මට නම් හිතෙන්නේ හැමෝම ලස්සනයි. හිත ලස්සන නම් ඒ හැමෝම ලස්සනට තමයි පෙනෙන්නේ.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිත ලස්සන කර ගන්න නම් ඕනෑවට වැඩිය හිතන්නේ නැතුව ඉන්න ඕනෑ. ජිවිතයේ පීඩනයක් දැනෙන්නේ ඕනෑවට වඩා හිතන්න ගියාමයි. ඉතින් මොකටද මානසික පීඩනයක් ගන්නේ? අපට සැළසුමක් ජිවිතයට අවශ්‍යයි. හැබැයි එ්ක මහා බරක් ලෙස ගෙන පීඩනයක් ඇති කර ගන්න එක හොඳ නැහැ. ඒ මොහොතේ හිනාවෙලා ඉන්න පුළුවන් විදියට හිත තියා ගත්තාම, ඔබගේ මුහුණත් ලස්සනට පෙනේවි.මෙහෙම කියන්නේ රුමලි කේෂිඩා. දන්නවනේ අපට ඇය හමුවන්නේ දෙවැනි ඉනිම නාට්‍යයෙන්. හිත ලස්සන කරගන්න විදිය ගැන කියන ලස්සන රුමලි අපට තවත් මොනවද කියන්නේ බලමු.

රුමලි මේ දිනවල බොහෝ දෙනා ඔබ ගැන කතා වෙනවා නේද? මොකක්ද ඒකට විශේෂ හේතුව?

මේ ළඟදි දවසක සිරස ටී.වී. එකට ගිහින් බත් කන්නේ නෑ කියලා කිව්ව නිසා ඒ ගැන තමයි බොහෝ දෙනා මගෙන් අහන්නේ. මම හිටියේ ගොඩක් මහතට. ඉතින් බත් කෑම අඩු කළත් එක්කම මම ගොඩාක් වෙනස් වුණා.

බත් නොකා මොනවද කන්නේ? බත් කෑම අඩුකළ නිසාමද හිටියට වඩා කෙට්ටු වුණේ.

මට නම් ඇත්තටම බත් නොකා සිටීම නිසා මහතට තිබූ සිරුරේ බර අඩු කර ගන්න හේතුවක් වුණා. එක එක්කෙනාගේ සිරුරේ විදිය වෙනස්නේ. මට නම් බත් කෑම අඩුකළ නිසා හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණා. ඒ විදියට බත් කෑම අඩු කරන්න පටන් ගෙන මේ අවුරුද්දට අවුරුදු පහක් විතර වෙනවා. ගෙදර කට්ටිය එක්ක හරි යාළුවෝ එක්ක හරි එළියට ගියාම බත් කටක් දෙකක් විතර කෑම හැරෙන්නට ඒ අවුරුදු පහටම බත් කෑවෙම නැති තරම්. පළතුරු මස් මාළු එළවළු වර්ග තමයි ආහාරයට ගන්නේ. බත් කැවොත් බර වෙනස් වෙනවා. බත් දැක්කත් මහත්වෙන තරම්. එළවළු පළතුරු අපට අහිතකර නැහැනෙ. කුරක්කන් වලින් හදපු නූඩ්ලස් ටිකක් ඒ වගේ දේ එක්ක මිශ්‍ර කරගන්නවා.

රඟපෑම් කටයුතු කොහොමද මේ දිනවල?

තවමත් දෙවැනි ඉනිම නාට්‍යයේ රඟපාන්නේ. දෙවැනි ඉනිමට සම්බන්ධ වෙලා අවුරුදු එකහමාරක් විතර වෙනවා. ඒ හැර අලුත් වැඩකට එකතු වෙලා ඉන්නෙ. දෙවැනි ඉනිමෙන් පස්සේ ඒ වැඩේට සම්බන්ධ වෙන්න සුදානමින් ඉන්නේ.

ඒ කියන්නේ දෙවැනි ඉනිමෙන් පස්සේ ජිවිතේ ඉනිමක් අරඹන්නද හදන්නෙ?

මෙච්චර කල් කළ රංගනයන්ට වඩා වෙනස්ම චරිතයකට දායක වෙන්න ඉන්නේ. එ්ක තමයි ඉතින් අලුත් ඉනිම වෙන්නේ. රංගනයේදි සහ වෘත්තීය ජිවිතේ ගැන තමයි තවමත් හිතන්නේ. වෙන ඉනිමක් ගැන නම් තවම හිතලා නැහැ.

රුමලි කේෂිඩා වඩා කැමති රුමලි නමටද කේෂිඩා නමටද?

දෙකටම කැමතියි. ඒ අතරින් හැමෝම රුමලි කියන නිසා ඔක්කෝමලා කියන ඒ නමට මම ආසයි.

කොහොමද රුමලිගේ පෙම් ඉනිම?

එ්ක ගැන ඉතින් හැමෝම දන්නවනේ. පාසල් කාලයේ ඉඳලම එන ප්‍රේමයක්නෙ. ඉතින් හොඳ අවබෝධයෙන් එ්ක ගලාගෙන යනවා.

පහුගිය කාලයේදි රුමලි කාටත් හොරෙන් රූ රැජිනක් වුනාද?

මේ දිනවල රටේ තියෙන තත්ත්වයත් එක්ක උත්සවයක් ගන්න සහ ඒකට කාලය අරගෙන ඒ වගේ දෙයක් සංවිධාන කරන්න තරමක් අසීරු වාතාවරණයක් තියෙන්නේ. ඒ නිසා ලෝකයේ තියෙන විවිධ රූ රැජින උත්සව වෙනුවෙන් ඒ ඒ රටවලට අදාලව සිටින ජාතික අධ්‍යක්‍ෂවරු ඒ ඒ රටවල සිටින සුදුසුකම් ඇති තරුණියන් ඒ වෙනුවෙන් නම් කරනවා. ඒ අනුව තමයි මම සිලෙක්ට් වුණේ. මිස් ඒෂියා ශ්‍රී ලංකා විදියට පසුගියදා රට නියෝජනය කළා. ඉස්සර මිස් ඒෂියා ලෙස හැඳින්වූ ඒ රූ රැජින තරගය දැන් හඳුන්වන්නේ මිස් ඒෂියා ග්ලෝබල් නමින්. රෝසි සේනානායක මහත්මිය විවාහ වීමට පෙර ඒ කාලයේදි මිස් ඒෂියා නියෝජනය කරලා තියෙනවා. 2022 වසරේදි එය නියෝජනය කිරීමට මට අවස්ථාව ලැබුණා. මේ තරගය දින 12 ක කාලයක් පුරාවට පැවැත්වුණේ මලයාසියාවේ.

කවුද ඒ ඉසව්ව වෙනුවෙන් යාම සඳහා රුමලිට අනුග්‍රාහකත්වය දැක්වුවේ.

ඇත්තම කිව්වොත් රටේ පවතින මුල්‍ය අර්බුදය එක්ක කවුරුවත් අනුග්‍රාහකයින් නම් ඉදිරිපත් වුණේ නැහැ. ගුවන් ප්‍රවේශපත්‍රයේ ඉඳලා හැම දෙයක්ම ලැහැස්ති කර ගත්තේ මම. මට අවශ්‍ය ඇඳුම් දෙක තුනක් වෙනුවෙන් ඩිසයිනර්ස්ලා කීප දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ හැරෙන්නට මගේ පවුලෙන් තමයි මට මේ ඔක්කෝම වෙනුවෙන් සපෝට් කළේ.

මේ වගේ තරගයකට ඉදිරිපත් වීමෙන් රුමලිට ලැබුණ දේ?

මගේ වෘත්තීය ගමනට ලොකු අත්දැකීමක් ලබා ගැනීම තමයි මගේ අරමුණ වුණේ. රටවල් 67 ක විතර තරගකාරියන් සමග මට මගේ රට නියෝජනය කරන්නට ලැබීම ලොකු අත්දැකීමක් ඒ වගේ ලොකු ගෞරවයක්. මම ක්ෂේත්‍රයට ආවේ නර්තන ශිල්පිනියක ලෙස. නිරූපණයට ගොඩක් කැමති කෙනෙක් නිසා ඒ අත්දැකීම් එක්ක මේ තරගය නියෝජනයට ඉදිරිපත් වුණේ ඉතාම කැමැත්තෙන්.

ඒ තරගයේදී ලැබුණු ස්ථානය?

රටවල් 67 කින් එක් තරගකාරියක් විතරයි මිස් ඒෂියා විදියට තේරන්නේ. ඒ අතරින් තේරුණේ තායිලන්තයෙන් පැමිණ සිටි රුවැත්තිය. හැබැයි තරගකාරියන් 67 දෙනාම කරටකර තරගයක් දුන්නේ.

ඉදිරියටත් රූ රැජින තරග නියෝජනය කරන්න බලාපොරොත්තු වෙනවාද?

දැනට එහෙම අදහසක් නැහැ. මේ දිනවල ටෙලි නාට්‍ය රංගනය ගැන තමයි වැඩිපුර අවධානය තියෙන්නේ.

ඇයි මෙතෙක් කලක් දෙරණින් කරන ටෙලි නාට්‍යවල හැර වෙනත් නාට්‍යවල රඟනොපැවේ?

වෙනත් ඒවායේ රඟපෑමට ආරාධනා ලැබුණා. ඒත් මම ඒවාට නොගියේ දෙරණ එක්ක මගේ තිබෙන සම්බන්ධය ලඟයි. මොකද මගේ ප්‍රථම ටෙලිනාට්‍ය විකාශය වුණේ දෙරණේ. එදා බඳවා ගැනීමේ පරීක්‍ෂණයකට ගියාම මුලින්ම මාව තේරුණේ පාවෙලා වළාකුලේ ඒවිද අම්මා නාට්‍යයට. ඒක තමයි මගේ පළවැනි නාට්‍යය. 

දෙවැනි ඉනිමේ මුලින් සිටි සමහර අය අද දකින්නට නැහැ. ඔබ දිගටම එහි රඟපානවා. මොකද හිතෙන්නේ?

මම හිතන්නේ දෙවැනි ඉනිම එක්ක රැඳී සිටි සමහර අය එයාලගේ පුද්ගලික හේතු නිසා ඉවත් වෙන්න ඇති. ඒක එයාලගෙ අයිතියක්. කාලයක් එකම දේ කරද්දි එකම තැන රැඳී සිටිද්දි එහෙම හිතෙන එකත් සාධාරණයිනේ. ජිවිතේ හැමෝම නිතරම වෙනසක් සොයන්නේ. ඒත් දෙවැනි ඉනිම අදටත් මිනිසුන් අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ මිනිස්සු එ්කට ආදරය කරන නිසානෙ.

රුමලි සිනමාවේ රඟපෑම් කොහොමද? සිනමාවට ආරාධනා ලැබෙන්නේ නැද්ද? ටෙලි නාට්‍ය ඉනිම්වල විතරද රඟපාන්නේ?

කොවිඩ් වසංගතයට පෙර චිත්‍රපට දෙකක රඟපෑවා. ඒවා ළඟදිම ඒවි. රංගන ශිල්පිනියක ලෙස ඉදිරියට යාම අරමුණයි. එහිදී හොඳ නිර්මාණවලට දායක වීමට කැමතියි. හදිසියක් නැහැ. 

රුමලි රංගනයට තෝරා ගත්තේ?

මුලින්ම හිටියේ වෙළඳ දැන්වීම්වල. රඟපෑමට හැකියාවක් තියෙන බව දැනගත්තේ එතැනදි. ඒ නිසාම තමයි ටෙලි නාට්‍යකට තෝරා ගැනීමේ පරීක්ෂණයට ගියෙත්. එහිදී තේරුනාට පස්සේ රංගනය ගැන ආසාව වගේම උනන්දුව වැඩි වුණා. නර්තනය පවා කරන්නේ ආසාවට. රට නියෝජනය කිරීමට තිබුණු ආසාව මගේ හීනයක්. ජීවිතයේ අපි ආසා කරන දේ එක්ක අරමුණ කරා යන ගමනක තවත් අංශයක් රඟපෑම.

අද කාලයේ නිළියන් බොහෝමයි එයාලා නාට්‍ය හතර පහක එකවර රඟපාන හැටි දැක ගන්නත් පුළුවන්. රුමලිට ඒ විදියට අවස්ථා ලැබෙන්නේ නැද්ද? 

මට මුල්ම නාට්‍යයේ රඟපාද්දි නාට්‍ය කීපයකම රඟපෑමට ආරාධනා ලැබුණා. ඒත් කරන එක වැඩක් බාරගෙන වැඩ කිරීමට මම ආසයි. තවත් අය එකවර නාට්‍ය කීපයකම රඟපෑම ගැන මම වරදක් දකින්නේ නැහැ. එ්ක එයාලගෙ කැපවීම. පුද්ගලිකව ගත්තොත් මම කැමති ඒ වෙලාවේ කරන නිර්මානයට දායක වීමටයි. ඒ හරහා මාව හඳුනා ගන්නවාට මම කැමතියි.

රුමලි ලස්සන ගැන කතා කරන්නේ කොහොමද? ලස්සනයි කියලා ඔබ හිතන්නේ?

මට නම් හිතෙන්නේ හැමෝම ලස්සනයි. හිත ලස්සන නම් ඒ හැමෝම ලස්සනට තමයි පෙනෙන්නේ. මවා පෑමකින් තොරව ජීවත්වන කෙනා සමාජයේ ලස්සනට පෙනෙනවා. ගෙදරට එක විදියක් එළියෙදි එක විදියක් නොවී එකම විදියට ජීවත්වන අය ලස්සනයි.

රුමලි සියයට සීයක්ම අවංක කෙනෙක්ද?

අනිවාර්යෙන්ම එහෙම විය යුතුයි. මම අවංක නිසානෙ පාසල් ප්‍රේමය පවා අදටත් තියෙන්නේ. මම කවදාවත් එ්ක වචනයෙන් කියලා නැහැ. ඒත් ක්‍රියාවෙන් ඔප්පුකරලා තියෙනවානෙ. අවංකකම සහ විශ්වාසය ආදරයට වඩාත් වැදගත්ම දේ. මම ආදරයෙදි එහෙමයි. 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ