මගේ තාත්තා නැති වුණ දා ඉඳලා මාව කිසිම කෙනෙක් තනි කළේ නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘‘මා මළදා සොහොන් කොතේ ගී ලියන්න එපා...
නන්නාඳුනනා හඬකින් ගී ගයන්න එපා...
කුරුල්ලනේ රැහැයියනේ තනි රකින්න එපා...
මගේ ලොවට එළිය දෙන්න ඉටිපන්දම් එපා...’’
නන්නාඳුනනා කිව්වාට තාත්තා හොඳටම හඳුනන හඬ මගේ හඬ... ඒ නිසා ඉදිරියේදී තාත්තා වෙනුවෙන් ඒ යුතුකම් ඉටු වේවි....’’

මේ ලාංකීය සංගීත වංශකතාව තුළ අසමසම පරිච්ඡේදයක් ලියා අවසන් කළ නිහාල් නෙල්සන් මහත්මාගේ පුත් තරංග නෙල්සන් පසුගිය දෙසැම්බර් මාසයේදී තාත්තාගේ චිතකය අභියස දුන් පොරොන්දුවයි. නිහාල් නෙල්සන් මහතා නික්ම ගොස් මාස තුනක් සපිරෙද්දී තරංග නෙල්සන් එදා දුන් පොරොන්දුව ඉටු කරමින් පසුගිය දිනක සංගීත දිවියේ සිය මංගල ගමන සනිටුහන් කළා. නිහාල් නෙල්සන්ගේ අතීතය හා තරංග නෙල්සන්ගේ අනාගතය පිළිබඳ කළ සොඳුරු කතාබහකි මේ.

තරංග පසුගියදා ජීවිතයේ ලොකු පියවරක් ඉදිරියට තැබුවා. එදා තාත්තාගේ චිතකය ළඟ දුන් පොරොන්දුව සමඟ. මේකද ඒකට හොඳම වෙලාව?

මුලින්ම කියන්න ඕන මගේ තාත්තා නැති වුණ දා ඉඳලා මාව කිසිම කෙනෙක් තනි කළේ නෑ. ඒක හරි පුදුමාකාර ආදරයක්. තාත්තාගේ රසික රසිකාවියෝ, හිතවතුන්, මිත්‍රයින් කිසිම කෙනෙක් අපිව තනි නොකර අපේ ළඟම රැඳුනා. ඒ හැම කෙනාම මගෙන් ඉල්ලුවේ එක දෙයයි. ඒක තමයි තාත්තාගේ ගීත ඉදිරියට ගෙනියන්න සහ ගායනයට එන්න කියන එක. ඒකට විශාල දෙනෙක් ධනයෙන්, බලයෙන්, ශ්‍රමයෙන් වචනයෙන් මට ලොකු ශක්තියක් වුණා. පියා අපෙන් නික්ම ගොස් තුන් මසක් ගතවෙද්දී එදා දුන් පොරොන්දුව ඉටු කරන්න ලැබීම ලොකු සතුටක්. තාත්තාට ආදරය කරපු සුවහසක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ගායනයට එන්න මේක තමයි හොඳම වෙලාව කියලා මම විශ්වාස කරනවා.

ඒ කියන්නේ නිහාල් නෙල්සන් මහත්මාගේ ගීත ඔබේ හඬින් ඉදිරියට අහන්න ලැබේවිද?

මුලින්ම තාත්තාගේ සින්දු ආරක්ෂා වෙන විදිහට වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන. තාත්තාගේ සින්දු කවර්ස් කරන්නේ නැහැ. මීට කලින් කරලත් නැහැ. තාත්තා එහෙම අවසර දීලත් නැහැ. සාමාන්‍යයෙන් එක එක අය තාත්තාගේ සින්දු කියපුවා යූටියුබ් එකේ තියෙනවා. ඒවා මුදල් හම්බ කිරීමේ මූලික පරමාර්ථයෙන් කරපු ඒවා නොවන නිසා ඒවාට මුකුත් කරන්නේ නැහැ.
මම තාත්තාගේ ගීත දෙකක් මේ වෙනකොට මගේ හඬින් රෙකෝඩ් කරලා තියෙනවා. තාත්තාගේ රසික ප්‍රජාව වෙනුවෙන් තාත්තාගේ ගීත මම ගයාවි. හැබැයි ප්‍රසංග වේදිකාවේ තාත්තාගේ අඩුව පුරවන්න මම නෙමෙයි කාටවත්ම බෑ. නිහාල් නෙල්සන්ලා මේ ලෝකෙට ඉන්නේ එක්කෙනයි. මට කවදාවත් තාත්තා වගේ වෙන්න බැහැ. තාත්තා සැමදාම කිව්වේ තාත්තාගේ නිර්මාණ ඉදිරියට අරගෙන යන ගමන් තමන්ගෙම කියලා අලුත් නිර්මාණ කරන්න. ඒ අලුත් නිර්මාණ තාත්තාගේ නිර්මාණවලටත් වඩා ඉහළට යන විදිහට කරන්න කියලා තමයි හැමදාම කිව්වේ. ඒත් ඒක කොච්චර දුරට කරන්න පුළුවන් වේවිද කියන්න මම දන්නේ නැහැ. මොකද තාත්තාගේ නිර්මාණ එක්ක ගත්තාම මට අරන් යන්න උඩක් නෑ. තාත්තාට ඉහළින් තාත්තාගේ අඩුව පුරවන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි.

තාත්තාගේ ප්‍රසිද්ධ වූ ගීත ටිකමද ඔබේ හඬිනුත් අපට අහන්න ලැබෙන්නේ?

තාත්තාගේ ගීත අතර ප්‍රසිද්ධ නොවූ ගීත සහ තාත්තා වැඩිපුර ගායනා නොකල ගීත තමයි මම ඉදිරියට ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරේ මගේ නව නිර්මාණ කිහිපයකුත් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ලංකාවේ සහ විදෙස් ප්‍රසංගවලට ආරාධනා ලැබිලා තියෙනවා.

කවදාවත් අහලා නොතිබුණු තරංගගේ හඬ පිළිබඳ එක තැනකදී අපි හැමෝම විමතියට පත්වෙනවා. තරංග කියන නිහඬ චරිතය ඇතුළේ හිටපු ඒ රසවතා එළි බැස්ස දවසේ ලැබුණු ප්‍රතිචාර කොහොමද?

මම කවදාවත් මීට පෙර ගීත ගායනා කරලා නැහැ. හැබැයි මට ආරාධනා පවා ලැබිලා තියෙනවා. ඒත් මම කවදාවත් තාත්තා ජීවත්ව සිටියදී ගීත ගයලා නැහැ. තාත්තා දන්නවා මට සින්දු කියන්න පුළුවන් කියලා. මොකද මම පුංචි කාලේ ඉඳලා සංගීතය හැදෑරුවා. මට සින්දු කියන්න පුළුවන් කියලා තාත්තා හැර වෙන කවුරුත් දැනගෙන හිටියේ නැහැ. පාසල් යාළුවෝ. මගේ අසල්වැසි මිත්‍රයෝ නෑදෑයෝ විතරක් නෙමෙයි මගේ බිරිඳත් මම ගීතයක් ගායනා කරනවා ඇහැව්වේ තාත්තාගේ ගීත දෙක රෙකෝඩ් කරාට පස්සේ.
ඒ කාලේ තාත්තාගෙනුත් ගොඩක් දෙනා අහනවා ඇයි මට සින්දු කියන්න දෙන්නේ නැත්තේ කියලා. මට තාත්තා සංගීතය උගන්නලා තිබුණේ. තාත්තා බලාපොරොත්තු වුණා නිසි වෙලාවක මම මේ පියවර කවදාහරි ගනීවි කියලා. ඒ නිසි වෙලාව දැන් ඇවිල්ලා කියලා හිතනවා. තාත්තාගේ වියෝවත් එක්ක ඒ වෙලාව ඉක්මන් වුණා කිව්වොත් හරි.

නිහාල් නෙල්සන් අද සිටියා නම්...?

මම සින්දු කියනවා දැකලා හැමදාම වගේ නිහතමානී ආඩම්බරයකින් සිනාසේවි අම්ම තාත්තා. මගේ ළඟ හැම වෙලාවෙම ඉන්නවා කියලා මට දැනෙනවා. මගේ අම්මගෙයි තාත්තගෙයි දරුවෙක් වෙන්න ලැබෙනවා කියන්නේ ආත්ම ගානක් මම ලොකු පිනක් කරලා තියෙන්න ඕන. මගේ ජීවිතේ රෝසමලයි, නෙළුම් මලයි තමයි මගේ අම්මයි තාත්තයි. මගේ ජීවිතේ ඒ දෙන්නා හැමදාම ලස්සන කළා. මම බලාපොරොත්තු වුණාටත් වඩා දේවල් මට ඒ දෙන්නා දීලා තියෙනවා. මගේ ජීවිත කාලයටම තාත්තාගේ ඇස්වල කඳුළු දැක්කේ අම්මා නැති වුණ වෙලාවේ. අම්මාගේ වියෝව තාත්තා දරාගත්තේ හරිම අමාරුවෙන්. අපිට නොපෙන්නුවට අම්මා නැති පාළුව තාත්තාට තදින්ම දැණුනා. අද ඒ දෙන්නාම නැති අඩුව මට හුස්ම ගන්න හැම මොහොතකම දැනෙනවා.

ඔබ ගායන ලෝකයේ පළමු පියවර තියන්න ලස්සනට පිපුන වනමල් ගීතය තෝරගන්න විශේෂ හේතුවක් තිබුණද?

ඔව්... මගේ තාත්තාගෙත් මුල්ම ගීතය ලස්සනට පිපුන වනමල් ගීතය. ඒ නිසා මගේ සංගීත ගමනත් ඒ ගීතයෙන්ම ආරම්භ කරන්න සිතුවා. කරුණා සුවඳ තවරාලූ ගීතය මම මුලින්ම කිව්වේ මගේ අම්මාට.

තාත්තාගේ ගීතවල සියලු අයිතිය තියෙන්නේ තරංගටද?

ඔව්. සමහර සින්දු සියට අනූවක්ම තියෙන්තේ තාත්තම ලියලා සංගීතය යොදපු ගීත. ඒ හැරුණාම වෙන අය ලියපු සහ මියුසික් කරපු ගීතත් ඒ අතර තියෙනවා. ඒ අයත් මේ ගීත ඉදිරියට ගෙනියන්න කියලා මට කතා කරලා කියලා තියෙනවා. තාත්තාගේ ගීත නාස්ති වෙන්න මම ඉඩ තියෙන්නේ නැහැ. 

අවසාන වශයෙන් තරංගට මොනවද කියන්න තියෙන්නේ?

තාත්තා හැමදාම කිව්වේ සල්ලි නෙමෙයි හොයන්න ඕන අවංක මිනිස්සු කියලා. ඒක මම දැක්කා. තාත්තා නැති වුණාට පස්සේ කිසිම කෙනෙක් අපිව තනි කළේ නැහැ. තාත්තා නැති වෙලා සතියක් විතර ගියාට පස්සේ ප්‍රියන්ත කොඩිප්පිලි අයියා, නිහාල් වික්‍රම එදිරිසූරිය අයියා, භාරති අයියා, කැටිපේ අයියා ඇවිල්ලා ඇහැව්වා මොකද ඉස්සරහට කරන්නේ කියලා. එදා ඉඳලා මාව දිරිගන්වලා ගායන වේදිකාවට නග්ගන්න ශ්‍රමයෙන්, බලයෙන්, ශක්තියක් වුණු සැම දෙනාටම හදවතින්ම ස්තුති කරනවා. තාත්තා වෙනුවෙන් මට කළ හැකි උපරිමය මම ඉටු කරනවා.

නදීශා අතුකෝරළ