මගේ පළමු සිනමා අත්දැකීම විද්‍යා ප්‍රබන්ධයක් වීම ගැන ගොඩක් සතුටුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වේදිකාව සහ පුංචි තිරය තුළ සිය රංගන හැකියාවන් දක්වමින් ඉතා නුදුරේම සිනමාවටත් එක්වීමට නියමිතව සිටින කලා තරුවක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කර ගන්න හිතුවා. සඳැල්ල කවරයද හැඩ කරමින් තිරගත වීමට නියමිත ‘සූරයා වීරයා’ නිර්මාණය හරහා ඔබ හමුවට එන ඔහු උදාර රාජපක්ෂ.

සූරයා වීරයා රිදී තිරයට එන්න සියලු කටයුතු සූදානම් ද? 

ඔව්. ඉතා නුදුරේම එය තිරගතවීමට නියමිතයි. 

ඉතින් මොකක්ද මේ ‘සූරයා වීරයා’ කියන්නේ. 

මේ විද්‍යා ප්‍රබන්ධමය චිත්‍රපටයක්. මේ තුළින් කතා කරන්නෙ අනාගතයේ කාන්තාවන්ට මුහුණපාන්න වෙන ගැටලුවක් ගැන. ඒ නළ දරු උපත් සම්බන්ධයෙන්. ඒ පිළිබඳව ජාතික මට්ටමින් සාකච්ඡාවට ලක්කර කාන්තාවට අවශ්‍ය රැකවරණය මෙන්ම ආර්ථික ශක්තිමත්භාවය ඇති කළ යුතුයි කියන පණිවිඩයත් මේ තුළින් ලබා දෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ලුවී වැන්ඩස්ට්‍රාටන්. නිෂ්පාදනය කළේ SRI L.A. චිත්‍රපට  නිෂ්පාදන ආයතනය. ඉතින්  මාව මේ වෙනුවෙන් සම්බන්ධ කර ගත්තට ඔවුන්ට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. 

මේ උදාරගේ පළමු සිනමා නිර්මාණ දායකත්වය ද? 

ඔව්. මේ තුළ මම ප්‍රධාන චරිතය තුළින් තමයි සම්බන්ධ වෙන්නෙ. මගේ චරිතය ‘රවී’. ඇත්තටම මගේ පළමු සිනමා අත්දැකීම විද්‍යා ප්‍රබන්ධයක් වීම මට ගොඩක් සතුටුයි. මේ නිර්මාණයට මට ආරාධනා ලැබුණම හරිම කැමැත්තෙන් තමයි මම භාර ගත්තෙත්. 
කොහොමත් මම ජීව විද්‍යාව හදාරපු කෙනෙක් නිසා මේ සංකල්පය ගැන මුලින්ම කතා කරද්දිම මට තේරුම් ගන්න හැකි වුණා. මම හිතනවා මේ නිර්මාණය ප්‍රේක්ෂකයොත් ඉතා හොඳින් වැලඳගනියි කියලා. 

කොහොම ද ඉතින්  මේ අත්දැකීම? 

මම මේ ක්ෂේත්‍රයට මුලින්ම එන්නෙ රූපවාහිනී වෙ​ෙළඳ දැන්වීම් හරහානෙ. ඒ මගේ ආරම්භය වුණත් මගේ පුංචි හීනයක් තිබුණා යම් දිනෙක රිදී තිරයට සම්බන්ධ වෙන්න. ඒත් ඊට පෙර මට අවස්ථාව ලැබුණා වේදිකාවට සහ පුංචි තිරයට සම්බන්ධ වෙන්න. නමුත් ඒ අංශයන්ටත් බොහොම  අඩුවෙන් තමයි සම්බන්ධ වුණේ. ඒත් මම සම්බන්ධ  වුණු නිර්මාණ හරහා ප්‍රේක්ෂකයො යම් තරමකට හඳුනා ගැනීමක් තිබුණා කියන්න පුළුවන්. 

පසුගිය කාලෙ ඔබ කළ වෛද්‍යවරයකුගේ චරිත රංගනය වැඩි කතාබහට ලක්වුණා නේද? 

ඔව්. අනිවාර් යයෙන් ඒ ගැන කතා කරන්නම ඕනෑ. ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලි නිර්මාණය නිසා තමයි ඒ කතාබහ  සිදුවුණේ. ඔහු වෛද්‍ය සජිත. ඒ චරිතයට ඇත්තටම බැනුම් අහන්නත් සිදුවුණා. 

ඒ නිර්මාණය විකාශය සිදුවෙලා මේ වෙද්දි වසර 2ක් පමණ  වෙනවා මම හිතන විදියට. නමුත් අද වනතුරුත් එදා තිබුණු ප්‍රතිචාරවල අඩුවක් නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි මම මීට සති දෙකකට වගේ ඉහතදී ගාලු ප්‍රදේශයේ රූගත කිරීමකට සම්බන්ධ වුණා. එහිදී මාව හඳුනාගෙන  ළඟට  ඇවිල්ලා කතා කළා ඒ නිර්මාණය නරඹපු කිහිප දෙනෙක්ම. වෛද්‍ය සජිතගෙ චරිතයට ඇත්තටම හොඳම ප්‍රතිචාර තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා මම ඒ චරිතයට සාධාරණයක් කරන්න ඇති කියලා එවැනි ප්‍රතිචාර ලබන්නට. 

ඒ වෛද්‍යවරයාට බැනපු අයත් හිටියා කිව්වා නේද? 

ඔව්. ඇත්තටම ඒ සම්බන්ධයෙන් කෙටියෙන් සඳහන් කළොත් ඒ වෛද්‍යවරයා විවාහ වෙන්නට සූදානම් වන පෙම්වතියගෙන් ඇයගෙ දැවෑද්ද ගැන කතා කරනවානෙ. ඇයත් වෛද්‍යවරියක්. ඉතින් මේ වෛද්‍යවරයාගේ හැසිරීම ඇයට පිළිකුල් සහගතයි. ඒ නිසා ඒ ආදරය ඇය විසින් නවතා දමනවා. ඇත්තටම ඔහුට දෑවැද්දක් එහෙම ලබාගන්න තන්හාවක් නැහැ. නමුත් තම මවගේ කීමට තමයි ඔහු වැඩ කරන්නේ. ඒ නිසා තමයි ඒ ආදරය අහිමි වෙන්නෙ. මම හිතන්නෙ වර්තමානයට හොඳ ආදර්ශයක් දුන්නු කතාවක් ඒ. 

ඉහතින් සඳහන් කළ ටෙලි නිර්මාණයේ වගේම අම්මා - පුතා බැඳීම වර්තමානයේත් සමහර පවුල් අවුල් වෙන්නත් හේතුවක් වෙලා නේද? 

ඔව්. එහෙම දේවල් අහන්න දකින්න ලැබෙනවා. අද සමාජයේ ගොඩක්ම. මම නම් කියන්නෙ දෙමව්පියන්ගෙන් නොදැනුවත්කමින් හෝ එවැනි පීඩනයක් ඒ දරුවන්ට එල්ල වෙනවනම් ඒ හැමදේම දිහා තමන් අවබෝධයෙන් බලන්න ඕනෑ. තම මව සහ බිරිඳ සමබර කරගෙන ඒ පාලනය ගෙනියන්න පිරිමි පාර්ශ්වයට හැකියාව තියෙන්න ඕනෑ. දෙමව්පියොත් දැන ගන්න ඕනෑ දරුවන්ගෙ විවාහයෙන් පසුව ඒ අයට ඒ නිදහස ලබාදෙන්න. සමහර දෙමව්පියො ඇත්තටම දරුවන්ට පීඩාවක් වෙන අවස්ථාවන් අපි මේ සමාජය තුළ දැකලා තියෙනවනෙ. ඇත්තටම මම මේ කතා කළේ සමාජීය ඇත්දැකීම්වලින්. මොකද මම තවම විවාහ වෙලා නැති නිසා ගැඹුරින් මේ දේවල් ගැන කතා කරන්න බැහැ. 

උදාර දෑවැදි එහෙම බලාපොරොත්තු වෙන කෙනෙක් ද? 

අපෝ නැහැ. මට නිදහස් මනසින් ජීවත්වෙන්න වටපිටාවක් තිබුණොත් ඒක තමයි වැදගත්ම දේ වෙන්නෙ. 

පුංචි තිරයෙ රංගනයන් ගැන එ් විදියට කතා කරද්දි වේදිකාව තුළත් උදාරට විශේෂ රංගන අවස්ථා ලැබුණා නේද? 

විශේෂම රංගන අවස්ථා කියන්නෙ මට සුනිල් සාන්ත චරිතයට පණපොවන්න අවස්ථාව ලැබුණා වේදිකාවේදී. 
ශ්‍රී ලාංකීය සංගීතයේ මහා විප්ලවයක් කරපු එවැනි චරිතයකට පණ පොවන්න අවස්ථාව ලැබීමම රංගන ශිල්පියෙක් විදියට ලැබුණු හොඳ අවස්ථාවක් වගේම එය මට ලොකු භාග්‍යයක්. සුනිල් සාන්ත පදනම විසින් තමයි මේ වේදිකා නාට්‍යය ප්‍රසංගය කළේ. ඒ වෙනුවෙන් මට අවස්ථාව ලැබුණෙ සුනිල් සාන්තයන්ගේ පුතා ලංකා සාන්ත මහතාගෙන්. 

ඉදිරියේදී සුනිල් සාන්තයන්ගෙ චිත්‍රපටයක් නිෂ්පාදනය වෙන්නත් නියමිතව තියෙනවා. ඒ වෙනුවෙන් පෙරහුරුවක් කරන ගමන් තමයි මේ කණ්ඩායම ඉන්නෙ. ඉදිරියේදී ඒ නිර්මාණයත් දැක ගන්නට හැකිවෙයි. 

එතකොට නිරූපණය පැත්තෙන් වැඩකටයුතු මොනව ද? 

රෑම්ප් මොඩ්ලින් නම් ගොඩක් කාලෙකින් කළේ නැහැ. නමුත් මනාලයා ලෙස හැඩවීමේ විලාසිතා නම් ගොඩක් කෙරෙනවා. ඒවට තමයි වැඩි ඉල්ලුමක් තියෙන්නෙ. 

එතකොට සැබෑ ජීවිතේ මනාලයට අඳින්නෙ? 

ඒකට තව අවුරුදු 5ක් වගේ ගතවෙයි. තවම ඒ ගැන බලාපොරොත්තුවක් නැහැ. 

කලාව කියන්නෙ උදාරගේ වෘත්තියද? 

කලාව එක්කම ව්‍යාපාර ක්ෂේත්‍රයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. පවුලේ  ව්‍යාපාරයකුත් තියෙනවා. ඒ සියල්ලම කළමනාකරණය කරගෙන යන්න තමයි බලාපොරොත්තුව. 

ධනු විජේරත්න

රුෂිරු කොළඹතන්ත්‍රිගේ

Costume - Ranjith 
Costum Tailors Malabe