මගේ පණ වගේ තමයි කොණ්ඩෙට මම සලකන්නේ. මගේ කොණ්ඩේ ලොකුම අයිතිකාරයා මගේ තාත්තා
වර්තමාන රංගන ක්ෂේත්රයේ රංගන ශිල්පිනියන් අතර කෙටි කලකින් ප්‍රේක්ෂක ජනප්‍රියත්වයක් දිනාගත් නෙත්මි රොෂෙල් කියන්නේ ප්‍රේක්ෂක ඇස් වශී කරගත් සුන්දර වගේම අහිංසක රුවැත්තියකි. ජාතික රූපවාහිනියේ 2019 වසරේ අවුරුදු කුමරිය ලෙස කිරුළ දරමින් රංගනයට පිවිසුණ නෙත්මි, ‘සංකාරං’, ‘දෙවෙනි ඉනිම’, ‘රාවණ’ ඇය පුංචි තිරයට සමීප වූ ටෙලි නිර්මාණයන්ය.
දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ‘ආක්ෂා’ගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ ඇය, මේ දිනවල සිනමා තිරයෙනුත් දැකගන්නට ලැබෙනවා.
ඇයගේ ප්‍රථම සිනමා අත්දැකීම වන “ආදරණීය ප්‍රාර්ථනා” චිත්‍රපටයේ ‘පාරමී’ ලෙසින් හමුවන ඇය සමග කළ සොඳුරු කතාබහකි මේ.
‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටයෙන්ම කතාබහ ආරම්භ කරමු?
“ ‘ආදරණීය ප්‍රාර්ථනා’ මගේ ප්‍රථම සිනමා අත්දැකීම. පසුගිය නොවැම්බර් 4 වැනිදා ඉඳලා සියලුම MPL මණ්ඩල ඇතුළු දිවයින පුරා සිනමාහල්වල තිරගත වෙනවා. මේ දවස්වල වැඩි කාලයක් ගත වෙන්නේ එහි ප්‍රචාරණ කටයුතු එක්ක තමයි. මේ චිත්‍රපටය තිරගත වෙනකම් ලොකු ආසාවකින් බලාගෙන හිටියා.
චිත්‍රපටය තිරගත වූ දා ඉඳලා හිතා ගන්න බැරි තරමට ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර, ප්‍රේක්ෂක ආදරයට ගොඩක් ආදරෙයි. කියන්න බැරි තරම් සතුටක් තමයි දැනෙන්නේ.”
ඔබේ ප්‍රථම චිත්‍රපටයේ අත්දැකීම කොහොම ද දැනුණේ?
“පිටපත ලැබුණ දවසේ ඉඳලා පාරමී කියන චරිතය කරන්න මම ආසාවෙන් බලාගෙන හිටියේ. ආදරණීය ප්‍රාර්ථනා කණ්ඩායම මේ වෙලාවේ ආදරෙයන් මතක් කරනවා. ලොකු සහයෝගයක් එකමුතුවක් මම ඒ කණ්ඩායම තුළ දැක්කා. මේ නිර්මාණය සාර්ථක වෙන්න ඒ එකමුතුකම ප්‍රබල විදිහට බලපෑවා. චිත්‍රපටයේ අධ්යක්ෂ වාසව බදුගේ මහත්මයා මට පිටපත අතට දුන්නාම සිය වතාවක් විතර මම කතාව කියෙව්වා. මම ගොඩාක් පාරමීට ආදරේ කළා. මට පාරමී වෙන්න පුළුවන් වේවි ද කියලා මම දහ වතාවක් විතර හිතුවා. මම පාරමී වෙන්න ගත්ත උත්සාහය සාර්ථකයි කියලා හිතනවා. ප්‍රථම සිනමා අත්දැකීම නිසා පොඩි චකිතයක් තිබුණා, නැතුවාම නොවෙයි. කොහොම වුණත් සිනමාව ඇතුළේ පාරමී කියන චරිතය මට අලුත් ආරම්භයක් ලබා දුන්නා කියලා හිතනවා.”
නෙත්මිට මේ සමාජයේ පාරමීලා මුණගැහිලා තියෙනවා ද?
“ආදරණීය ප්‍රාර්ථනා ඇතුළේ කතා කරන්නේ තුන් කොන් ආදරයක් ගැන. අපි හීනෙන්වත් හිතන්නේ නැති අවසානයක් තමයි මේ කතාවේ තියෙන්නේ. එක තැනකදී මට හිතුණ දෙයක් තමයි පාරමී වගේ ගෑනු ළමයි මේ සමාජයේ ඉන්නවා ද කියන එක. පාරමීව දැක්කට මේ තරම් දරාගන්න පුළුවන්, වෙන කෙනකුගේ සතුට වෙනුවෙන් දේවල් අතහරින්න පුළුවන් ගෑනු ළමයි ඉන්න පුළුවන් ද කියලා මට හිතුණා. මට ජීවිතේ කවදා හරි පාරමී වගේ වෙන්න පුළුවන් ද කියලා මම තාම හිතනවා. සදහටම ඒ ආදර කතා හදවතේම තියාගෙන ලෝකෙටම පේන්න හිනා වෙන ඇත්තම පාරමීලා මේ සමාජයේ ඉන්නවා. පාරමී කියන්නේ මට ඒ රංගන ජීවිතේ ලැබුණු වෙනස්ම අත්දැකීමක්.”
ඉතින් මොනවා ද මේ දවස්වල අලුත්ම වැඩ?
“තව චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. එක චිත්‍රපටයක් ජනවාරියේ රූපගත කිරීම් ආරම්භ වෙනවා. ඊට අමතරව අලුත් ටෙලිනාට්යකයටත් සූදානම් වෙනවා.”
කොහොම ද දෙවෙනි ඉනිමේ ආක්ෂාට ලැබෙන ප්‍රතිචාර?
“මගේ ජීවිතේ හැරැවුම් ලක්ෂ්‍යය වෙන්නේ ආක්ෂාගේ චරිතය. මාව ප්‍රේක්ෂකයෝ අඳුර ගත්තේ, මට ආදරය කළේ ආක්ෂාගේ චරිතය එක්ක. ආක්ෂා කලින් ටිකක් නපුරු වුණාට දැන් ඉන්න ආක්ෂා හරිම ආදරණීය චරිතයක්.
අදටත් මට නෙත්මි කියනවාට වැඩිය ආක්ෂා කියලා තමයි ගොඩක් දෙනා කතා කරන්නේ.
හැබැයි ඒ කලින් ඉඳපු නපුරු ආක්ෂාට ආදරේ කරපු පිරිසකුත් හිටියා. ආක්ෂාගේ නපුරුකමට මුල් කාලේ මගේ ළඟට ඇවිල්ලා මූණට බැනලා ගිය සිද්ධීන් තියෙනවා. මම කතාවට ආපු මුල් කාලේ සමහර රසිකයෝ ගෙදරට කතා කරලත් අහලා තියෙනවා දූ ඇත්තටම නපුරු කෙනෙක් ද කියලා. දැන් නම් ඒ නපුරු ආක්ෂා වෙනස් වෙලා. දැන් ආක්ෂා හොඳ පෙම්වතියක්. ඒක මට අලුත් අත්දැකීමක්.”
දෙවෙනි ඉනිමට සීමා වෙලා හිටපු නෙත්මිව අපිට ඉදිරියේදී වෙනස් නිර්මාණවලින් දකින්න ලැබේවි ද?
“ඇත්තටම ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරිය වුණාට පස්සේ ප්‍රේක්ෂකයන් අතරට මම එන්නේ දෙවෙනි ඉනිම හරහා. ඒකත් එක්ක මම දෙරණ සමග ගිවිසුම්ගත වෙලා හිටපු නිසා හොඳ නිර්මාණ ගොඩක් මඟ ඇරුණා. ලබන වසරේ වෙනත් නාලිකා අධ්යක්ෂවරු සමග වැඩ කරන්න වගේම වෙනස් චරිතවලින් මාව දකින්න ලැබේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.”
දෙවෙනි ඉනිමට තාම පෙනෙන තෙක් මානයකවත් අවසානයක් නැද්ද?
“දැන් දෙවෙනි ඉනිම අවසාන භාගයට ඇවිත් තියෙන්නේ. මේ වසර අවසාන වන විට සමහර විට එහි අවසානයක් දකින්න ලැබේවි. ආක්ෂාගේ චරිතයේ අවසානය කොතැන ද ඒ තැනට වෙනකම් මම දෙවෙනි ඉනිම හැරදා යන්නේ නෑ.”
නිළියක් වෙන්න ලැබුණු එක ගැන අද මොකද නෙත්මිට හිතෙන්නේ?
“මටත් වඩා මාව නිළියක් කරන්න ආසාවෙන් හිටියේ මගේ අම්මා. තාත්තා නම් පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. කොණ්ඩේ දිග නිසා මම ඉස්කෝලේ කාලෙත් අවුරුදු කුමාරි තරගවලට යන්න හරිම ආසයි. ඒත් තාත්තා යන්න දුන්නේ නැහැ. මම විශ්වවිද්‍යාලයටත් ගිහින් පළමු වසරේදී තමයි රූපවාහිනී අවුරුදු කුමාරි තරගයට යන්න තාත්තාගෙන් අවසර ගත්තේ. අවුරුදු කුමාරි දිනලා ගෙදර ආපු ගමන් කිව්වේ රඟපාන්න නම් යන්න ලෑස්ති වෙන්න එපා කියලා. ඊට පහුවෙනිදා සංකාරං ටෙලිනාට්‍යයේ රඟපාන්න එන්න කියලා කිව්වාම මට හීන් දාඩිය දැම්මා. පස්සේ තාත්තාට කියලා අවසර ගත්තේ බොහොම අමාරුවෙන්. තාත්තා බය වුණේ මම අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගනීවි කියලා. අද මම ඉන්න තැන ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ තාත්තා. අද මට මම ගැන සතුටුයි. මේ ගමනේ පසුතැවෙන්න දේවල් මට ඉතිරි වෙලා නැහැ.”
දැන් අධ්‍යාපන කටයුතු අවසන් ද?
“තාම නැහැ. තාම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකාර පීඨයේ අවසන් වසරේ ඉගෙන ගන්නවා.”
නෙත්මිගේ රූපයට වගේම ප්‍රේක්ෂකයෝ වශී කරගත්ත කොණ්ඩෙ ලස්සනට තියාගන්න ගොඩක් වෙහෙසෙනවා කියලා ආරංචියි?
“අම්මෝ ඔව්. මගේ පණ වගේ තමයි කොණ්ඩෙට මම සලකන්නේ. මගේ කොණ්ඩේ ලොකුම අයිතිකාරයා මගේ තාත්තා. චුට්ටක්වත් කපන්න දෙන්නේ නෑ. අම්මා ගෙදරදී කොණ්ඩෙට විශේෂ තෙල් සත්කාරයක් කරනවා. කොණ්ඩේ හින්දම මම විවේක අරන් සත්කාර කරනවා. මට වඩා ගොඩක් ප්‍රේක්ෂකයෝ ආදරය කරන්නේ මගේ කොණ්ඩෙට. ඒ වගේම වෙළෙඳ දැන්වීම් ගණනාවක්ම මගේ කොණ්ඩේ දිග නිසා ලැබුණා.”
මොනවා ද අලුත් බලාපොරොත්තු?
“ලොකු හීන නැහැ. ප්ලෑන්ස් ටිකක් තියෙනවා. අද දවස හරි විදිහට ගත කරන්නයි මට ඕනෑ. ගැළපෙන නොගැළපෙන දේවල් ගළපා ගනිමින් යන ගමනක් මේක.”
දැන් ජීවිතේට ගැළපෙන කෙනා නෙත්මි ගළපගෙන ද ඉන්නේ?
“අපෝ තාම නැහැ. ඉස්සර මම අම්මා එක්ක කියනවාලු මාව 24 බඳින්න කියලා. 24 උපන්දිනේ දවසේ මට ඒක මතක් වුණා. විවාහයට සුදුසු කෙනා ගළපා ගන්නවා කියන්නේ ඒක දහස් වාරයක් හිතන්න ඕනෑ දෙයක්. සුදුසු කෙනා සුදුසු වෙලාවට ඒවි කියලා විශ්වාස කරනවා. විවාහය කියන දේට නම් මම පොඩ්ඩක්වත් හදිසි වෙන්නේ නැහැ.”
නදීශා අතුකෝරළ / ඡායාරූප - සජීව ලක්ෂාන්