මට ආසයි කවදාහරි තාත්තා එක්ක රඟපාන්න
ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීපවන්නේ නව පරපුරේ නැගී එන දක්ෂ ගායිකාවක් ලෙසින්. රූපවාහිණි තිරයේ බොහෝ සංගීතමය වැඩසටහන්වල ගීතයෙන් රසිකයන් පිනවූ ඇය දැන් රංගන ශිල්පිනියක් ලෙසත් පුංචි තිරය තුළ හුරු පුරුදු චරිතයක්. පසුගිය දිනවල ඇය ගායනා කළ ‘රැජිනට ඇන්දා’ ගීතය හරහා ඇයට වගේම ගීතයට ලැබුණේ ඉහළ ජන ප්‍රසාදයක්. ඔන්න ඒ රැජිනට ඇන්දා ගීතය ප්‍රසංගයක් ලෙසින් දැන් වේදිකාවට එන්නයි ලෑස්තිය.
ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ බාල දියණිය වන අමන්ද්‍යා මේ දිනවල ලක ලෑස්ති වන"රැජිනට ඇන්දා’’ වේදිකාව ඉක්ම වූ වේදිකා අත්දැකීම " වේදිකාවට ගේන කතාව කියන්නයි මේ සූදානම.
අලුත් වැඩකට ලකලෑස්ති වෙනවා කියලා ආරංචියි.
ළමා ගායිකාවක කාලේ ඉඳලා ගී ප්‍රසංගයක් කරන එක මට තිබුණ ලොකු හීනයක්. ඒක හිතනවාට වඩා සංකීර්ණ දෙයක් නිසා ඒ හීනයට මට කවදා යන්න ලැබෙයිද කියලා සහ මට ඒ තරම් දෙයක් කරන්න ශක්තිය තියේවිද කියන තැන මම හිටියා. මේ වෙලාවේ ඒ හීනයට අපි පණ දෙමු කියල අදහස මුලින්ම ගෙනාවේ මගේ සැමියා සාරංග . තාත්තා හැමදාම වගේ මගේ පිටුපස ඉඳන් ඒ මගපෙන්වීම කළා. ඉතින් ඒ හීනයට පාදක කරගත්තේ මගේ රැජිනට ඇන්දා ගීතය.
මේ සඳහා රැජිනට ඇන්දා ගීතය පාදක කරගන්න විශේෂ හේතුවක් තිබුණ ද?
මම පුංචි කාලේ ඉඳලා ගීත ගායනා කළත් ලංකාවේ ප්‍රේක්ෂකයින් ගොඩක් දෙනෙක් මාව අඳුරගත්තේ රැජිනට ඇන්දා ගීතයෙන්. රැජිනට ඇන්දා ගිතය කරලා අවුරැද්දකට වඩා වැඩි කාලයක් ගත වුණත් ඒ ගිතයට තියෙන ජනප්‍රියත්වය ආදරය අඩුවක් වෙලා නැ. ඒ වගේම මේ ගීතය මගේ තාත්තා අවුරුදු ගාණකට කලින් එයාගේ අත් දෙකෙන්ම ලියපු වචන ටිකක්. මුලින්ම මේ ගීතය ප්‍රචාරය වෙනකොටත් ගොඩක් දෙනා සිතුවේ මේක නාට්‍ය ගීතයක් කියලා. ඉතින් මං හිතුවා රැජිනට ඇන්දා ඇත්තටම වේදිකාවට ගේන්න. මේ ප්‍රසංගය මං නම් කරෙත් "රැජිනට ඇන්දා වේදිකාව ඉක්ම වූ වේදිකා අත්දැකීම " කියලා. මේ ප්‍රසංගය ප්‍රේක්ෂකයාට වෙනස්ම අත්දැකීමක් වේවි කියලා මම හිතනවා.
අමන්ද්‍යා එක්ක වේදිකාට එන්න තව අය ලක ලෑස්ති වෙනවා.
ඇත්තටම මේකේ හැඩය ටිකක් වෙනස් . මේක මගේ පළමු ඒක පුද්ගල ප්‍රසංගය වුණත්, මේක මම වේදිකාවට තනියම එන ගමනක් නෙමෙයි. මෙහි නිර්මාණාත්මත අධ්‍යක්ෂණය පැත්තෙන් සහන් රන්වල සර් සහ ගිරිරාජ් කෞෂල්‍ය මගේ තාත්තා වගේම මගේ සැමියා සාරංග කළුගලගේ සම්බන්ධ වෙනවා. ඒත් මේ මොහොතෙත් තාත්තා ටිකක් අසනිප තත්ත්වයෙන් රෝහල් ගත වෙලා ඉන්නේ ඒ නිසා තාත්තාට ලොකුවට මැදිහත් වෙන්න අපහසු කාලයක් වුණත් ඒ අඩුව පුරවමින් සාරංග මේ ප්‍රසංගයේ ලොකු බරක් අදිනවා. තාත්තා රෝහලේ හිටියත් නිර්මාණාත්මක දායකත්වයෙන්, අදහස් වලින් මාව නිතරම පෝෂණය කරනවා. නිවේදන කටයුතු සදහා මම තෝරගත්තේ ජනයි ප්‍රියයි. එයට හේතුව වුණේ මේක සම්භව්‍ය ගණයේ සංගිත රාත්‍රියත් කරන්න බලාපොෙරාත්තුවක් මට තිබුණේ නැහැ. මට ඕන වුණේ මේ පැය කිහිපය හිනාවෙලා කාලා බිලා සතුටින් ගත කරන්න පුළුවන් හෝරාවක් බවට පත් කරන්න. මෙහි මා සමග යුග ගායනයෙන් ප්‍රවීණ රංගනවේදී රොඩ්නි වර්ණකුලසූරිය මහත්මයා සහ ගායන ශිල්පී උදේශ් ඉන්දුල අයියා සම්බන්ධ වෙනවා. රොඩිනි මාමා ඒක නාට්‍යානුසාරි ගීත කිහිපයක් ගැයෙනවා. උදේශ් අයියා එක්ක වෙනම ආරක ගීත කිහිපයක් ගැයෙනවා. මේ ප්‍රසංගය නිර්මාණය කරලා තියෙන්නේ ජනගී නාද මාලාවලින් හැදුණ ගිත වලින් සහ නාට්‍ය ගීත, වගේම හින්දි තනු වලින් හැදුන නිර්මාණ ඇතුළු විවිධ අංග වලින්. ඒ වගේම නාට්‍යානුසාරි ගීතයක් වන මඩේ ලගින තාරාවන් එදාට රංගවේදී ලූෂන් බුලත්සිංහලගේ අවසරය ඇතිව වේදිකාවේ ගයන්නත් අවසරය ලැබුණා. මේ රාත්‍රිය නැටුම් ගැයුම් වැයුම් වලින් ජන ගි බටහිර ආරේ ගීත මේ සියලුම දේවල් එකතු වෙලා තියෙන වැඩක්.
අමන්ද්‍යාගේ අලුත්ම ගීතත් මේ ප්‍රසංගයට එකතු වෙනවද?
ඔව් මේ ප්‍රසංගයේ මගේම ගීත කිහිපයක් භාවිත කරනවා. ඒ වගේම තව අලුත් ගීත කිහිපයකුත් එළිදැක්වෙනවා. ඉන් එක ගීතයක් මට ගොඩක් විශේෂයි. ඒ මට තාත්තා ලියපු දෙවෙනි ගීතයත් මේ ප්‍රසංගයේදීම එළිදැක්වෙනවා. ඒක කතරගම දෙවියන්ට කරන කන්නලව්වක්. එයත් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගනීවි කියලා විශ්වාස කරනවා.
රැජිනට ඇන්දා රට වටේම යයි ද?
අනිවාර් යෙන්ම ඔව්. ප්‍රසංගය කරන්නත් කලින් රැජිනට ඇන්දා රටවටේම ගෙනියන්න ආරාධනා ඇවිත් තියෙනවා.
රැජිනට ඇන්දා වේදිකාවට එන්නේ කවදද, කොහෙදිද , කොයි වෙලාවටද කියලත් කියමු?
ප්‍රසංගය පැවැත්වෙන්නේ පෙබරවාරි 24 වැනිදා සවස 7.30 ට Waters Edge හිදි. සියලු දෙනාට ආරධනා කරනවා මේ අපූරු හෝරාව විඳගන්න එන්න කියලා. ප්‍රවේශ පත්‍ර රැජිනට ඇන්දා ඩොට්කොම් හරහා මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.
කොහොම වුණත් අමන්ද්‍යාව නිළියක් කරනවට වඩා ගායන ලෝකයේ රැජිනක් කරන්න තාත්තාට ලොකු හීනයක් තිබුණා. මේ ගමනට අද තාත්තාගෙන් ලැබෙන සහය කොයි වගේ ද?
ඇත්තටම තාත්තා රංගන ශිල්පියෙක් වුණා කියලා අක්කාවවත් මාවවත් රංගන ශිල්පිනියන් කරන්න කිසිම වෙලාවක උත්සාහ කළේ නැහැ. මම රඟපානවට තාත්තා මුලදි කැමති වුණේත් නැහැ. මගේ තාත්තාගේ ලොකුම හීනය වුණේ මාව ගායිකාවක් කරන්න. මං එයාගේ ඒ හීනය සැබෑ කළා. ඒ අතරේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට කතා කළාම තාත්තා එදා පුදුම විදිහට සතුටු වුණා. තාත්තා අද වෙනකොට මගේ රඟපැමේ හොඳ රසිකයෙක්. මගේ නිර්මාණ දකින සමහර අවස්ථාවල තාත්තා කියනවා අපරාදේ ඔයා රඟපාන්න තිබුණේ මීට කලින් කියලා.
මේ සැබෑ වෙන්නේ අමන්ද්‍යාගේ ජිවිතේ තියෙන ලොකුම හීනය ද?
හීන එකින් එක සැබෑ කරගෙන යන ගමනේ මේකත් මගේ ජිවිතේ ලොකු හීනයක්. ඒත් තව හීනයක් තියෙනවා ඒ තමයි මට තාත්තා එක්ක කවදාහරි එකට රඟපාන එක. තාත්තා එක්ක රඟපාන්න ලැබුණානම් කියන සිතුවිල්ල මගේ හිතේ හැමදාම වැඩකරනවා. ඒ සිතුවිල්ල හරි බරයි.
මොකද තාත්තාගේ අසනීප තත්ත්වය එක්ක නැවත රංගන කටයුතු කරන්න වෛද්‍යවරු අවසර දීලා නැහැ. තාත්තාට පිරිස එක්ක ගැවසෙන්න හොඳ නැහැ. මම ටිකක් කලින් රංගනයට ආවානම් මට තාත්තා එක්ක රඟපාන්න තිබුණා නේද කියලා හිතෙන අවස්ථා අනන්තයි.
නදීශා අතුකෝරළ