මේක මම කරන පළමු ජාත්‍යන්තර රුපරාජිණි තරගය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රූපරාජිණියක් සේම රංගන ශිල්පිණියක් ලෙස ලාංකීය ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් කලා තරුවක් තමා ඉමායා ලියනගේ කියන්නේ. මේ වනවිට ඇය ඉතාලියේ රැඳී සිටින අතර, පළමු වතාවට ඉමායා ජාත්‍යන්තර රූපරාජිණි තරගයක් සංවිධානය කරන්නට මේ වනවිට සැළසුම් කරමින් සිටියි. ඒ නිසාම මෙවර සාරවිට අප ඇයගෙන් ඒ පිළිබඳව තොරතුරු විමසුවා.

ඉමායාගේ අලුත් වැඩේ මොකක්ද..

මේක රූපරාජිණි තරගයක්. නම් කරලා තියෙන්නේ Mrs & Miss Beautiful Sri Lanka In Italy කියලා. ඉතාලියේ ගොඩක් ශ්‍රී ලාංකීක තරුණියෝ ඉන්නවා. ඒ අය ඉලක්ක කරගෙන තමයි මේ තරගය මම පවත්වන්න සැළසුම් කරලා තියෙන්නේ. ගොඩක් අය ඉතාලි එන්නේ රැකියාවක් කරලා මුදල් උපයන්න. ඉතින් ඒ අය ගොඩක් වෙලාවට මුලීකත්වය දුන්නේ  තමන්ගේ රැකියාවට. ඒ හින්දා හිතුවා ඒ අය වෙනුවෙන් යමක් මම කළ යුතුයි කියලා. කාර්යබහුල ජීවිත ගෙවන ඒ අයගේ ජීවිතේට මානසික සුවයක් ලබා දෙන්න තියෙන අවශ්‍යතාවය මත තමයි මේ මේක මම සංවිධානය කරන්න හිතුවේ.

තරගය දැන් ආරම්භ වෙලාද තියෙන්නේ..

දැනට මම මේ තරගය වෙනුවෙන් අයදුම්පත් කැඳවන්න සූදානම් කරලා තියෙනවා. දැනටත් අපි මේ තරගය පිළිබඳව මුළු ඉතාලිය පුරා විසිරි සිටින ශ්‍රී ලාංකීකයන් දැනුවත් කරලා තියෙනවා. ප්‍රධාන තරග කාණ්ඩ දෙකක් යටතේ තමයි මේ තරගය මම පවත්වන්නේ. ඒ විවාහක හා අවිවාහක කාණ්ඩ යටතේ.

තරගය පැවැත්වෙන කාල සීමාව කොහොමද..

මේ තරගය පැවැත්වෙන්නේ ඉතාලියේ මිලානෝවල. පෙබරවාරි මාසයේ ඉඳලා තමා අයදුම්පත් භාරගන්න කටයුතු කරලා තියෙන්නේ. කොහොමත් අපි මාස කිහිපයක් ඒ වෙනුවෙන් කාලය වෙන් කරලා තියෙනවා අයදුම්පත් භාරගන්න. ඊළඟ අදියර ටික මැයි, ජුනි හා ජුලි මාසවල සිදු කරනවා. අවසන් තරගය පවත්වන්න තිරණය කරලා තියෙන්නේ මේ වසරේ සැප්තැම්බර් මාසයේ. මොකද, මේ තරගයෙන් ජයග්‍රහණය කරන තරගකරුවා වගේම තරගකාරිය  2026 වසරේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගයක් සඳහා යොමු කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අවසන් තරගය වටය සඳහා එකතුවෙන පිරිස කොපමණද..

අයදුම්පත් ලැබෙන ප්‍රමාණය සළකලා බලලා තමයි ඒක අපි තීරණය කරන්නේ. ලොකු පිරිසක් සහභාගි වුණොත් බලාපොරොත්තුවෙන් ඉන්නවා අවසන් තරගයට විවාහ හා අවිවාහක කණ්ඩවලින් පහළොස් දෙනා බැගින් තෝරගන්න. එහෙම නැත්නම් දොළොස් දෙනෙක් අනිවාර්යයෙන්ම අවසන් තරගය සඳහා අපි එකතු කරගන්නවා. මම හිතනවා දැනටමත් මේ තරගය ගැන තොරතුරු ලොකු පිරිසක් අතරට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යයන් හරහා. අපි දැනටමත් දැන්විම්, පත්‍රකා වගේම විඩියෝ දැන්විම් ප්‍රචාරණයට යොදලා තියෙනවා. දැන් අපි මුලීක අදියරයේ දේවල් පටන් අරගෙන තියෙන්නේ. හොඳ ප්‍රතිචාර වගේම ගොඩක් අයගේ උනන්ඳුවත් මේ වැඩේට යොමු වෙලා තියෙනවා දකිනවා.

මේ වගේ තරගයක් විදෙස් රටක පවත්වන්න ඉමායාට හිතුණේ ඇයි..

මුලීකවම මේ වැඩේ මම කරන්න හිතුවේ විදෙස් ගත වෙලා රැකියාවට මුල්තැන දෙන අපේ ලාංකීකයන් වෙනුවෙන්. මුලින්ම මම හිතුවා යුරෝපයේම ඉන්න ලාංකීකයන් එකතු කරගෙන මේ වැඩේ කරනවද කියලා. නමුත්, ඉතාලියේ ඉන්න ලාංකීකයන් පිරිස දැක්කාම මට හිතුණා ඉතාලියෙන් පමණක් මේ තරගයට පිරිස තෝරගන්නවා කියලා. අනික තමා මේක මම කරන පළමු වැනි වැඩේ. අත්දැකිම් එහෙමත් ගන්න ඕනානේ දෙයක් කරලා. ඒ අදහසත් මුලීක කරගෙන තමයි මේ වැඩේ මම ඉතාලියේ කරන්න හිතුවේ. මුළු යුරෝපයේම ඉන්න ලාංකීකයන් එකතු කරගෙන මේ වැඩේ කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒක ලොකු වැඩක්. මම මේ වැඩේට අලුත් නිසා එච්චර ලොකු වැඩක් තවම මට කරන්න බැහැ. ඉතින් මම හිතුවා ඉතාලියේ තරුණියන් වෙනුවෙන් මේ වැඩේ මුලින්ම කරන්න. මම හිතනවා ලැබෙන ප්‍රතිචාරත් එක්ක මේ කරන වැඩේ ලොකු සාර්ථකත්වයක් ලබා ගනියි කියලා.

බුද්ධික සේනාධිර