මගේ සැමියා තමයි මාව රූපලාවණ්‍ය ශිල්පිනියක් කලේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෙටි කාලයක් ඇතුළත රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නට සමත් වූ තරුණ රූපලාවණ්‍ය ශිල්පිනියක් අපිට මුණ ගැසුණා. ඇය නමින් ධනංජි ගුණවර්ධනය. කෙටි කාලයක් තුළදී රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ ඉහළටම පැමිණි ඇය මේ වනවිට කදානේ, පේරලන්ද පාරේ "සැලෝන් එන්ජල්ස්" නමින් තමන්ගේම රූපලාවණ්‍යගාරයක්ද පවත්වා ගෙන යමින් සිටියි.  
"රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙන හීනේ මට තිබුණේ අද ඊයේක නෙමෙයි. මට පොඩි කාලේ ඉඳලා. පාසල් යන දවස්වල මම ලස්සනට අන්දලා ඉන්න මනාලියන් දිහා ආසාවෙන් බලාගෙන හිටියා. ඒ අය කොච්චර ලස්සනද. මමත් හිතුවා කවදාහරි කෙනෙක්ව ඒ විදිහට ලස්සනට හැඩකරනවා කියලා.

ඉස්සර රූපවාහිනියේ ගිය විවාහ මංගල වැඩසටහන් එහෙම මම අත්හරින්නේ නැතුව බලනවා. මොකද, ඒවායේ පෙන්වනවා ලස්සනට අන්දලා හැඩකරපු මනාලියන්ව. ඒවා බලලා මම තනියම මාව හැඩ කර ගන්නවා ඉස්සර.  මගේ පවුලේ කවුරුත් රූපලාවණ්‍ය පැත්තට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. මම විවාහ වුණ දවස්වල තමයි පළමු වතාවට රූපලාවණ්‍ය ගාරයක ගිහින් අත්දැකීමක් පවා මම ලබා ගත්තේ.  

විවාහයත් එක්ක දරුවෝ ලැබිලා මගේ පුද්ගලික ජීවිතේ කාර්යබහුල වෙන කොට මම කරපු රැකියාවෙන් ඉවත් වුණා. ඊට පස්සේ මම ගොඩක් වෙලාවට මගේ පවුලේ අයගේ රාජකාරි එක්ක තමයි ගත කළේ. ඔහොම ඉන්න කොට මම මගේ සැමියාට යෝජනා කලා රූපලාවණ්‍ය පැත්තට යොමු වෙන්න මගේ අදහසක් තියෙනවා කියලා. පොඩි කාලේ ඉඳලා මම රූපලාවණ්‍ය පැත්තට කැමැත්තක් තිබුණ කෙනෙක් කියලා එයාත් දැනගෙන හිටියා. ඊට පස්සේ මගේ සැමියාම මැදිහත් වෙලා මාව රූපලාවණ්‍ය සම්බන්ධව ඉගෙන ගන්න යොමු කළා. මගේ සැමියා මා වෙනුවෙන් ගොඩක් කැපවීම් කළා. ඇත්තටම, ඔහු වගේ කෙනෙක් ලබන්න තරම් මම ගොඩක් වාසනාවන්තයි. මේ මොහොතේදී ඔහුව ඉතා ආදරයෙන් මතක් කරනවා මම.

රූපලාවණ්‍ය සම්බන්ධ ඉගෙනිම් අවසන් කලාට පස්සේ මම කදානේ, පේරලන්ද පාරේ මගේම කියලා රූපලාවණ්‍ය ගාරයක් ආරම්භ කළා "සැලෝන් එන්ජල්ස්" නමින්. දැන් මේක පටන් අරගෙන ටික කාලයක් වෙනවා. හැඩ ගැන්වීමේ ඉඳලා රූපලාවණ්‍යගාරයකින් සිදු වෙන හැම කටයත්තක්ම මෙහි සිදු ළානවා. ඒ වගේම සතියේ හැම දවසකම මේක පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා කියලත් කියන්න ඕනා.

මේ ආපු ගමන ගැන අද මට තියෙන්නේ  සතුටක්. මොකද, කෙටි කාලයක් තුළදි රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට අද මම යම් සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙන නිසා. ඒ වගේම මට මේ ක්ෂේත්‍රය තුළ ලොකු ගමනක් යන්න තියෙනවා. ඊට අමතරව මේ ක්ෂේත්‍රය තුළ මට නමක් හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ මොහොතේදී මගේ හොඳම මිතුරිය අංජලී නංගි, රූපලාවණ්‍ය පිළිබඳ මට ගොඩක් ගුරුහරුකම් ලබා දුන්න ඉරේෂා මල්ලවරාච්චි ගුරුතුමියව විශේෂයෙන්ම මතක් කර සිටිනවා. මොකද, ඔවුන් මට මේ ගම එන්න විශාල අත්වැලක් සැපයුවා."

බුද්ධික සේනාධිර
ජායාරූප  - දුලීත ශ්‍රීනාත්