මගේ ජීවිතේ මම හරිම සැහැල්ලුවෙන් ගෙවන කෙනෙක්. ආරූඪ කරගෙන ජීවත්වෙන්න මම කැමති නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

යුරේනි නොෂිකා ගැන පසුගිය දිනවල වැඩි දෙනෙක් කතා වුණේ, ඇමරිකානු රියැලිටි වැඩසටහනක විනිසුරුවරියක ලෙස එක්වීමට අවස්ථාව හිමිකර ගත් නිසයි. ‘‘Meet The Drapers’’ නම් වූ එම රියැලිටි වැඩසටහන ලෝකයේ මිලියන හැටකට එහා ජනතාවක් නරඹන බව වාර්තා වෙනවා. එලෙසින් එම රියැලිටි වැඩසටහනේ විනිසුරුවරියක ලෙස එක්වූ යුරේනි මේ දිනවල ජීවිතය ගෙවන්නේ මොන විදියට ද? මේ කතා බහට ඇයගේ ජිවිතයේ අලුත්ම විස්තර අපට කියාවි.

යුරේනි ඉතින් කොහොමද ජීවිතේ?

ඇත්තටම කිව්වොත් ගෙවුණු අවුරුද්ද බොහෝ කාලයකට පස්සෙ හිත නිදහස්ව ගත කරන්න ලැබුණා. කාලෙකට පසුව හරි සැහැල්ලුවෙන් ගෙවුණ අවුරුද්දක්. අපි හැමෝම ඊට පෙර කොරෝනා නිසා මානසිකව වැටිලනෙ හිටියේ. ඉතින් ඒ කාලයට සාපේක්ෂව 2023 කියන්නෙ බොහොම සතුටින්, නිදහසේ ගත කරන්න ලැබුණු වසරක්.

දැන් ජීවිතේ මොන වගේද?

ලොකු බලාපොරොත්තු නැහැ. මම බොහොම සැහැල්ලුවෙන් ජීවත් වන කෙනෙක්. උදේ අවදිවුණාම ඒ දවසේ ගෙවෙන සෑම තත්පරයක්ම ඒ දවසට අදාළව ජීවත්වීම මගේ පුරුද්දක්. අනෙක් දවස ගැන කරදර වෙන්නෙ නැහැ. ඉස්සෙල්ලා අද දවස. ඒ දවසට අවංකව ගත කිරීම මගේ පුරුද්දක්. හෙට මොනවා වේවිද කියලා හිතන්නෙ නැහැ. Take Each Day As it Comes කියන විදිය තමයි මම අනුගමනය කරන්නෙ.

ඒ දවසට අදාළව සැලසුමක් නැද්ද?

ඒ දවසේ මොනවා හරි බාරගත් රෙකෝඩින් එකක් හෝ වෙනත් ඉසව්වක් තියෙනවා නම් ඒකට යනවා. නිදහස් දිනයක් නම් සවස පටන් ගන්නෙ ජිම් එකට ගිහින් ව්‍යායාම් කරලා. ඉන්පස්සේ පොතක් කියවීම, නැත්නම් ෆිල්ම් එකක් බැලීම කරනවා. උයන්න නම් වැඩිය දන්නෙ නැහැ. දැන් ඒකටත් පුරුදු වෙන්න ඕන.

පසුගිය කාලයේ දී යුරේනි ගැන වැඩි දෙනා කතා කළේ ‘‘කූඹියෝ’’ නාට්‍යයේ වගේම අනෙකුත්  නිර්මාණවල රංගනයෙන් පෙන් වූ දක්ෂතා නිසයි. ඔබට ඒ විදියේ රංගන කුසලතාවක් ඇති වග දැනගෙන හිටියද?

2007දී මේ ෆීල්ඩ් එකට ආව දවසේ ඉඳලම කැමරාව ඉදිරියට ගිහින් පෙනී සිටි මොහොතේ ඉඳලම මට රංගනයට හැකියාවක් තියෙන වග දැනගෙන හිටියා. ඉන්පසුව මට ලැබුණු චරිත එක්ක මට හොඳ හැකියාවක් ඇති වග තේරුණා. නමුත් මගේ අවාසනාවකට මේ රටේ මට රංගනයට හොඳ අවස්ථා ලැබුණෙ නැහැ. කූඹියෝ නාට්‍යයෙන් පස්සේ තමයි ලංකාව දැන ගත්තෙත් මට රඟපාන්න පුළුවන් කියලා. හැබැයි මම ඒක දැනගෙන ගොඩක් කල්. ඒ කොයි හැටි වෙතත් ලැබීම තියෙන්නත් ඕනෑ. ‘‘කූඹියෝ’’වලින් පසුව යුරේනි කියන්නෙ රූපය විතරක් නෙවෙයි, දක්ෂතාවයත් තියෙන නිළියක් කියලා බොහෝ දෙනෙක් දැන් විශ්වාස කරනවා ඇති.

කොහොමද ප්‍රවීණ රංගන ශිල්පිනියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

හැමෝම මාව අගයමින් කතා කරනවා. එයාලා කියන්නෙත් ඔයා මෙච්චර කල් හැංගිලා හිටියා ඇති, දැන් එළියට ආ යුතු කාලය වගේම දක්ෂතා පෙන්විය යුතු කාලය ඇවිත් කියලයි. ඔයා දක්ෂයි කියලා අපි ඔයාගේ පොඩි කාලයේ ඉඳලම දැනගෙන හිටියාය කියලා එයාලා මාව අගැයීම මට සතුටක්. හැමෝටම ජීවිතේ ලැබෙන විදිය වෙනස්. මට අවස්ථා ලැබෙන්නෙ කාලයක් ගිහින්. දෙවියන් මගේ ඉවසීම සෑහෙන පරීක්ෂා කර දැන් තමයි මට අවස්ථාව ලබාදී තියෙන්නෙ. හැබැයි රඟපෑමෙදි මම ආස කරන චරිත, ආස කරන පිටපත් ගැලපෙන ඒවා විතරයි මම බාරගන්නේ. නිකරුණේ ගිහින් කැමරාව ඉදිරියේ පෙනී ඉඳලා එන්නෙ නැහැ.

මේ විදියට කටයුතු කරන යුරේනි සෝෂල් මීඩියා හෙවත් සමාජ මාධ්‍යයේ නිතර කතාබහට ලක්වෙන චරිතයක්. ඒ විදියට කතාබහට ලක්වෙන්නෙ හිතාමතාම ද?

සෝෂල් මීඩියාවල මම ලොකුවට ඇලි - ගැලී ඉන්න කෙනෙක් නෙවෙයි. මොනවාහරි දෙයක් කළොත් ඒක සෝෂල් මීඩියා දානවා. මගේ වාසනාවට හෝ අවාසනාවකට ඒ විදියට දාන දේ වයිරල් වෙනවා. ඒ කියන්නෙ විශාල පිරිසක් අතර එය හුවමාරු වෙනවා.

රූපවාහිනී ප්‍රෝග්‍රෑම්වලට ආවාම යුරේනි අතිශය සාමාන්‍ය විදියට හැසිරෙන්නෙ කියලා සමහරු කියනවා. එය හිතාමතා ද කරන්නෙ? නැත්නම් වැඩි දෙනා අතර ආකර්ශණයට නතු වෙන්නද?

මගේ ජීවිතේ මම හරිම සැහැල්ලුවෙන් ගෙවන කෙනෙක්. ආරූඪ කරගෙන ජීවත්වෙන්න මම කැමති නැහැ. එහෙම කරන්න ගියාම ඒක මට හරි බරක්. මගෙ යාළුවො අතරෙ වුණත් වෙන ඕනෑම තැනකදි වුණත් වෙනම ස්වරූපයකින් වෙනම විදියකින් මම ජීවත් වෙන්නෙ නැහැ. එක එක තැන්වලට ගියාම වාරණ දාගෙන ජීවත්වෙන්න මට අවශ්‍ය නැහැ. හැබැයි ඒ විදියට ජීවත්වෙන අයට මම ගරු කරනවා. 

ඒ විදිය ඔබගෙ දුර්වලකමක් තියලා හිතන්නෙ නැද්ද?

නැහැ, මම එහෙම හිතන්නෙ නැහැ. ඒ මම ජීවත්වන විදියයි. මිනිස්සු එකිනෙකා ජීවත් වන විදි තියෙනවා. මම ජීවත් වන විදියට සමහර අය කැමති වෙන්න පුළුවන්, සමහර අය අකමැති වෙන්න පුළුවන්. ඒකට මට කරන්න දෙයක් නැහැ. හරි හෝ වැරදි මේ තමයි මම ජීවත් වන විදිය.

ඒ කියන්නෙ ඇත්තම යුරේනි තමයි ඔබ ඒ කිව්ව විදිය?

ඔව්, මගේ විදිය තමයි ඒ.

ජාත්‍යන්තරව රියැලිටි තරගයක විනිශ්චය කරන්නට පසුගියදා ඔබට අවස්ථාවක් ලැබුණා. ඒ ගැන විස්තර කරමු?

2023 වසර මගේ රංගන ජීවිතයේ වාසනාවන්තම වසරක්. ගිය වසරේ හොඳම නිළිය සම්මානය දෙවතාවකදී ලැබුණා. ඊට අමතරව රියැලිටි ෂෝ එකක විනිසුරුවරියක ලෙස කටයුතු කරන්න ලැබුණා. ටීම් ඩ්‍රේපර් නමැති ඇමරිකානු බිලියනපති ව්‍යවසායකයා නිසා මට ඒ අවස්ථාව ලැබුණෙ. ඔහු තමයි ලෝකයේ ට්විටර්, ටෙස්ලා, ස්කයිප් සඳහා මුලින්ම ආයෝජනය කළ ව්‍යාපාරිකයා. ඔහු මෙරටට ඇවිත් මෙරට තරුණ ව්‍යවසායකයන් සඳහා අවස්ථාවක් ලබා දෙන්නේ. ‘‘Meet The Draper’’ රියැලිට් වැඩසටහන හරහා. එයින් එක් අයකු තෝරාගෙන ජාත්‍යන්තර ව්‍යවසායකයන් හා එක්වී කටයුතු කිරීමට එම රියැලිටි වැඩසටහන නිසා අවස්ථාව උදාවෙනවා. එම රියැලිටි ෂෝ එකේ මෙහිදී කළ වැඩසටහන් මාලාවට ආරාධිත විනිසුරුවරියක ලෙස කටයුතු කරන්න මට ඒ අවස්ථාව ලැබුණා.  Meet The Drapers Sri lanka වැඩසටහන නැරඹුවොත් වැඩි විස්තර දැනගන්න පුළුවනි. විනිසුරුවරියක ලෙස මට ලැබුණෙ ඒ තරුණ ව්‍යවසායකයන්ගෙන් ප්‍රශ්න ඇසීමටයි. මීට් ඩ්‍රේපර් කියන්නෙ ඇමරිකානු හිටපු ජනපති බිලියනපති ව්‍යවසායක ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ඇසුරු කරන කෙනෙක්. ඉතින් එවැනි කෙනෙක් හඳුනාගන්න ලැබීමම මම ලැබූ ලොකු ගෞරවයක්. මේ වගේ වැඩසටහනකට සහ ඒ ජාත්‍යන්තර කණ්ඩායම එක්ක වැඩ කරන්න ලැබීම පෙර මා ලැබූ විශාල කුසලකර්මයක ප්‍රතිඵලයක්. වාසනාවක්.

යුරේනි අපි දකිනවා නිතරම ඔබ ඔබගෙ යහළු, යෙහෙළියන්ගෙ මංගල උත්සවවලට සහභාගි වෙනවා. ඉතින් දැන් ඔබට හිතෙන්නෙ නැතිද ඇත්තටම මනාලියක වෙන්න?

එහෙම දෙයක් ගැන මට හිතෙන්නෙ නැහැ. හැමෝම ගිය පාරේ ගිය කෙනෙක් නෙවෙයි මම. නිළි වෘත්තියෙදි වුණත් මම අනුගමනය කරන විදිය වෙනස්. මම හරි කියලා හිතෙන දේ, හදවතට දැනෙන දේ කරන කෙනෙක්. විවාහ ජීවිතයට වඩා මේ මොහොතේ මම කළ යුතු වැඩකොටසක් තියෙනවා. කෙනෙක් හමුවුණොත් අනිවාර්යයෙන් විවාහය ගැන හිතාවි. එහෙම නැතුව ඒ ගැන ලතැවි ලැතැවි ඉන්න කෙනෙක් නෙවෙයි. 

කෙනෙක් හමුනොවී ඉන්න විදියක් නැතුව ඇතිනෙ? බොහෝ පිරිමින්ගෙ ඇලුම් බැලුම් ඇරයුම් තියෙනව නේද?

ලංකාවෙ කිසිම පිරිමි ළමයෙක් මගෙන් යාළුවෙන්න අහන්නෙ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ ගැන මගේ යාළුවන්ට කිව්වාම, යාළුවොත් පුදුම වෙනවා.

ඇහුවොත්?

කැමති වෙන්නත් පුළුවන්, අකමැති වෙන්නත් පුළුවන්. ලෙහෙසියෙන් කැමති වෙන කෙනෙකුත් නෙවෙයි මම. හරිම කෙනා ලැබුණු දවසට, හොඳයි කියලා හිතුණොත් දෙදෙනාට – දෙදෙනාගේ ආත්මයට දැනුණොත් හිත යාවි.

සඳුන් ගමගේ