මගේ හොඳම ප්‍රේක්ෂකයා තමයි මගේ මහත්තයා
‘හිත ළඟ හිනැහුණා’ මිනෝලි චරිතය තුළින් ප්‍රේක්ෂක ආදරය වැඩි වශයෙන් ලබාගෙන මේ වනවිට පුංචි තිරයේ වැඩි කතාබහට ලක්ව සිටින ඒ චරිතය වෙනුවෙන් මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් කර ගන්නවා. ඇය අෂිකා මනසිංහ
අෂිකා කොහොමද අලුත් අවුරුද්ද?
අලුත් අවුරුද්ද ඉතින් හොඳයි. ජීවිතේ තවත් පිටුවක් පෙරළුණා. ඉතින් පෞද්ගලික ජීවිතේ එක්ක කලා කටයුතුත් කරගෙන යනවා.
කලාව පැත්තෙන් ගත්තොත් මේ දිනවල පුංචි තිරයේ ‘හිත ළඟ හිනැහුණා’ හි මිනෝලි එක්ක නේද ජීවිතේ ගෙවෙන්නේ?
ඔව්. හිත ළඟ හිනැහුණා නිර්මාණය එක්ක තමයි මේ ටිකේ එකතුවෙලා ඉන්නේ. ඉතින් මේ චරිතය රංගනය පටන් අරන් මේ වෙද්දී නම් ටික කාලයක් වෙනවා. ඒ කාලය තුළ ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ඉතින් මේ රංගනය ඒ ලැබෙන ප්‍රතිචාර නිසාම ගොඩක් සාර්ථකයි කියලා මට හිතෙනවා. ඉතින් මාරම සතුටුයි.
මේ චරිත රංගනය කරගෙන යද්දි වැඩිපුරම අෂිකා නිරූපනය කළේ අහිංසක ගැමි චරිතනෙ. නමුත් මිනෝලි දැඩි චරිතයක්නෙ. ඉතින් පෙර කළ චරිත රංගනයන් එක්ක ප්රේක්ෂයො මේ චරිතය කොහොමද භාර ගත්තේ?
මම ඇත්තටම වෙනස් වෙනස් චරිත රංගනයන් කරලා තියෙනවා. නමුත් ප්‍රේක්ෂකයන් අතරට ගියේ ගැමි අහිංසක චරිත රංගනයන්. මම ජීවත් වෙන විදිය එක්කත් මට හරියන්නෙ. ඒ චරිත කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නෙත්. නමුත් මේ චරිත රංගනයේ මුලින්ම මට ප්‍රතිචාර දැක්වුවේ මිනෝලි වගේ චරිතයක් මට ගැළපෙන්නේ නැහැ කියලා. ඒත් ටිකින් ටික ඒ තත්ත්වය වෙනස් වෙලා. මේ වෙද්දී ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගෙන තියෙනවා. මේ චරිත රංගනය මුලින් මටත් නුහුරු ගතියක් තිබුණා. නමුත් දැන් මට හොඳින්ම හුරුවෙලා තියෙනවා මේ රංගනය.
රංගන ශිල්පිනියක් වුණාම ඕනෑම චරිත රංගනයක යෙදෙන්න හැකිවෙන්නත් ඕනැනෙ නේද?
ඔව්. අනිවාර්යෙන්ම. ලංකාවෙ සාමාන්‍යයෙන් රංගන ශිල්පීන් ඒ විදියට කොටුවීමක් සිදුවෙන අවස්ථාත් තියෙනවනෙ. නමුත් මට ඒ රාමුවෙන් මිදිලා විවිධාකාර චරිත රංගනයන් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ ගැන ඇත්තටම සතුටක් තියෙනවා.
මිනෝලි දැඩි චරිතයක් නිසා ඇයගේ සැමියාටත් සද්දයක් එහෙම දානවනෙ. එය තුළින් පුරුද්දට වගේ ගෙදර එහෙම සද්දෙ දාන්නෙ නැහැ නේද?
අනේ නැහැ. ගෙදර මම පොඩ්ඩක් හරි සද්දෙට කතා කළත් බබාලා කියනවා අම්මා මිනෝලි වෙන්න එපා කියලා. ඉතින් මේ චරිත රංගනය නිසා ගෙදර සද්දෙට කෑ ගහන්නවත් බැහැ බබාලට. මට හැමෝම විහිළු කරනවා.
ඒ කියන්නේ අෂිකාට ගෙදර හොඳ ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා ?
ඔව්. ඔව්. මගේ හොඳම ප්‍රේක්ෂකයා තමයි මගේ මහත්තයා. ඔහු රංගනය තුළ මගේ අඩුපාඩු හොඳ හැමදේම කියනවා. ඔහු සහ බබාලා අනිවාර්ය යෙන්ම මේ නිර්මානය බලනවා.
ගෙදර අයගෙන් ඒ විදියෙ ප්‍රතිචාරයක් තියෙනවා නම් ප්රේක්ෂකයන්ගෙන් කොහොම ප්‍රතිචාරයක් ඇද්ද?
ඒ ගැන නම් ඉතින් කියන්න හරිම සතුටුයි. ඉතා හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ තුළින් මම ජීවිතේ මාරම විදියට විඳිනවා. ඇත්තටම රංගන ශිල්පිනියක් වීම පිළිබඳ මට මාරම සතුටක් තමයි තියෙන්නේ.
මිනෝලි කියන්නේ තරුණ පුතෙක් ඉන්න අම්මා කෙනෙක්නෙ. ඉතින් අෂිකාගේ වයසත් එක්ක එවැනි තරුණයකුගේ මවක් වීම ප්‍රශ්නයක් වුණේ නැද්ද?
ඇත්තටම නැහැ. මේ චරිත රංගනය මම භාර ගත්තේ ඉතාම කැමැත්තෙන්. ඉතින් මේ චරිත රංගනයට ප්රවිශ්ට වෙද්දී මම හිතන්නෙ මගේ ගෙදර ගැන. මගේ පුතා තරුණ වයසට ගිහින් කියලා හිතා ගන්නවා. ඒ විදියට තමයි මම රංගනයෙ යෙදෙන්නෙ. ඇත්තටම මේ රංගනය තුළ මගේ පුතාට රඟපාන විදුරවි කුඹුකගේ ඒ චරිත රංගනය කර ගන්න මට ලොකු සහයක් වෙනවා. ඔහු මේ කාලය තුළ මට හමුවුනු රංගන ශිල්පීන් අතරේ ඉතා හොඳ චරිතයක්. ඇත්තටම ඔහුට මේ ක්ෂේත්රය තුළ ඉතා හොඳ අනාගතයක් තියෙනවා. ඒ ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා. ඉතින් මගේ ඒ අවුරුදු 50ක පමණ මවගේ චරිතය කර ගන්න ඒ ලැබෙන සහය විශිෂ්ටයි. ඒ වගේම හිත ළඟ හිනැහුණා නිර්මාණ කණ්ඩායමේ අධ්යක්ෂවරයාගේ සිට මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්න සියලුම රංගන ශිල්පීන් ඇතුළු මේ කණ්ඩායමේ හැමෝගෙන්ම ඉතා ඉහළ සහයෝගයක් ලැබෙන්නෙ. ඒක නිසා තමයි අපේ චරිත රංගනයන් පවා සාර්ථකව කරගෙන යන්න හැකිවෙලා තියෙන්නේ.
මීට අමතරව නියැළෙන නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?
ඒකාංගික ටෙලි නිර්මාණ කිහිපයක් කළා. ඒ වගේම මියුසික් වීඩියෝ කිහිපයකටත් සම්බන්ධ වුණා.
මීට වසර 10 පමණ පෙරදි මියුසික් වීඩියෝ නිරූපනය තුළින් ඔබ ඉතා ජනප්‍රිය චරිතයක් වුණා?
ඔව්. ඇත්තටම මට ලොකු ප්‍රතිචාරයක් තිබුණා ඒ කාල සීමාවේදී ඒවා වෙනුවෙන් එදා වගේම අදත් ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් කියන්න ඕන මම මේ මෑතක මියුසික් වීඩියෝවකට සම්බන්ධ වුණා උදිත් අබේරත්න අධ්‍යක්ෂණය කළ නිර්මාණයක්. ඒ තුළ මම අවුරුදු 20 වගේ ගැහැණු ළමයකුගෙ චරිතයක් තමයි නිරූපණය කළේ.
ඒ වගේම මෑතකදී එකතු වෙන්න ලැබුණ රංගන ශිල්පිනී ආශා එදිරිසිංහගෙ අලුත්ම ගීතයක් වන ‘ආදරය මගෙ වුණා’ නිර්මාණය වෙනුවෙන්. ඉතින් මේ ක්ෂේත්රය තුළ විවිධ විදියෙ මේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබීම ගැන සතුටුයි. මොකද විටෙක තරුණ වෙනවා, වැඩිහිටි වෙනවා ළමා වෙනවා. ඒ විදියට විවිධ පරාසයන්වලට අපිව ගෙනියනවා. රංගනය තුළින් අපි ඒවා හදවතින්ම විඳිනවා. ඒක ලොකු වාසනාවක් විදියට මම දකින්නෙ.
දැන් වැඩි ඉඩකඩ ලබාදීලා තියෙන්නේ රංගනයට ද?
ඔව්. පසුගිය කාලේ මම බබාලා නිසා කලාවෙන් ඈත්වෙලා හිටියා. 2022 වසර තුළ තමයි නැවතත් ක්ෂේත්රයට සම්බන්ධ වුණේ. ඒ බබාලා දැන් ලොකු නිසා. එයාලගේ අධ්‍යාපනය පැත්තට පසුගිය කාල වකවානුවල දැඩි බරක් දුන්නා. දැන් ලොකු බබාලා දෙන්නම ශිෂ්‍යත්වය සමත් වුණා. අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියෙන්ම ඉන්නවා. ඒ වගේම පුංචි බබාත් දක්ෂයි.
ඉතින් එයාගේ අධ්‍යාපනය වෙනුවෙන් මමත් හම්බ කරන්න ඕන ඉදිරිය ගැන හිතලා. මොකද දැන් රටේ තත්ත්වයත් එක්ක බබාලා තුන් දෙනෙක් පෝෂණය කරනවා කියන්නෙ සුළු පටු දෙයක් නෙමෙයි. ඒ නිසා මුදල් ලැබෙන්නත් ඕනැනෙ. ඉතින් මම කලාවයි පෞද්ගලික ජීවිතේයි සමබරව කරගෙන යනවා.
ධනු විජේරත්න