මගේ අලුත්ම ගීතය ජුලි මාසයේදී නිකුත් කරනවා
වසර ගණනාවක් තිස්සේ ප්‍රසංග වේදිකාව හැඩ කරන තරුණ ගායන ශිල්පියෙකු වන ලසන්ත ප්‍රේමකිර්ති සමගින් මෙවර අපි කතා බහ කළේමු. වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයෙකු වන ලසන්ත මේ වනවිට තමාගේම ගීත කිහිපයක්ම එළිදක්වාද තිබේ. නුදුරේම සිය අලුත්ම ගීතය නිකුත් කරන්නට සුදානමින් සිටින ලසන්ත ඒ පිළිබඳ අපි සමග තොරතුරු බෙදා හදා ගත්තේමු.
ලසන්ත ගායකයෙක් වෙන්නේ කොහොමද?
ඒක හරි අහම්බෙන් සිදුවුන දෙයක්. ඇත්තටම මගේ අදහසක් තිබුණේ නැහැ ගායකයෙක් වෙන්න. මම වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඒ වෘත්තියේ නියැලෙන්න කළින් මම ඒ සම්බන්ධව වැඩිදුර ඉගෙන ගන්න ගියා Lanka English College එකට. ගායකයෙක් විදිහට මුලින්ම පිරිසක් ඉදිරියේ ගීත ගායනා කරන්නේ ගත්තේ ඕතැනදි. ඊට පස්සේ ගමේ මගේ යාළුවෝ කිහිප දෙනෙකු එකතු කරගෙන මම Fire Range සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. එහි නියාමක ගායන ශිල්පියා විදිහට කටයුතු කළෙත් මම. එකත් ටික කාලයක් කරගෙන ගියා. ඔය අතරේ මට මුණ ගැහෙනවා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරන නලින් නාගොඩවිතාන. ඔහුත් සමග පොඩි ත්‍රිපුද්ගල සංගීත කණ්ඩායමක් පටන් ගන්නවා 2006දී. ඔය විදිහට තමයි මම ගායකයෙක් වුණේ.
එළිදක්වපු පළමු ගීතය මතකද..
ඔව්, පසුගිය වසරේදී තමයි මගේ පළමු ගීතය නිකුත් කළේ. ගොම්මන වැටෙනා.. ගීතය ලිව්වේ නුවන් හපුහෙට්ටි. සංගීතවත් කළේ මාව ගායකයෙක් විදිහට මේ ක්ෂේත්රයට අඳුන්වලා දුන්න නලින් නාගොඩවිතාන. ඔහු තමයි මගේ මුල්ම සංගීත ගුරුවරයා. පළමු ගීතයම ගොඩක් ජනප්‍රිය වුණා. ගුවන් විදුලියේ වගේම රංගිරි නාලිකාවල පවා මේ ගීතය ප්‍රචාරය වුණා.
දැනට ගීත කොපමණ ප්‍රමාණයක් ලසන්තගේ හඬින් නිර්මාණය වෙලා තියෙනවද..
ගොම්මන වැටෙනා.. ගීතයත් එක්ක ගීත තුනක් නිකුත් කරලා තියෙනවා. දෑසේ මයාම් පාලා.. හා හීන් නගේ.. කියලා ගීත දෙකක් නිකුත් කළා. මේ ගීත දෙකත් පද රචනා කළේ නුවන් හපුහෙට්ටි. සංගීතවත් කළේ නලින් නාගොඩවිතාන. ලබන ජුලි මාසයේදි තවත් අලුත් ගීතයක් නිකුත් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ මගේ පළමු යුග ගීතය. ගායනා කරන්නේ මංජුලා දිල්රුක්ෂි සමග. ගීතය දැනට නම් කරලා තියෙන්නේ සඳ දියවර කියලා. සඳ දියවර.. ලිව්වේ සිසිර කරුණාතිලක.
ප්‍රසංග වේදිකාවේ ඔබ නිතර දකින කෙනෙක් නේද..
ඔව් මුලින්ම ප්‍රසංගයකට කියලා සහභාගි වුණේ මා අධ්‍යාපනය ලැබු පාසල මිරිස්වත්ත ජාතික පාසලේ තිබුණ එළිමහන් ප්‍රසංගයකට. මට මතක හැටියට ප්‍රසංගය පැවැත්වුණේ 2011 වසරේ. සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම තමයි සංගීතවත් කළේ. ඒ ප්‍රසංගයට මාව සම්බන්ධ කළේ වරුණ ලක්මාල්. එතැන් පටන් අද වෙනතුරු මම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා. ප්ලැෂ් බැක් සංගීත කණ්ඩායම හැරෙන්න දිවයිනේ අනෙකුත් ජනප්‍රිය සංගීත කණ්ඩායම් සියල්ල සමගම මම ගීත ගායනා කරලා තියෙනවා.
ඔබේ හඬ විශේෂ පුද්ගලයෙකුට සමානයි..
ඔව්, විජය කුමාරතුංගයන්ගේ හඬ. ලංකාවම ආදරය කරන කලාකරුවෙකුගේ හඬක් මට පිහිටිම ඇත්තෙන්ම මා ලද භාග්‍යයක් කියලයි මම හිතන්නේ. ප්‍රසංග වේදිකාවේදී බොහෝ දෙනෙකුගේ මගෙන් ඉල්ලීම් කරන්නේ එතුමාගේ ගීත ගායනා කරන්න කියලා. ගොඩක් සතුටින් මම ඒ ඉල්ලීම් ඉටු කරනවා. මොකද, මමත් එතුමාගේ රසිකයෙක් නිසා. ඔහුට අමතරව මම තවත් ආසම ගායකයෙක් තමයි අමරසිරි පිරිස් කියන්නේ. ඔහුගේ ශෛලයට මම ගොඩක් කැමතියි.
තරුණ ගායන ශිල්පියෙක් විදිහට අද ආපු ගමන ගැන තෘප්තිමත්ද..
ඔව්, හැබැයි මේ ගමන මම ආවේ ගොඩක් බාධක මැද්දේ. අපේ වචන වලින් කියනවා නම් ලොකු කට්ටක් කාලා ආපු ගමනක් මේක. මම කාලයක් දේශපාලනයත් කළා. දැන් නම් මුළුමණින්ම ඉන් ඉවත් වෙලා තියෙන්නේ. දැන් මම ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට ගාල්ල පිටිගල ගංගාතිලක පිරිවෙනේ පූර්ණ කාලීනව වැඩ කරනවා. ඊට අමතරව ගායකයෙක් විදිහට ලොකු ගමනක් යන්නත් අදහස් කරමින් ඉන්නවා. අනිත් කාරණය තමයි මම රැල්ලට ගීත නිර්මාණය කරන කෙනෙක් නෙමෙයි. බොහෝම හෙමින් ගමනක් යන්න කැමති කෙනෙක්. ශ්‍රාවකයින්ගේ හිතට වදින හොඳ ගුණාත්මක ගී පෙළක් එළිදක්වන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඒ වගේම මේ වනවිට මට රංගනයටත් ඇරයුම් ලැබිලා තියෙනවා. ඒ අනුර විජේනායක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ඩොලර් සොයා කියන අලුත් ටෙලි නාට්‍යෙය්.
කවුද ලසන්තට මේ ගමන එන්න උදව් කළේ..
නම් වශයෙන් සඳහන් කරන්න ගියොත් විශාල පිරිසක් ඉන්නවා මට. නලින් නාගොතවිතාන, උපාලි සුරවිර, වරුණ ලක්මාල්, දමිත් උදයකුමාර හා පිටිගල ගංගාතිලක පිරිවෙන් ආචාර්ය මණ්ඩලය මුලින්ම මතක් කරන්න ඕනා. ඊට අමතරව මගේ දෙමව්පියන්, මගේ බිරිඳ හා දරුවා, මගේ සහෝදරයින් ලොකු සහයෝගයක් දෙනවා මට. 1983 උපන් අපි සමුහයේ සියලු දෙනාවම මතක් කරන්න ඕනා. ඒ වගේම මට ප්‍රසංග ලබා දෙන හා ලංකාව පුරා මගේ ගීත රසවිඳින සියලු දෙනාවත් මම මේ අවස්ථාවේදී ඉතාමත් ආදරයෙන් මම මතක් කර සිටිනවා.
බුද්ධික සේනාධීර