මේක මහ මජර කුණු ගොඩක්. කවදාවත් කලාකාරයෝ මේ කුණුවලට බහින්න එපා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල එක්ව නිර්මාණය කළ ද නිව්ස් පේපර් චිත්‍රපටයට පසුගියදා ඇමරිකාවේ පැවැත් වූ ජගත් සිනමා සම්මාන උළලේදී සම්මාන 5ක් හිමිවිය. එලෙසින් ලෝකය ඒ චිත්‍රපටය ගැන ජාත්‍යන්තරව කතා වෙන මොහොතක මේ දිනවල රැල්ල වෙරළට ආදරෙයි නිසා අතිශය ජනප්‍රිය වී සිටින කුමාර තිරිමාදුර රංග ශිල්පියා සමඟ අපි කතාබහකට එක්වෙමු.

කුමාර කියන්නද තිරිමාදුර කියන්නද?

ආදරේට ඉතිං හැමෝම කතා කරන්නේ තිරා කියලනේ.

තිරා ඔබ සහ සරත් කොතලාවල එක්ව නිර්මාණය කළ ද නිව්ස් පේපර් චිත්‍රපටයට එක දිගට ජාත්‍යන්තර සම්මාන ඒ ගැන මුලින්ම කියමු.

ඇමරිකාවේ කැලිෆෝනියා සම්මාන උළලේදී ආසියාවේ හොඳම ආසියානු චිත්‍රපටය, එංගලන්තයේ රේන්බෝ සිනමා උළලේදී හොඳම අධ්‍යක්ෂක ලෙස අපි දෙදෙනා සම්මාන ලැබුවා. ඊට පසුව තමයි නැවතත් ඇමරිකාවේ පැවැත් වූ මෙම සම්මාන උළලේදී හොඳම චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂණය හොඳම නළුවා සරත් කොතලාවල හොඳම සහාය නළුවා ලෙස මටත් හොඳම සංගීතය වෙනුවෙන් ගයාත්‍රී කේමදාස සම්මාන ලැබුවා. ඒ කියන්නේ ප්‍රථම වතාවට සම්මාන 5ක් ලැබීම විශේෂත්වයක්.

සම්මාන විතරද? මුදල් ත්‍යාග ලැබුණේ නැද්ද?

ඉන්දියානු බංගලෝර් එකේදී ලැබුනා. ඉදිරියේදී ජර්මානු සහ කැනඩා සිනමා උළෙල සඳහා ඉදිරිපත් කරලා තියෙන්නේ.

තිරා කොහොමද ගෙදර ජීවිතය

ගෙදර ජීවිතය ගැන කතා කළොත් පෙරේදා ලාම්පුතෙල් පෝලිමේ ඉඳලා ලාම්පුතෙල් ගත්තා. මිනිස්සු කිව්වේ ඔයා ඉස්සරහට ගිහින් ගන්න කියලත්. ඒත් මට පෝලිම් කඩාගෙන යන්න අවශ්‍ය වුණේ නැහැ. ඊයේ ගෑස් එකක් ගන්න දුක් වින්දා. කාර් එකේ යන්න විදිහක් නැතුව බස් එකේ තෙරපිලා යන්න වුණා. රටේ සමස්ත ජනතාවම දුකක ඉන්න වෙලාවේ අපිත් ඒ ජනතාව අතර තමයි අපිට උඩින් යන්නත් බැහැ, පෝලිම් කඩාගෙන යන්නත් බැහැ. අපි එහෙම කඩාගෙන යා යුතුත් නැහැ. මිනිසුන් මුහුණ දෙන සියලු දුෂ්කතරතාවලට අපිත් මුහුණ දෙනවා.

තිරා මේ දිනවල රඟපාන නාට්‍ය

හිරු එකේ යන රැල්ල වෙරළට ආදරෙයි නාට්‍ය මේ දිනවල හරිම ජනප්‍රියයි. ඒකේ මම රඟපාන චරිතයත් හරිම ජනප්‍රියයි.

ඇයි ඒක ඒ තරමටම ජනප්‍රිය වීමට හේතුව.

ඒක ජනතාවගෙන් තමයි අහන්නම ඕනෑ. මම ඒකේ රඟපාන්නේ ඇමැතිවරයකුගේ චරිතයක්. ඒ චරිතයට හොඳ ප්‍රතිචාර. ඒත් එක්කම හිරු එකේ යන ළංවී නාට්‍යයේ රඟපාන චරිතයටත් හොඳ ප්‍රතිචාර. ඒ නාට්‍ය දෙක එක ළඟ විකාශය වෙන්නේ. තවත් බොහෝ ටෙලි නිර්මාණ මේ දිනවල නොකෙරෙන්නේ රටේ පවතින මේ තත්ත්වය නිසයි. ලොකු පිරිවැයක් දරන්න අමාරුයි. ඒ අතරේ සරත් සහ මම අලුත් චිත්‍රපට කරන්න පිටපත් ලියමින් ඉන්නේ. අලුත් චිත්‍රපට 4ක් විතර කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේ සියලු දේ අතරේ ළඟදී පේරාදෙණිය සරසවියේ වළට ගිහින් දෙයියොත් දන්නේ නෑ නාට්‍යයේ රඟපාලා ආවා. ඊට අමතරව බල්ලොත් එක්ක බෑ - 2 රඟපෑවා. කෝ කුක්කෝ, දර්ශන වාරවලට ගියා. ඒ හැර අලුත් ඒවා බාර ගන්නේ නැහැ.

රැල්ල වෙරළට නාට්‍යයේ ඔබ රඟපාන්නේ දේශපාලනඥයකුගේ චරිතයක්නේ. ඒක රඟපෑමක්නේ. ඒ චරිතය ඒ තරමට ජනප්‍රිය වීමට හේතුව ලෙස ඔබ දකින්නේ? දේශපාලනඥයා කෙරෙහි ජනතාවට තියෙන අකමැත්ත නිසාද?

පසුගිය කාලයේදී මම රඟපාන මේ මෙරිල් නමැති දේශපාලනඥයාගේ චරිතය නිසා අපේ රටේ සමහර දේශපාලන චරිත මුණ ගැසුණාම ඇයි මේ තරමට අපිව හාස්‍යයට ලක් කරන්නේ කියලා මගෙන් ඇහුවා. මේ තරමටම අපි සවුත්තුද කියලා එයාලා ඇහුවාම මොනවා කියන්නද අපේ රටේ විදියනේ කියල මම කිව්වා. අපි කරන්නේ රඟපෑමක් විතරයි කියල කිව්වා. ඔව් ඉතින් ඔබ කියන විදියට ජනතා විරෝධයක් තියෙන නිසාත් මිනිස්සු ඒ චරිතයට කැමති ඇති. විරෝධයක් ජනතාව අතර ඇති වීමට තරම් හොඳට මම මට හැකි උපරිමෙන් රංගනය කරනවා. ඒ හැර වෙන දෙයක් නැහැ.

පසුගිය කාලයේදී එක පාරටම ඉදිරිපත් වූ නළුවෝ එහෙමත් පාර්ලිමේන්තුවට ගියානේ. කිසිම විටෙක ඔබට ඒ විදියට හිතුනේ නැද්ද අඩු තරමින් ඡන්දෙට එන්න කියලා ආරාධනා ලැබුනේ නැද්ද?

අපොයි මට ආරාධනා ආවා. අදත් මට කතා කරනවා. ඒත් මම අනුගමනය කරන දෙයක් තියෙනවා. ඒ තමයි අපේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සහ විජය කුමාරතුංගයන්ගේ දේශපාලන ස්වභාවය තේරුම් ගැනීම. 1977 දී ගාමිණී යූ.එන්.පී එකෙන් තරග කරද්දී විජය මැතිණියගේ පක්ෂයෙන් ආවා. නමුත් ඒ දෙන්නා එකට රඟපෑවා. එකට හිටියා. කවදාවත් ගහගත්තේ නැහැ. කොහොම වුණත් දේශපාලනය නිසා විජය වෙඩි කෑවා. ගාමිණී දේශපාලනයෙන් අයින් වෙලා. මොකක්ද දන්නවාද කිව්වේ. මේක මහ මජර කුණු ගොඩක්. කවදාවත් කලාකාරයෝ මේ කුණුවලට බහින්න එපා. මේකෙන් කිසිම දෙයක් කරන්න බැහැ. මේකේ ගන්න දෙයක් නැති නැතක් කියලා අපේ සිනමා සක්විති එදා කිව්වා. එයා එහෙම කිව්වට පස්සේ ඇයි අපි තව කෙනෙක්ගෙන් ඒ ගැන අායේ අහන්නේ. එතුමා කිව්ව දේ ප්‍රතිඵල අද අපට ඇස් පනාපිට දැකගන්න පුළුවන්.

ඇයි එහෙම කියන්නේ?

මම මේ ඉන්න විදියට මුළු රටම මට ආදරෙයිනේ. එහෙම තියෙද්දී ඇයි මම එක් පක්ෂයකට කොටු වෙන්නේ? මට ලංකාවේ පේදුරුතුඩුවට ගියත් මිනිස්සු ආදරෙයි. ඉතිං මොකටද පක්ෂ භේද වූ දේශපාලනයට යන්නේ.

පේදුරුතුඩුවෙත් දමිළ යාළුවෝ ඉන්නවද?

අනේ ඔව්. මට ඕක හිතා ගන්න බැරි තරම්. මේ ළඟදී බේරුවලට ගියා. අනේ අපේ නළු අයියා කියලා මුස්ලිම් ජනතාවගේ ආදරය ලැබුණා. නැගෙනහිරට ගියත් ඒක එහෙමයි. මම හිතුවේ මුස්ලිම් අය සිංහල ටෙලි නාට්‍ය නරඹන්නේ නැහැ කියලයි. ඒත් එයාලා නාට්‍ය නරඹනවා. පත්තර කියවනවා. ඒ මිනිස්සු අපට ආදරෙයි. මේ රට භේද භින්න කරලා තියෙන්නේ මේ රටේ දේශපාලකයින් ඡන්ද ගන්න එක එක පක්ෂ හදානෙ මිනිස්සු භේද කරලා. බෙදා පාලනය කරාම ඒක ලෙහෙසියි කියලයි හිතන්නේ.

අපේ පාස්පෝට් එකේ ගහන්න ඕනේ දමිළ මුස්ලිම් බර්ගර් සිංහල නෙමෙයි. ශ්‍රී ලාංකික කියලයි. අපි ඔක්කෝටම ඒ සීල් එක ජාතියක් ලෙස අවශ්‍යයි. කලාකරුවො හැටියට අපේ වගකීම වෙන්නේ ඒ එක්සත් එකමුතුකම ඇති කරවීමයි.

ළංවී නාට්‍යයේ තිරාගේ චරිතය මොන වගේද?

පුතා මරලා දාලා. ඒ ඛේදවාචකයට මුහුණ දුන්න පියෙක්. ඉතින් ඒ කතාව නැරඹුවාම ඔබට බොහෝ දේ වටහා ගන්න පුළුවන් වේවි.

සඳුන් ගමගේ