මට මගේ ජීවිතේ හැමදේම ලැබිලා තිබුණත් දුවෙක් විදිහට තාත්තාගේ වියෝව දරාගන්න මාරම අසීරුයි
අනුරාධා එදිරිසිංහ කියන්නේ අපේ කලා ක්ෂේත්රය තුළ ඉන්න ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක්. වෙළඳ දැන්වීම් කලාවෙන් කලා ක්ෂේත්රයට පිවිසෙමින්, මෝස්තර නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් ලෙස ප්‍රේක්ෂක හද බැඳගත් ඇය කාලෙන් කාලෙට ප්‍රේක්ෂකයන් ඇබ්බැහි කරවන චරිත තුළින් මතුවෙනවා. රාවණ, ගිරිදේවී, සකර්ම ඊට හොඳම උදාහරණ කිවහොත් නිවැරදියි. කොහොම නමුත් නාඩගම්කාරයෝ අවසානයේ කෝලම් කුට්ටමට ආපු ‘‘හිරුණි ටීචර්’’ ගැන වගේම නන්නත්තාර ටෙලිනාට්‍යයේ ‘‘නිදියා’’ ගැන කතා කරන්න බොහොම කාලෙකට පස්සේ මේ ඉඩකඩ වෙන් වූයේ ඇය වෙනුවෙනි. මේ අනුරාධා එදිරිසිංහ.
ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ?
මේ දවස්වල නම් ජීවිතේ වැඩි කාලයක් ගෙවෙන්නේ කෝලම් කුට්ටම එක්ක තමයි. ඇත්තටම මම ලොකු විවේකයකට පස්සේ තමයි මෙගා නාට්‍යයකට සම්බන්ධ වුණේ. නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ අවසන් කොටස්වල ඉඳලා තමයි මගේ චරිතේ එළියට ආවේ. ඒ දවස්වල නම් මාස්ටර්ගේ කණ්ඩායමට අසාධාරණකම් කළා කියලා සෑහෙන්න බැනුම් ඇහැව්වා. දැනුත් හිරුණි ටීචර්ගේ සමහර වැඩවලට සෑහෙන්න බැනුම් අහනවා. හොඳ නරක ප්‍රතිචාර දෙකම මැද්දේ කෝලම් කුට්ටම එක්ක ගෙවන කාලේ අතිශය සුන්දරයි.
කෝලම් කූට්ටමේ ‘‘හිරැණි ටිචර්’’කොහොමද ඒ අත්දැකීම ?
මුලින්ම කියන්න ඕන ශිවගුරුනාදන් මහත්මා එක්ක වැඩ කරන්න හරිම කැමතියි මම. මේ ඔහු සමඟ කරන තුන්වෙනි නිර්මාණය. ඒ වගේම කෝලම් කූට්ටම කණ්ඩායමට මම හරි කැමතියි. මම වැඩි කාලයක් ඉන්න ආසම තැන එතැන. මම නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ හොඳ ප්‍රේක්ෂකයෙක්. ඒත් එක්කම ආරම්භ වූ කෝලම් කූට්ටම ටෙලිනාට්‍යයට අවස්ථාව ලැබුණාම මම හරිම ආසාවෙන් භාරගත්තා. ශිවා අයියා එක්ක ඉන්නවා කියන්නේ රංගන පාසලක ඉන්නවා වගේ තමයි. ඔහු හරිම සුන්දර වගේම අපි වගේ නවකයින්ට මුණගැහෙන්න ඕනම අධ්යක්ෂවරයෙක්.
හිරුණි ටීචර් කියන්නේ නැටුම් ගුරුවරියක්. ස්වාධීන ගැහැණියක් විදිහට ආර්ථිකය ස්ථාවර කරගන්න කැමති කඩිසර තරුණියක්. ඒවගේම හිරුණි කියන්නේ කියන්න ඕනදේ මූණටම කියන කෙනෙක්.
අනුරාධා වෙනත්ම විදිහකින් එන ‘නන්නත්තාර’ කතා නොකරම බැරි නිර්මාණයක්?
ඇත්තටම ජයන්ත චන්ද්‍රසිරි මහත්මාගේ නන්නත්තාර කියන්නේ මට ජීවිතේ වෙනස්ම අත්දැකීමක් ගෙනදුන්න ටෙලි නාට්‍යයක්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මාගේ ටෙලිනාට්‍යයක රඟපානවා කියන එක මට තිබුණ හීනයක්. රඟපාන්න නැතත් ජයන්ත සර්ගේ වැඩ මුළුවකට හරි සහභාගි වෙන්න මට දැඩි වුවමනාවක් තිබුණා. ඒ අතරතුර එහි කැමරා අධ්යක්ෂ නිශාන්ත ප්‍රදීප් මහත්මා හරහා එතුමාගේ කතාවක රංගනයට අවස්ථාව ලැබුණාම මට පුදුම හිතුනා වගේම ලොකු සතුටක් දැනුණා.
නන්නත්තාර ටෙලිනාට්‍යයේ මම නිරූපනය කරන්නේ ‘නිදියා’ කියන චරිතය. මේ නිර්මාණය හරහා කතා කරන්නේ වර්තමාන සමාජ ක්‍රමය ඇතුලේ පවතින තාත්වික කතාවක්. මහාරිපරිමාණ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවකුගේ වහල් සේවිකාවන් පිරිස අතර ඉන්න තවත් එක් වහල් සේවිකාවක් තමයි ‘නදියා’ කියන්නේ. ඒ වහල් සේවිකාවන් අතර ‘‘නදියා’’ කියන මගේ චරිතය වෙනස් වෙන්නේ නදියා වැරදි තැනකට වැටුණත්.
‘තමන්ගේ මානුෂීය අයිතීන් වෙනුවෙන් සටන් කරලා නරකාදියෙන් එලියට යන්න උත්සාහ කරන තරුණියක්. අපි ජීවත් වෙන්න ඕන තැන මෙතන නෙමෙයි කියලා සටන් කරන ඇය වැනි බොහෝ දෙනා මේ සමාජයේ ජීවත් වෙනවා. නන්නත්තාර කියන්නේ මේ සමාජ ක්‍රමය ඇතුළේ බොහෝ දේ කතා කරන නැරඹිය යුතුම නිර්මාණයක්.
මේ වෙනකොට අනුරාධා විවිධ වූ චරිත රඟදක්වලා තියෙනවා. ඒ අතුරින් අනුරාධාගේ රංගන දක්ෂතාවට වෙනස්ම ආලෝකයක් එක්කළ චරිතයක් තියෙනවද?
මම හිතන්නේ මගේ කලා ජීවිතේ කලා නිර්මාණවල හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ රාවණ ටෙලිනාට්‍යය. මම ප්‍රධාන චරිතයක් කරපු පළමු අවස්ථාවත් රාවණා ටෙලිනාට්‍යයේ පුෂ්පොත්කතා චරිතය. අදටත් රාවණා ටෙලිනාට්‍යයේ පුෂ්පොත්කාතාගේ චරිතයට ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා. රාවණ අදියර 3 රූගතකිරීම් අවසන් කරලා තියෙන්නේ. රාවණා 3 ඉදිරියේදී විකාශනයවීමට නියමිතව තිබෙනවා.
ඒ වගේම පසුගිය කාල සීමාව තුළ රාවණ නිසා මට ලැබුණු සුවිශේෂිම තෑග්ගක් තමයි ‘‘ගිරිදේවි’’ ටෙලිනාට්‍යය. ගිරිදේවි ටෙලිනාට්‍යයේ රූපිකාගේ චරිතය මට ලැබුණේ රාවණා ටෙලිනාට්‍යයේ පුෂ්පෝත්කතා චරිතයේ රංගනය දැකලා.
පුංචි තිරයේ ප්‍රේක්ෂකයෝ ඇබ්බැහි වෙච්ච චරිත කරපු අනුරාධාට සිනමාවෙන් දොරක් විවර නොවුණේ ඇයි?
ඇත්තටම මම දැන් ක්ෂේත්රයට ඇවිත් අවුරුදු 8ක් වෙනවා. මේ වෙනකම් කිසිම සිනමා නිර්මාණයකට දායකවෙලා නැහැ. හැබැයි ආරාධනා ලැබිලා තියෙනවා. නිර්මාණ 2කට කොරෝනා කාලේ ආරාධනා ලැබුණා. ඒත් ඒ නිර්මාණ කොරෝනා එක්කම පස්සට ගියා. ඒ අතර ලැබුණු සමහර පිටපත්වලට යම් යම් නොගැලපෙන තැන් නිසා මම කැමති වුයේ නැහැ. ඕනම නළුවෙකුට නිළියකට සිනමාව කියන්නේ එක්තරා සිහිනයක්. ඒ සිහිනය මටත් තියෙනවා. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් අනිවාර්යෙන්ම දායක වෙනවා.
පෞද්ගලික ජීවිතේ මොනවද අලුත් තොරතුරු?
පෞද්ගලික ජීවිතේ කියලා ඉතින් වෙනසක් නැහැ. කලාව එක්කම තමයි ජීවිතේ ගෙවෙන්නේ.
ආදරය ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ?
ආදරය කියන්නේ එකිනෙකා විශ්වාස කිරීම සහ ගෞරවය විශ්වාසය රැකීම. අනෙකාට වටිනාකමක් දෙන තරමට තමයි ආදරය ශක්තිමත් වෙන්නේ.
සමකාලීනයෝ පෝලිමේ විවාහ වෙනවා. අනුරාධාගේ අවස්ථාව තාම එළඹිලා නැද්ද?
ඔව්, යාළුවෝ ටික නම් පෝලිමට බඳිනවා. ඇත්තටම මට විවාහය සම්බන්ධයෙන් ගෙදරින් කිසිම බලපෑමක් කරලා නැහැ. මගේ අම්මාගේ ඒ තේරුම් ගැනීමම මට ගොඩක් වටිනවා. විවාහයට වයසක්, කාලයක් නැහැ. වයස යන නිසා විවාහ වෙන්න ඕන කියනවා නම් ඒක මෝඩකමක්. මම මේ ලෝකේ වැඩිපුරම ආදරය කළ පිරිමි චරිතය මගේ තාත්තා. තාත්තා හදිසියේම අප අතරින් වියෝවෙලා වසර 6ක්. ගැහැණු දරුවෙක් විදියට තාත්තා ළඟ ඉන්නම ඕනේ කාලේ එයාගේ සෙනෙහස අහිමි වෙනවා. මට මගේ ජීවිතේ හැමදේම ලැබිලා තිබුණත් දුවෙක් විදිහට තාත්තාගේ වියෝව දරාගන්න මාරම අසීරුයි.
මගේ හිත හොයන්නෙම මගේ තාත්තා වගේ මාව ආරක්ෂා කරන මට වටිනාකමක් දෙන මාව තේරුම් ගත්ත කෙනෙක්ව.
නදීශා අතුකෝරළ / ඡායාරූප - සජීව ලක්ෂාන්