මගේ ප්‍රථම ප්‍රේමය මට අහිමි වෙද්දී ’’පෙරවදනක් වී මගේ කතාවට’’ ගීතය ලියැවුණා
Q සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරන "ලලයි ලිලයි ලයි" මේ දවස්වල හරි ජනප්‍රියයි. උමාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මේ දවස්වල මාව හඳුනාගෙන "උමා" කියනවට වඩා බොහෝ දෙනා තනුෂ්කා කියලයි කතා කරන්නේ. ඒක මට වෙනමම අත්දැකීමක්. "මාණික්කාවත" ටෙලිනාට්‍යයේ "පිච්චි" වුණාට එයාව හඳුනාගෙන කතා කරපු පිරිස ටිකක් අඩුයි. මාව හඳුනා ගත්තත් ඒක සියවස් කිහිපයකට උඩදී තිබුණු චරිතයක් නිසා "ඔයා පිච්චිද?" කියලා අහනවාට වඩා මේ ටෙලිනාට්‍යයේ දී "මටත් ඉන්නේ ඔයා වගේ අක්කා කෙනෙක්... මටත් ඉන්නේ ඔයාට වගේ මල්ලි කෙනෙක්.." කියලා මට කියන පිරිස වැඩියි. ඒ නිසා තනුෂ්කාට වෙනස්ම ප්‍රතිචාර ලැබෙනවා.
Q උමා පුංචි කාලේ සංගීතයට වැඩි නැඹුරුවක් කැමැත්තක් තිබුණු කෙනෙක් නේද?
ඔව්... මගේ පවුල කලා පසුබිමක් තිබුණු පවුලක්. මගේ තාත්තා චිත්‍ර ඇන්දා. අම්මා නැටුම් විෂය කළා. සීයා කවි ලිව්වා. ඔහු ගුවන්විදුලියේ වාද්‍ය ශිල්පියෙක්. සීයා වගේම මගේ තාත්තටත් හොඳට සින්දු කියන්න පුළුවන්. තාත්තාට සහ සීයාට සින්දු කීමේ හැකියාවත් එක්ක අපේ ගෙදර නිතරම සින්දු ඇහුණා. මට සින්දු කියන්න පුළුවන් කියන දේ මම දැනගත්තේ කොහෙන්ද කියලා මම දන්නේ නැහැ. මම ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් විදුහලෙයි. මගේ පළමු සංගීත ගුරුවරිය වුණේ අනුරාධා නන්දසිරි මහත්මියයි. අනුරාධා මිස් තමයි මට සින්දු කියන්න පුළුවන් කියලා මුලින්ම දැනගෙන මාව ඒ පැත්තට යොමු කළේ. එතැන් සිට මම ගුරුවරුන් කිහිප දෙනෙක් යටතේම සංගීතය හැදෑරුවා.
Q සංගීතය ජීවිතයම කරගත්ත ඔයා, උසස් පෙළට සංගීතය විෂයක් ලෙස කළේ නැත්තේ ඇයි?
ඒ වෙද්දී මගේ තාත්තා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදියට වැඩ කළා. තාත්තා කවදාවත් තාත්තාගේ හෝ අම්මාගේ නම පාවිච්චි කරලා අපිව කිසිම දේකට ඉස්සරහට දාලා නැහැ. මමත් පෞද්ගලිකව ඒකට අකමැතියි. ඒ නිසා ජීවිතයේ එක තැනකදී "ඔයාට උසස් පෙළට සංගීතය කරන්න බැහැ" කියලා තාත්තා දැඩිව කිව්වා. ඒ වෙද්දි මම සෞන්දර්යය විශ්වවිද්‍යාලයට යන්න ආසාවෙන් හිටියේ. නමුත් "ඔයා සංගීතය බාහිරව කරන්න. හැබැයි ඔයා උපාධියට සංගීතය කරන්න බැහැ" කියලා තාත්තා දැඩිව කිව්වා. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලට එනවා නම් තාත්තා විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙන්න පවා තීරණය කරලා තිබුණා. ඒ නිසාම මම සංගීතය අතහැරලා ඉංග්‍රීසි සාහිත්‍ය තෝරා ගත්තා.
Q පුංචි කාලේ විලියම් ශේක්ස්පියර්ගේ පොත් ආසාවෙන් කියෙව්වා නේද?
නැහැ.. ශේක්ස්පියර් තරම් එපාවුණු ලේඛකයෙක් ඒ කාලේ මට හිටියේ නැහැ. සීයා තමයි මට ඉස්සර කතා කියලා දුන්නේ. ඒ නිසාම මම ඉංග්‍රීසි සාහිත්‍ය ලේඛකයන්ගේ පොත්වලට හුරු වුණා. ඒකත් එක්ක මට ඉංග්‍රීසිවලට නැඹුරුවක් තිබුණා. ඒ නිසා තාත්තා මාව ඉංග්‍රීසි සාහිත්‍ය විෂයක් විදිහට ඉගෙන ගන්න යොමු කළා. ඒ කාලේ අකමැත්තෙන් ඒ විෂය තෝරාගත්තට මාව ඒ විෂයට යොමු කළාට අද මම තාත්තාට අනේක වාරයක් ස්තූති කරනවා. අද මම ශේක්ස්පියර්ගේ හැම පොතක්ම කියවලා තියෙනවා.
Q මේ වෙද්දි පොත් කියවන්න වෙලාවක් තියෙනවද?
ඔව්... මම අදටත් පොත් කියවනවා. මට පිටපත් ලැබුණට පස්සේ පිටපත කියවන්න යම් වැඩි කාලයක් යොදවනවා. මම පිටපතක් ලැබුණට පස්සේ ඒ ගැන ගොඩක් හදාරනවා. ඒ වගේ වෙලාවකදී පොත් කියවන්න යන කාලය ටිකක් මඟහැරුණත් අදටත් මම දුරක රූගත කිරීමකට යද්දී අනිවාර්යෙන්ම පොතක් අරගෙන යනවා.
Q ඉංග්‍රීසි සාහිත්‍ය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ උමා කලාවට එකතු වුණේ කොහොමද?
මම පාසල් වේදිකාවේ රඟපෑවා. මමම නාට්‍ය පිටපත් ලියලා කට්ටිය එකතු කරගෙන මමම අධ්‍යක්ෂණය කරපු නාට්‍ය තිබුණා. පාසලේදී නලින්ද ප්‍රේමරත්න අයියා අපිට නාට්‍ය වැඩමුළුවක් කළා. එතැනදි මගේ ළඟ තිබුණු මොකක්ද හැකියාවක් නලින්ද අයියා හඳුනාගෙන තිබුණා. ඒ වගේම මටම මාව තේරුණා. නමුත් ඒ හැකියාව ඉංග්‍රීසි සාහිත්‍යයත් එක්ක යට ගියා. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ගෙදරට හොරෙන් මම කාලසටහනක් හදාගත්තා. මට දේශන උදේ 8 ඉඳන් 12 වෙනකම් තිබුණත් මම ගෙදරට පෙන්නපු කාලසටහනේ උදේ අටේ ඉඳන් හවස හය වෙනකම් දේශන තිබුණා. ඒ නිසා මම දේශන නැති වෙලාවල්වල සංස්කෘතික මධ්‍යස්ථානයට ගියා. ඔය අතරෙදි මට 2013 අවුරුද්දේ සම්පත් ශ්‍රී ජයසිංහ අයියාව එක්තරා තැනකදී මුණගැහුණා. ඔහු හරහා මට සිරස ටීවී නාලිකාවේ නිවේදිකාවක් වෙන්න අවස්ථාව ලැබුණා.
Q ටිකෙන් ටික නිවේදනය කරමින්, රඟපාමින් කලාවට සම්බන්ධ වෙද්දි ගෙදරින් අකමැත්තක් තිබුණේ නැද්ද?
නැහැ. තාත්තයි අම්මයි හැමවෙලේම මට මගේ පාර හොයාගන්න ඉඩ දුන්නා. හැබැයි ඉගෙනීම කඩාකප්පල් වෙයිද කියන ප්‍රශ්නය එයාලටත් තිබුණා. නමුත් මම ඒ වැඩ නිසි විදියට කර ගනීවි කියන විශ්වාසය ඒ දෙන්නා තුළම ඇතිවුණාට පස්සේ තාත්තයි අම්මයි මට කිසිම බලපෑමක් කළේ නැහැ. මම පවුලේ වැඩිමලා. අද මට යම් හොඳ අඩිතාලමක් එක්ක වැඩ කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මගේ අම්මයි තාත්තයි නිසයි.
Q ඔබ ගීත රචිකාවියක්. ඒ ගැනත් අපි කතා කරමු?
ඔව්... චූටි කාලේ ඉඳන්ම මම කවි ලිව්වා. ඒ නිසා කවි පොතක් කරන ආසාවක් මගේ හිතේ පොඩි කාලේ තිබුණා. අදටත් මම ආසාවෙන්ම කියවන කවි පොත තමයි මගේ සීයාගේ "පෑල දොරෙන්" කියන කවි පොත. මට අවුරුදු තුනේදී රත්නපුරේ ඉඳන් මාව අම්මයි තාත්තයි කොළඹට අරන් ආවට පස්සේ "පුංචි දූ ගිහින්" කියලා සඳැස් කවි අටක් සීයා ලියලා තිබුණා. ඒ තමයි සීයා අවසානයට ලියපු සඳැස් කවි අට. මම කොළඹ ආව නිසාම ඒ ඇතිවුණු කම්පනයත් එක්ක සීයාට ඊටපස්සේ සඳැස් කවි ලියැවිලා නැහැ. ඒකම තමයි මාව කවි ලියන්න හුරු කරපු තැන වුණේ. මගේ පළමු ප්‍රේමය අවසන් වුණු වෙලාවේ "පෙරවදනක්" කියන වචන ටික ලියැවුණා. පහු කාලයේදී තමයි සනුකගේ ඉල්ලීමට මම ඒ පද ටික එයාට යැව්වෙ. ඊට මාස කිහිපයකට පස්සේ සනුක ඒක ගීතයක් බවට පත් කරලා තිබුණා. සනුක ඒ ගීතය නිකුත් කරනවාත් එක්කම නදීමාල් මට තනුවක් එව්වා. ඒ අනුව තමයි ''නුරා වසන්තේ'' ගීතය නිර්මාණය වුණේ.
Q අමන්ද්‍යා උත්පලී ගායනා කරන "තාත්තා" ගීතය ලියැවෙන්නත් උමාට විශේෂ හේතුවක් තිබුණා නේද?
ඔව්... ඒක මගේ තාත්තාගේ උපන්දිනයට මම දුන්න තෑග්ගක්. ඒ ගීතය පුරාම මටයි නංගිටයි මල්ලිටයි දුන්න නිදහස ගැන ලියැවිලා තියෙනවා. තාත්තා අමන්ද්‍යාගේ හඬට හරි ආසයි. ඒ වගේම මායි තාත්තායි අතර තියෙන දැඩි බැඳීම වගේ බැඳීමක් ගිරා අංකල්ටයි අමන්ද්‍යාටයි තියෙනවා. ඒ නිසා අමන්ද්‍යාව ඒ ගීතය ගායනා කරන්නට තෝරා ගත්තා. එදා මම අපේ මාමලා නැන්දලා කට්ටියටම තාත්තාට හොරෙන් එන්න කිව්වා. එදා එතැන හිටපු සියලු දෙනාම ඇඬුවා. තාත්තා ඇඬුවේ නැහැ. හැබැයි තාත්තා මාව බදාගෙන හිටපු වෙලාවත් එක්ක තාත්තගේ ඒ හැඟීම මම තේරුම් ගත්තා.
Q උමාට සත්තු එක්ක තියෙන බැඳීම කොහොමද?
අපේ ගෙදර බව්වන් හතක් ඉන්නවා. ඒ හතම පාරේ හිටපු අයයි. "මාණික්කාවත" කල්තොට රූගත කරන කාලයේදී එහේ හොරි හැදිලා අසරණ වුණු බලු පැටියෙක් හිටියා. ඉතින් මම ඒ සතාට රූගත කිරීම් කරන අතරතුරේ බෙහෙත් කළා. නෑව්වා. බලා ගත්තා. අපි එකදිගට මාස හයක් එහේ රූගත කිරීම් කළා. සති තුනක් විතර යද්දි ඒ බව්වාට හොඳ වුණා. ඒ වගේ මාත් එක්ක යාළුවුණු බව්වන් අටක් කල්තොට ඉන්නවා. අදටත් මම මාසෙකට සැරයක් ඒ අටදෙනාව බලන්න කෑම යෝගට් අරගෙන කල්තොට යනවා. ඒ වගේ රූගත කිරීම් කරද්දි තමයි මෑත දවසක මම සඳලිවත් අරගෙන ආවේ. එයත් දැන් මාත් එක්ක අපේ ගෙදර ඉන්නවා.
I දිශානි ජයමාලි