මට මතකයි එක වතාවක පිරිමි ළමයෙක් මට ගැහුවා
මෙවර ‘ඉස්කෝල කාලේ’ විශේෂාංගයෙන් සඳැල්ල හා එකතු වන්නේ මේ දිනවල ප්‍රේක්ෂක හදවත් තුළ ලැඟුම් ගත් ආදරණීය චරිතයක්. ඇය නමින් ප්‍රවීණා දිසානායක
මම ඉස්කෝල දෙකකට ගියා. මුලින්ම ගියේ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයට. ඒ මගේ ප්‍රාථමික විද්‍යාලය. එතැනින් පසුව 6 වසරේ සිට මම ගියේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට. ප්‍රාථමික අංශයේ ඉද්දි මම ටිකක් දඟයි. චණ්ඩි වැඩ ගොඩක් කරලා තියෙනවා. ඒ කාලෙ පිරිමි ළමයි එක්ක එහෙම වලිදාගන්නවා. ඒ නිසාම අප්පච්චි මට කියලා තියෙන්නෙත් කාත් එක්කවත් රණ්ඩුවට යන්න එපා කියලා.
උදේට ඉස්කෝලෙ යද්දිත් ඒ ටික හැමදාම වගේ කියනවා. මට මතකයි එක වතාවක පිරිමි ළමයෙක් මට ගැහුවා. ඉතින් මම අප්පච්චි කියපු දේ මතක් වෙලා ඒ ළමයා එක්ක රණ්ඩුවට ගියේ නැහැ. නමුත් ඒ ළමයා දිගින් දිගටම මගෙත් එක්ක රණ්ඩු වෙනවා. මට ගහනවා. මම ඉතින් ගෙදර ඇවිල්ලා ඒක කියලා අඬනවා. ඒ එක දවසක අප්පච්චි මට කිව්වා ආයෙත් කවුරුහරි ගැහුවොත් මටත් ගහන්න කියලා. ඉතින් ඒ වචනෙත් එක්ක මම ඊළඟ දවසෙ ඉස්කෝලෙ ගියාම ඒ ළමයාට හොඳ ගුටියක් දුන්නා. ඒක කොහොම හරි ඒ පිරිමි ළමයාගේ ගෙදරින් දැනගෙන අපේ ගෙදරටත් කතා කරලා කියලා මාරම ප්‍රශ්නයක් වුණා. පස්සෙ ඉතින් ඒ පිරිමි ළමයයි මමයි හොඳම යාළුවො වුණා. ඒ කාලෙදි රණ්ඩු වෙනවා කියලා නම් හරියට පැමිණිලි තිබුණා. ඒ වගේම ළඟ ඉන්න ළමයාව අල්ලගෙන කතා කර කර ඉන්නවා කියලත් පැමිණිලි තිබුණා.
ඉතින් ඒ දේවලුත් එක්ක මගේ ජීවිතේ ගොඩක්ම ගෙවුනෙ නර්තනය එක්ක තමයි.
පෙර පාසල් යන කාලෙ ඉඳලම නර්තනය කරනවා. ප්‍රාථමික අංශයෙත් එහෙමයි. ඒ තරගවලට සම්බන්ධ වෙලා තියෙනවා. 6 වසරට ආවට පස්සෙ තමයි දිගටම නර්තනය හදාරන්න ගත්තෙ. ඒ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ගියාට පසුව. ඒ පාසලට ගියාට පස්සෙ දඟ ළමයෙක් වුණේ නැහැ. වැඩිපුරම හිටියෙ නැටුම් කාමරේ තමයි.
මාව ඒ වෙනුවෙන් යොමු කළේ මගේ නර්තන ගුරුවරිය චම්පිකා ගුරුතුමිය. ඇයගෙන් ඉගෙන ගත්ත දේ තවමත් මම ප්‍රගුණ කරගෙන යනවා. ගොඩක් දේවල් එතුමියගෙන් ලබාගත්තා. තවත් ගුරුවරු ඉන්නවා. නමුත් චම්පිකා ගුරුතුමිය තමයි මගේ ගමනට ලොකුම ශක්තියක් වෙලා හිටියෙ.
ඉස්කෝලෙ හැම නර්තන තරගයකටම වගේත් හැම උත්සවයකටම වගේත් අනිවාර්යයෙන් මගේ නර්තන අංගයක් තිබුණා.
ඒ කාලෙ ඉස්කෝලෙන් මට තිබුණු තවත් ලොකු පැමිණිල්ලක් තමයි මම පන්ති කාමරේ ඉන්නෙ නෑ කියන එක. මොකද මම ගොඩක් හිටියෙ නැටුම් කාමරේනෙ. ඒ කාලෙ ඉතින් මම කලාව එක්ක ගොඩක් බැඳිලා හිටියෙ. ළමා නාට්‍යයත් කරලා තියෙනවා වේදිකාවෙ. නමුත් ඒ දේ දිගටම කරගෙන යන්න බැරිවුණා අධ්‍යාපන කටයුතුත් එක්ක.
ඉස්කෝලෙ මම ගොඩක් ජනප්‍රියයි නර්තනය නිසා. ගුරුවරුන් ගොඩක් ආදරෙයි.
ඒ ආදරේ නම් අදටත් තියෙනවා. මට ඉස්කෝලෙ යාළුවොත් ගොඩක් හිටියා. මිශ්‍ර පාසලක් නිසා ගැහැනු පිරිමි වෙනසක් තිබුණෙ නැහැ. හරිම සුන්දර යාළුවො පිරිසක් හිටියෙ සම වයස් කියලා නැහැ. ලොකු පොඩි හැමෝම යාළුවො ගොඩක් හිටියා.
ඒ යාළුවොත් එක්ක ඉතින් එකතුවෙලා කරපු වැඩවලට දඬුවම් විඳපු අවස්ථාත් ගොඩක් තියෙනවා. ඒ අතරින් ගොඩක්ම බැනුම් අහලා තියෙන්නෙ පීරියඩ් කට් කරලා තමයි. ඒ වගේම පන්තියේ ගුරුවරු නැති වෙලාවක් ආවොත් එකට එකතුවෙලා සින්දු කියනවා. කෑ ගහනවා. රණ්ඩු වෙනවා. ඒවාට සමහර වෙලාවට ගුරුවරුන්ගෙන් අනන්තවත් බැනුම් අහලා තියෙනවා.
ඒ වගේම කෑම කද්දිත් කට්ටියම එකතුවෙලා කන්නෙ. කවදාවත් ඉන්ටවල් එකට කෑම කාලා නැහැ. හිස් පීරියඩ් එකක් ආපු ගමන් බත් මුල් දිග ඇරගෙන කනවා. ඒ මතකයන් ඇත්තටම අද මතක් වෙද්දිත් මාරම සුන්දරයි. ඒ තරමට ලස්සන අතීතයක් තමයි ඉස්කෝලෙ කාලෙ කියන්නෙ.
ඒ කාලෙ තවත් අමතක නොවනම දවස් තමයි ඉස්කෝලෙ නිවාඩු දෙන දවස. කට්ටිය නිල් ගහගන්නවා. වතුර ගහගන්නවා. ඒ වගේ ගොඩක් දේවල් කරනවා. මම හරිම අකමැතියි වතුර ගහනවට. කොහොම හරි ඉස්කෝලෙන් මම බේරිලා ආවත් ස්කූල් බස් එකෙන් බේරෙන්න විදියක් නැහැ. ඒකෙදි අහුවෙනවා. එක දවසක් මම වතුර නාලා ඇවිල්ලා අම්මා මට එළියෙන් නාලා එනකම් ඇතුළට ගත්තෙ නැහැ. නිල් කුඩු, වතුර නාලා එදා ගෙදර ආවෙ. ඒ මතකය මගෙ හිතේ තවම තියෙනවා.
ඉස්කෝලෙදි නම් ඉතින් වැරැදි වැඩක් කළොත් කණ්ඩායම් පිටින්නෙ බැනුම් අහන්නෙ හෝ දඬුවම් විඳින්නෙ. එතකොට ඒ දේ වැඩිපුර දැනෙන්නෙ නැහැ. තනියෙන් බැනුම් අහද්දි තමයි ටිකක් අවුල්.
මට මෑතකදි පාසල් නිල ඇඳුම අඳින්න ලැබුණා කලා නිර්මාණයකට. ඒ ඇන්දම ඇත්තටම මාරම හැඟීමක් දැනුණෙ මොකද කවදාවත් නැවත අඳින්න ලැබෙයි කියලා හිතුණෙ නැති නිල ඇඳුම අඳින්න ලැබීමම ලොකු සතුටක්නෙ. ඒ ඇඳුම ඇඟට දාගත්තම අපෙන් ගිලිහී ගිය ඒ සුන්දර පාසල් කාලෙට අපි නැවතත් යනවා.
දුවලා, පැනලා, යාළුවොත් එක්ක ඒ ගත කරපු සුන්දර කාලය ආයෙත් එනව නම් කියලා හිතෙනවා.
ඒ තරමට සුන්දර කාලයක් තමයි ඒ. මම කොහොමත් ඉස්කෝලෙ යන්න හරිම ආසයි. ඇත්තටම ආයෙත් යන්න පුළුවන් නම් කියලා හිතෙනවා. දැන් රටේ තත්ත්වයත් එක්ක අපිට තිබුණු ඒ සුන්දර ළමා කාලය අද ළමයින්ට නැහැ. ඒ කාලය අහිමි වෙලා තියෙනවා. පාසල් යන්න බැරි තත්ත්වයක් අද උදාවෙලා තියෙන්නෙ. එහෙම බලද්දි අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා. ඒ ලස්සන කාලය අත්විඳින්න ලැබීම ගැන.
මම ඉස්කෝලෙන් ඉවත් වුණේ 2017 වසරෙ. අවුරුදු 13ක් හරි විදියට ඉගෙන ගන්න දේවලුත් කරලා යාළුවොත් ආශ්‍රය කරලා බාහිර ක්‍රියාකාරකම් එහෙමත් කරලා හැමදේම සමබරව කරගෙන පාසලේ හරි විදියට ජීවත් වුණ නිසා තමයි අපි අද මෙතැන ඉන්නෙ. අපි හදපු තැන තමයි පාසල. ඒ නිසා මම මගේ පාසල් දෙකටම ගොඩක් ආදරෙයි.
ධනු විජේරත්න