘සිල්වෙස්ටර් ආයෙමත්’’ සහ ‘‘සම විෂම’’ යන නාට්‍යවලින් මට හැකි වුණා. අධ්‍යක්ෂණයත් මට හොඳ අත්දැකීමක් ලෙස මම විශ්වාස කරනවා. මගේ නාට්‍ය හරහා යෞවන සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස චානු දිසානායක සම්මාන ලැබුවා. මගේ අධ්‍යක්ෂණය යටතේ හොඳම නිළියක් බිහි කරන්නත් මට හැකිවුණා.
ඉස්සර මං ගෙදර ඉන්න කාලේ උයන්න කුස්සිය පළාතටවත් ගියේ නැහැ. ඒත් කොළඹ ආවම මට තනියම උයාගෙන කන්න සිද්ධ වුණා. අද මට ඕනෑම කෑමක් රසට උයන්න පුළුවන්. ඒකත් ප්‍රේක්ෂකයෝ මං ගැන නොදන්නා දෙයක්. ඒ වගේම මම වෙළෙඳ දැන්වීම් හඬ කැවීම් ශිල්පිනියක් බව ගොඩක් අය දන්නේ නැහැ. ඒකටත් මට හොඳ හැකියාවක් තිබෙනවා. ඒ වගේම මට හොඳට නටන්නත් පුළුවන්. ශෛලිගත නාට්‍යවල රඟපාන නිසා මගේ නර්තන හැකියාවත් මට ගොඩක් ඉවහල් වුණා. මනමේ, සිංහබාහු කියන නාට්‍ය නිර්මාණ දෙකේම මට රඟපාන්න ලැබීම නිළියක් ලෙස ලද වාසනාවක්.
අමිල චින්තක ගමගේ