මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් සැලසුම් කරගෙන ඉන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආදරය ගැන ගීයෙන්, කවියෙන් කතා කරනා විට, නුවර, පේරාදෙණිය, හන්තාන අමතක කරන්නටම නොහැකි ස්ථානය. සුන්දරතම ගී පදවලට, ලයාන්විත සංගීතයට හා හඬට, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම නොලැබූ, කෙදිනකවත්, නුවර, හන්තාන නොදැකි අය පවා සංවේදී කරවන්නට හැකිය.
“සන්තාන සුසුම් දවටා
හන්තාන සුළඟ හැමුවා
මං ගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා.”
සුනීර සුමංග ගේ ලයාන්විත හඬින් මේ ගී පද ඇසෙනා විට ප්‍රේමයේ වියෝගයට මුහුණ දුන් බොහෝ දෙනෙකුගේ ඇස්වලට කඳුළු උනන්නේ නිතැතින්මය.
“කවදාවත් කැම්පස් ගිහිල්ලත් නැ.. ඒ තැන්වල මතකත් නෑ.. සමහරුන්ට බිඳුණු ආදරයක් තිබිලත් නෑ.. ඒත් සිංදුව අහලා කතා මවාගෙන අඬපු අය මට කතා කළා.. කමෙන්ට් කළා..”
ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන්  සංගීත ලොවට පැයූ තරුවක් වන සුනීර සුමංග, සිය ජනප්‍රියතම ගීත අතරින් එකක් වන ‘හන්තාන සුසුම්’ ගීය ගැන පැවසුවේ සිනාසෙමිනි.
ඒ ගීය වඩාත් සංවේදීව සුන්දරව ගායනා කරන්නට ලැබුණේත් නුවරට හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට සිය පෞද්ගලික කැමැත්ත නිසාම යැයි සුනීර විශ්වාස කරයි. නුවර සංගීත ප්‍රසංගයකට යන්නට ඇත්නම් එය පැකිලීමකින් තොරව බාර ගන්නේ නුවර ද සංචාරය කර එන්නට අවස්ථාව ලැබෙන නිසාය.
“මම සිංග් කරන්න කැමැතිම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ.. එහෙම ගියාම මම අනිවාර්යෙන්ම විශ්ව විද්‍යාලය වටේම ඇවිදලා වළ ළඟත් ටිකක් වෙලා ඉඳලා එන්නේ.. ඒ වෙලාවට මටත් මතක් වෙනවා “වැදි රජුට කඩුව පවරා
වළ ළඟදී මනමේ හැඬුවා..
ඒ මතක සියලු සඟවා
මහවැලිය ඔහේ ගැලුවා..
පද පේළිය.. කොහොමත් ගායකයෙක් විදියට නුවර සංගීත ප්‍රසංගයකට යනවා කියන්නේ ඒක මාර ෆීලින්ග් එකක්.. ඒ පැත්තේ මිනිස්සුන්ගෙන් ලැබෙන ෆීඩ් බැක් එක වුණත් හිතට වදිනවා..”
නුවර ඒ තරම් සිතට ළං වීමට කිසිදු පෞද්ගලික හේතුවක් ඇත්දැයි මා ඇසූ පැනයටම නම් කිසිසේත්ම නැතැයි ස්ථිරවම ඔහු පැවසුවේය.
“මම ගීත කරන්නේ ට්‍රෙන්ඩින් වෙන්න බලාගෙන නෙමෙයි.. ඒත් හන්තාන සුසුම් ගීතය යූටියුබ් දාපු අලුතම ට්‍රෙන්ඩින් වන් ආවා. මිලියනක වීව්ස් කියන්නේ ඒ කාලේ ගොඩක් හොඳ ඉලක්කමක්.. මට අපේ අයියා කෙනෙක් කිව්වා මල්ලී අපි සිංදුව බූස්ට් කරමු රු. ලක්ෂයක් විතර වියදම් කරලා ආයේ සෑහෙන කාලෙකට සිංදුව හෙල්ලෙන්වෙත් නැති වෙයි කියලා.. ඒ වුණාට ඇත්තටම මගේ අතේ එහෙම සල්ලි තිබුණේ නෑ.. සිංදුවට වීඩියෝ එක කරන්නත් අම්මා සල්ලි දුන්නේ එයාගේ කරාඹු දෙක උකස් කරලා.. ඒ නිසා සිංදුව ටිකක් කල් තිබිලා ට්‍රෙන්ඩින් තිබිලා ඉවත් වුණා..”
සුනීර මේ පැමිණි ගමන මල් මාවතක් ඔස්සේ පැමිණි ගමනක් නොව ගල් බොරළු අතරින් දුෂ්කර මාර්ගයක පැමිණි ගමනකි. ඔහු ඒ ගමන් මගේ සියලු තැන් සිහිපත් කරන්නේ හැඟීම්බරවය.
“මම ඩ්‍රීම් ස්ටාර් යන්නේ මගේ ලොකු අම්මගේ පුතා එක්ක.. අපේ අම්මා තමයි අපිට ඇප්ලිකේෂන් දැම්මේ.. මම සෑහෙන ලැජ්ජාවෙන් තරඟයට ඉදිරිපත් වුණේ.. තරඟයට ඉදිරිපත් වෙන දවස්වලමයි අමරදේව මාස්ටර් නැති වුණේ.. මට මළ ගෙදර යන්න ඕනේ වුණා.. ඒ වෙලාවේ අම්මා කැටෙන් මට රුපියල් 85ක් ද කොහෙද අරන් දුන්නා මළ ගෙදර ගිහින් එන්න කියලා. ඒ එන අතරේදී තමයි මට මාස්ටර්ගේ කුමරියක පා සළඹ සැලුනා කියන ගීතය ඇහුණේ බස් එකේ රේඩියෝ එකෙන්.. තරඟෙදී කියන්න සිංදුවක් හිත හිතා හිටිය මම ඒ සිංදුව තෝර ගත්තා.. හිතුවේ නැති විදියට මගේ ගීතය ජනප්‍රිය වුණා..”
අමරදේවයන්ගේ ගීතය ඔහු කෙතරම් දක්ෂව සුන්දරව ගායනා කළේ ද යත්, අදටත් වේදිකාවට නැඟුණහොත් සිය ගීත කෙතරම් ගායනා කළ ද අමරදේවයන්ගේ ගීතයක් ගයන්න යැයි ඔහුට ආරාධනාවක් ලැබේ.
වර්තමාන ගීත හා සංගීත දෙස බලනා කල සුනීර පිහිනන්නේ උඩුගම් බලාගෙනය. ලයාන්විත, සංවේදී ගීත ඔහුගේ සලකුණ වන්නේය. තමාට සිටින්නේ තමාගේ ගීත රටාවට අතිශය ප්‍රිය පිරිසිදු රසික රසිකාවියන් පිරිසක් නිසාම එම උඩුගම් බලා පිහිනීම කිසිසේත් අසීරු නොවන බව ඔහු පවසන්නේ සතුටිනි.
“අලුතෙන් ෆීල්ඩ් එකට එන ගොඩක් අය කෑ ගහලා සද්දයක් දාන විදිය මියුසිකල් ෂෝස්වල දකිද්දී, මට හිතුණා මාත් ක්‍රවුඩ් එකට ආතල් එකක් දෙන්න ඕනේ කියලා.. දවසක් මායි, මියුරුයි චාමර අයියයි ෂෝ එකකට ගියා.. එතෙන්දී මියුරුටයි මටයි දෙන්නටම ක්‍රවුඩ් එකෙන් සෑහෙන සපෝර්ට් එකක් ලැබුණා.. ඒත් චාමර අයියා ස්ටේජ් එකට ආවාම අපිට ලැබුණු සපෝර්ට් එක මොකක්ද කියලා හිතුනා.. ඒ තරම් සද්දයක්.. අපි දෙන්නා කටවල් ඇරගෙන බලාගෙන හිටියේ.. චාමර වීරසිංහ කියන්නේ වෙනම අයිකන් එකක්.. ස්ටේජ් එකේ නිකම්ම හිටගෙන හිටියත් මිනිස්සු සපෝර්ට් කරනවා..මම තේරුම් ගත්තා සුනීර සුමංග කියන්නෙත් වෙනම කෙනෙක්.. මේක තමයි මගේ විදිය කියලා.. මගේ ගීතවලට කැමැති පිරිසක් වෙනම ඉන්නවා..”
සම්භාව්‍ය ගීත ඔහු දක්ෂතම හා ප්‍රියතම ඉසව්ව වුණත් ඕනෑම ආකාරයක ගීත ඇසීමට ඔහු දක්වන්නේ දැඩි කැමැත්තකි. ඔහු ඇහුම්කන් දෙන ගීත අතරට හාර්ඩ් රොක්, මෙට්ල් රොක් පවා ඇතුළත්ය.
“මේ වෙද්දී මගේ සිංදු 173ක් විතර තියෙනවා.. ඒවාගෙන් මම ස්ටේජ්වල ගායනා කරලා තියෙන්නේ සිංදු 10ක් 15ක් වගේ.. විවිධ ආරාධනාවන්වලට මම ගීත කළාට ඒවා මගේ යූ ටියුබ් එකේවත් නෑ.. ඉස්සරහට මීට වඩා තරමක් වෙනස් මගේ ස්ටයිල් එකට ගැලපෙන ගීත ටිකක් නිර්මාණය කරන්න හිතාගෙන ඉන්නවා..”
මේ වන විට ගායකයෙකු ලෙසින් නමක් දිනාගෙන හිටියත් සුනීරගේ වැඩිම කැමැත්ත තවමත් ඇත්තේ ක්‍රිකට්වලටය. පාසැල් වියේදී ක්‍රිකට් හෝ සංගීතය අතරින් එකක් තෝරා ගන්න යැයි පැවසූ විට ඔහු තෝරාගෙන ඇත්තේ ද ක්‍රිකට් ය.
“මම පාසැල් ගියේ කඳාන ඩී මැසනඩ් එකට..  තුන වසරේ වගේ ඉඳලා මම ගීතිකා කියන්න එහෙම සම්බන්ධ වෙලා තියෙනවා.. නමය වසරේදී ක්‍රිකට් ගහන්න පටන් ගත්තා... ඒ දවස්වල මියුසික් සර් එනවා ග්‍රවුන්ඩ් එකට මාව හොයන්න.. ක්‍රිකට් කෝච් මියුසික් රූම් එකට එනවා මාව ග්‍රවුන්ඩ් එකට එක්ක යන්න.. එක සැරයක් මියුසික් සර් ඇහුවා මියුසික් ද? ක්‍රිකට් ද කියලා.. මම කිව්වා ක්‍රිකට් කියලා.. කොහොම හරි ක්‍රිකට් ටීම් එකෙත් මට කතා කළේ ගායකයා කියලා.. ඒ දවස්වල මැච්වලට කලින් මට කියලා දෙවැනි බුදුන් සිංදුවත් කියවනවා..”
කෙසේ වෙතත් දෛවය ඔහුව ගෙන ගොස් ඇත්තේ සංගීතමය මාර්ගයක ය. එහෙත් ක්‍රිකට්වලට ඇති ආශාව ඉවත ගොස් නැති නිසාම අදටත් විදේශයක සිටින හිතමිත්‍රයෙකු අවශ්‍ය දෙයක් පිළිබඳ ඇසුවහොත් සුනීරට කියවෙන්නේම ක්‍රිකට් පිත්තක්, පන්දුවක් හෝ ක්‍රිකට්වලට අවශ්‍ය දෙයක්ම ය.
“ළඟදී කැනඩාවලට යනවා ටුවර් එකක්.. එහෙ ඕගනයිසර් ඇහුවා විවේක දවස්වලට මොනවද කරන්න කැමැති කියලා.. මම කිව්වා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න බුක් කරන්න කියලා දවසක.. දැන් ඒ බුකින් එක දාලා තියෙන්නේ..”
මේ දිනවල සුනීර ඇතුලු ඔහුගේ ‘වයන’ සංගීත කණ්ඩායම සංගීත ප්‍රසංගයක් සඳහා සූදානම් වෙමින් සිටින නිසාම සතියට පැය පනහක් පමණ පුහුණුවීම් කරමින් සිටින බව ඔහු පැවසුවේය.
2019 දී මිතුරන් පිරිසක් එක්ව ආරම්භ කළ සංගීත කණ්ඩායම, කොරෝනා හේතුවෙන් දෙවසරක්ම නතර වී තිබුණත් යළිත් ආරම්භ කෙරුණේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සොහොයුරන් දෙදෙනෙකු ද අලුතින් එක් කර ගනිමිනි.
“අපි වෙඩින්ස් වල එහෙම ප්ලේ කලාට ලොකුවට මියුසිකල් ෂෝ එකක ප්ලේ කරලා තිබුණේ නෑ.. මේ ෂෝ එකත් එකක්ම ‘වයන’ ලෝන්ච් කරන්න අපි බලාපොරොත්තු වෙනවා...”
සිය සංගීත කණ්ඩායම රටේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් කිරීමේ අරමුණ පෙරදැරිව කටයුතු කරන සුනීර සිය ඒක පුද්ගල ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ බොහෝ වාරයක් කල් දමා තිබේ.
“ගිය දෙසැම්බර්වල ඒක පුද්ගල ප්‍රසංගය කරන්න ප්ලෑන් කරගෙන හිටියේ.. ඒත් ඒක කල් ගියා.. මාර්තුවල කරන්න හිතුවත් එක දිගට ආව ෂෝස්, විදෙස් රටවලින් ආපු ආරාධනා නිසා ඒ වැඩේ තවත් කල් ගියා.. සැප්තැම්බර් වල කොහොම හරි කරන්න හිතන් ඉන්නවා.. ආයෙත් අලුතෙන් හැමදේම ප්ලෑන් කරන්න ඕනේ.. ලංකාවේ  වගේම විදෙස් රටවල ඉන්න අයත් මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් ඉල්ලනවා..”
ගීතයකට කෙනෙකුගේ සුන්දරතම මතක සේම, සිත රිදවන මතකද එක පෙළට මනසට ගෙන එන්නට සමත් අපූරු මාධ්‍යයකි. එයට සුන්දරතම පද පෙළක්, සංගීතයක් සේම සිතට දැනෙන හඬක් ද අත්‍යාවශ්‍යය. සුන්දර හඬකින් සිතට දැනෙනා දුක වේදනාව, තව කෙනෙකුට කිවිය නොහැකි නම් දරා ගන්නටම සිදු වේ ප්‍රේමිය.
මැවූ හීන නැතිනම් හිතේ
සිනා නුහුරැ වෙන්නේ කෙසේ
කියා ගන්න බැරිනම් සෙනේ
දරාගන්න වෙයි ප්‍රේමියේ...

පවනි උමයංගනා