මගේ ජීවිතේ කිසිම හැකියාවක් අපතේ ගිහින් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් පුංචි තිරයේ සිහින කුමරිය වී එකදිගටම ජනප්‍රියත්වයේ කිරුළ පැලඳීමට තරම් වාසනාවන්ත වූ චතුරිකා පීරිස් අදට ද එම ජනප්‍රියත්වය නොවෙනස්ව තබා ගැනීමට සමත්කම් දක්වන රංගන ශිල්පිනියකි. ‘සූරිය දරුවෝ’ ටෙලි නාට්‍යයෙන් පටන් ගත් ගමන අද වන විට පුංචිතිරයට පමණක් සීමා නොවී රිදී තිරය දක්වා ද පරිවර්තනය කර ගැනීමට ඇගේ රංගන ප්‍රතිභාව සමත්විය. චතුරිකා මුලින් ම ප්‍රේක්ෂක හදවත දිනාගන්නේ රංගන ශිල්පිනියක් ලෙස වුවත් ඉන්පසු නර්තන ශිල්පිනියක්, ගායිකාවක්, නිවේදිකාවක් හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් ලෙසද ප්‍රේක්ෂක හදවත සොරාගැනීමට සමත් වූවාය. මේ කුසලතාවන්වලට අමතරව තවත් හැකියාවන් රාශියක් ඇගේ ජීවිතය හා බැඳී තිබේ. ඒවා ප්‍රේක්ෂකයා නොදන්නා ඇගේ සැඟවුණු පැත්තය. අපි ඒවා කුමක්දැයි ඇගෙන්ම විමසා දැනගනිමු. 

මාව දන්නේ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්, ගායිකාවක්, නිවේදිකාවක් විදියට වුණත් ඉස්කෝලේ යන කාලේ ඉඳන් මට හොඳට සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන්. ඒ භාණ්ඩ අතර සර්පිනාව, වයලිනය, සිතාර් එක, තබ්ලාව මට හොඳටම වාදනය කරන්න පුළුවන්. දැනටත් තබ්ලාව නැතුව අනිත් සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව තිබෙනවා. මම ඉස්කෝලේ සංගීතය විෂයක් විදියට හැදෑරුවා. මම ඒ වගේම නර්තනයත් හැදෑරුවා. හැබැයි රංගනය මං පාසලේදී කරලා නැහැ. දයා නෙල්ලම්පිටිය මිස්ගෙන් තමයි මං පාසලේදි නර්තනය හැදෑරුවෙ. ඉන් පසුව මුදියන්සේ දිසානායක හා පද්මිණී දහනායකගෙන් වැඩිදුර නර්තනය හැදෑරුවා. ඒ වගේම මම පාසලේ දී දක්ෂතා පෙන්නපු තවත් ක්ෂේත්‍රයක් තමයි දැල්පන්දු. පාසල් දැල්පන්දු කණ්ඩායමේ නායිකාව විදියටත් මම කාලයක් කටයුතු කළා. දැල්පන්දු තරගාවලි සඳහාත් මම සහභාගී වුණා. පාසලේ ගොඩාක් අය දැල්පන්දු නිසා මං ගැන දැනගෙන හිටියා. නර්තනය නිසාත් මාව දැනගත් අය හිටියා. අපේ ඉස්කෝලෙන් රංගනයට ආපු අයගෙන් බහුතරයක් ඉස්කෝලෙදී රංගනය කරපු අය නෙවෙයි. මාත් එහෙමයි. දැල් පන්දුවලට ක්‍රීඩාවට කැමැති වුණාට ක්‍රිකට්වලට එහෙමනම් මගේ වැඩිය කැමැත්තක් නැහැ.

සමහර වෙලාවට රංගන ක්ෂේත්‍රයේත් ක්‍රිකට් මැච් සංවිධානය වුණාට මම ඒවාට සහභාගී වෙන්නේ නැහැ. මොකද මං රංගනයට ආවට පස්සේ ගොඩාක් වෙලාවට වෙළෙඳ සන්නාම තානාපතිනියක් ලෙස වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා අව්වේ ඉන්න වැඩවලට මම එච්චර සම්බන්ධ වුණේ නැහැ. මං ගායිකාවක් විදියට ඉස්සරහට නාවට මං මේ වන විට මගේම ගීතයක් පවා නිර්මාණය කරලා තියෙනවා. ඒකෙ නම වතුසුදුමල. එච්.එම්. ජයවර්ධනයන්ගේ ගීත තැටියකට තමයි මං ඒ ගීතය ගායනා කළේ. ඒ ගීතය රචනා කළේ ආනන්ද පද්මසිරි. මම රංගනයට වගේම සංගීතයටත් බොහොම ළැදියි. අමරදේව, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, නන්දා මාලනී, දීපිකා ප්‍රියදර්ශනී යන ගායක ගායිකාවන්ගේ ගීතවලට මම කැමැතී. හැබැයි ඒ අයගේ  හැම ගීතවලටම නෙවෙයි. පාවෙලා නිල් වලාවේ තමයි මගේ කැමැතිම ගීතය.

නිළියක් විදියට මාව දැන ගත්තාට ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට ගොඩාක් අය මාව දන්නේ නැහැ. මම මුලින්ම 2001 දී ජාතික රූපවාහිනියට ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස බැඳුණේ සම්මුඛ පරික්ෂණයකට සහභාගී වෙලා. පැමිණ සිටි විශාල පිරිස අතරින් දෙන්නයි මුලින්ම තෝරාගත්තේ. ඒ දෙන්නා අතර මාවත් තේරුණා. ඒ අතරේදී තමයි මට නාලන් මෙන්දිස්ගේ සූරිය දරුවෝ ටෙලි නාට්‍යයට රඟපාන්න අවස්ථාව ලැබුණේ. නිවුස් කියන අය රඟපාන්න හොඳ නෑ වගේ මතයක් ඉස්සර හැදිලා තිබුණ නිසා ප්‍රවෘත්තිද රංගනයද කියන එක මට තෝරා ගන්න වුණා. එතනදී මම රංගනය තෝරාගත්තා. ඒ මගේ වැඩි කැමැත්ත රංගනය නිසා. පසුකාලීනව රංගනයයි ප්‍රවෘත්ති නිවේදනයයි එකට කරන්න හොඳ නැහැ කියල මතය වෙනස්වී තිබෙනවා. දැන් නැවතත් මට ස්වර්ණවාහිනී ආයතනයෙන් ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කිරීමට ආරාධනා ලැබුණා. ඒ අනුව දැන් නැවතත් මම ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. නැවත ප්‍රවෘත්ති නිවේදනයට එද්දී මට බියක්වත් තැතිගැන්මක්වත් තිබුණේ නැහැ. රංගනයට අමතරව ප්‍රවෘත්ති  නිවේදනය මට වෙනස්ම අත්දැකීමක්. මම නැවත ප්‍රවෘත්ති නිවේදනයට එද්දී සතියක් දෙකක් පුහුණු වෙලා තමයි ඒ අවස්ථාවට මුහුණ දුන්නේ. කැමරාව මට කොහොමත් පුරුදු නිසා වගකීමක් සහිතව ඒ අවස්ථාවට මුහුණ දුන්නා. ප්‍රවෘත්ති නිවේදනය කියන්නේ රංගනය වගේම වගකීම් සහගතව කළයුතු දෙයක්. දෙවන පාර ප්‍රවෘත්ති නිවේදනය කරද්දී පළවැනි විනාඩි 05 යම් තිගැස්මක් ඇතිවුණත් මොහොතකින් ඒ තත්ත්වය සමනය වුණා. 

මගේ ජීවිතය දිහා ආපස්සට හැරිලා බලද්දී මට සතුටක් තියෙනවා. රංගනයට මම ආවේ හිතපු නැති විදියට. රංගනයේ ස්ථාවරවීම එක්ක අනෙක් දක්ෂතා ඉස්මතුකර ගන්න වෙලාවක් නැති වුණත් ඒ හැකියාවන්වලටත් ශිල්පිනියක් විදියට මම ආදරෙයි. රංගනයට ආපු නිසා නර්තනයට, ගායනයට වැඩිපුර මට කාලය යොමු කර ගන්න බැරිවුණා. කොහොම නමුත් මගේ අනිකුත් දක්ෂතා රංගනය ඇතුළේ මට පෙන්නන්න අවස්ථාව ලැබුණා. මට ටෙලි නාට්‍ය තුළ රඟපාන්න ලැබුණෙත් බොහෝවිට ක්‍රියාශීලි චරිත. ඒ චරිත තුළ සංගීතය, ක්‍රීඩාව ඇතුළත් තැන් තිබුණා. මම ඉගෙන ගත්තේ වාණිජ අංශයෙන් නිසා පසුකාලීනව තාත්තාගේ නිෂ්පාදන ආයතනයේ ගිණුම් කටයුතු කිරීමටත් ඒ හැකියාව ඉවහල්වුණා. මං හිතනවා මගේ ජිවිතයේ කිසිම හැකියාවක් අපතේ ගිහින් නැහැ. ඒ හැකියාවන් හැම එකක්ම මගේ ජීවිතයේ සාර්ථකත්වයට ඉවහල් වුණා.

අමිල චින්තක ගමගේ