මොකද මගේ ජීවිතේට තවම සුදුසු කෙනෙක් ඇවිල්ලා නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නව පරපුරේ දක්ෂ ආකර්ෂණීය රංගන ශිල්පිනියක් මෙවර සඳැල්ල කවරය හැඩකරමින් පුංචි කතාබහකටත් සම්බන්ධ වුණා. ඇය නමින් කාවින්ද්‍යා දුල්ෂාණි.

මේ දිනවල කාවින්ද්‍යා දකින්න ඉන්න නිර්මාණ ගැන මුලින්ම සඳහන් කරමුද?

මේ දිනවල මම රංගනයෙන් දායකවෙලා ඉන්න ටෙලි නිර්මාණ දෙකක් විකාශය වෙනවා. ඒ සියත නාළිකාවේ විකාශය වන විසේකාර හාදුවක් සහ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ගඟන පියවර. ඊට අමතරව අගෝස්තු 3 වනදා සිට ස්වර්ණවාහිනියේ අලුත්ම ටෙලිනිර්මාණයක් විකාශනය සිදු කෙරෙනවා. කෝලම් කුට්ටම නාඩගම්කාරයෝ වෙනුවට ආරම්භ කරන නාට්‍යය. ඒ තුළින් වෙනස්ම විදියෙ රංගනයක් ඉදිරියේදි දකින්න ලැබෙයි.

මේ චරිත ගැනත් සඳහන් කළොත්?

‘‘විසේකාර හාදුවක්’’හි මම නිරූපණය කරන්නේ ‘‘ප්‍රසීනා’’ කියන චරිතය. ප්‍රසීනා සාමාන්‍යයෙන් දඟකාර කෙළිලොල් චරිතයක්. ඇය නංගිලා දෙන්නෙක් ඉන්න අක්කා කෙනෙක්. අම්මා, තාත්තාට පවුලට ආදරෙන් ඉන්න ආදරේ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම් කෙනෙක් තමයි ප්‍රසීනා. ඉතින් මේ දිනවල මේ චරිතයට හොඳ නරක දෙකෙන්ම ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ වගේම ගඟන පියවර ටෙලි නිර්මාණයේ මම වෙනස්ම චරිත රංගනයක් තමයි කරන්නේ.

ඒ තුළ මට රඟදක්වන්න තියෙන්නේ පුවත්පත් වාර්තාකාරිනියකගෙ චරිතයක්. ඒ චරිතය මට ලොකු වෙනසක් වුණා. අලුත්ම අත්දැකීමක්. මීට පෙර මම මාධ්‍යවේදිනියකගේ චරිතයක් කරලා තියෙනවා. නමුත් මේ චරිතය ඊට හාත්පසින්ම වෙනස්. මේ තුළ වෙනස්ම විදියෙ රංගනයක් තියෙන්නෙ. දේශපාලනය හෙළාදකින ඒ පිළිබඳ දැඩිව කතාකරන මාධ්‍යවේදිනියක් ඇය. ඉතින් මේ දිනවල මේ චරිතයටත් ඉහළ ප්‍රතිචාරයක් නම් ලැබෙනවා. මම හිතනවා ඉදිරි සතියෙදි විකාශය ආරම්භ වන චරිතයත් ප්‍රේක්‍ෂකයො ආදරෙන් වැළඳගනියි කියලා.

 මොකද මම එහි කරන්නේ වෙනස්ම චරිත රංගනයක්. ඒ දිලිඳුකමත් එක්ක තම පවුල ජීවත් කරවන්න ගැහැණු ළමයෙක් ගන්න මහන්සිය. මම හිතනවා ඒ චරිතය ප්‍රේක්‍ෂකයන්ට ගොඩක් දැනෙයි කියලා.

‘‘විසේකාර හාදුවක්’’ ටෙලි නිර්මාණ​ෙය කාවින්ද්‍යා චරිතයෙ නංගිලා දෙන්නෙක්ගෙ අක්කා කෙනෙක්, ඒ වගේම ඒ පවුලටත් ගොඩක් ආදරෙයි කියලා. සැබෑ ජීවිතෙත් කාවින්ද්‍යා නංගිලා තිදෙනෙක්ගෙ අක්කා කෙනෙක් නේද? ඒ හැඟීම කොහොමද දැනෙන්නෙ මේ පවුල් දෙක තුළ.

ඔව්. මටත් සැබෑ ජීවිතේ ඉන්නෙ නංගිලා තුන්දෙනෙක්. ඉතින් මගෙ ඇත්ත ජීවිතේට මේ චරිතය පොඩි සමානකමක් තිබෙනවා කියලාත් හිතෙනවා. මොකද මමත් මගේ පවුලට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒ තුළ තමයි ජීවිතේ තියෙන්නෙ. ඒ වගේම චරිත ලක්ෂණත් ටිකක් සමානයි. ඒ දේවල් නිසාම මේ රංගනය කරන්න මට ලොකු අපහසුවක් දැනුණෙත් නැහැ. මොකද ඒ සහෝදර බැඳීම කොහොමත් ආදරණීයයි. නමුත් මේ නිර්මාණයෙ පවුල තුළ තියෙන ප්‍රශ්න අධ්‍යක්‍ෂවරයා සහ මේ වෙනුවෙන් රංගනයෙන් දායකවෙන අපේ ආදරණීය රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක කතාබහ කරගෙන අපේ චරිත රංගනයන් ලොකු සහයෝගයකින් කරගෙන යනවා. ඒ නිසාම තමයි මේ නිර්මාණය වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙත්.

කාවින්ද්‍යාට දඟකාර කෙළිලොල් චරිතවලට වගේම ගැමි චරිතවලටත් වැඩි ඉල්ලුමක් තියෙනවා නේද?

ඇත්තටම මට මේ දෙවර්ගයෙන්ම චරිත රංගන මේ වෙද්දි ලැබිලා තියෙනවා. නමුත් වැඩිපුර ලැබෙන්නෙ ගැමි චරිත. සමහරවිට මගේ පෙනුමෙ ගැමි බවක් දකිනවා ඇති. කොහොමත් ප්‍රේක්‍ෂකයොත් මාව දකින්න කැමති ගොඩක්ම ගැමි චරිතවලින්.

මේ චරිත දෙවර්ගයම කරන්න අවස්ථාව ලැබෙන කාවින්ද්‍යා වැඩිපුර කැමති?

මම වැඩිපුරම කැමති ගැමි චරිත කරන්න. මොකද එහි යම් දෙයක් කරන්න තියෙනවනෙ. දඟකාර කෙළිලොල් චරිත අපේ ඇත්ත ජීවිතේට ටිකක් සමානයි. ඒ තුළ අපිට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒ චරිත පහසුවෙන් කරන්නත් පුළුවන්. ඒ නිසා ගැමි චරිතවලට මම වැඩිපුර කැමතියි.

රංගනයට අමතරව නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වෙලා හිටියා නේද?

ඔව්. මම නාළිකාවක නිවේදන කටයුතු කළා. නමුත් මේ දිනවල නම් ඒ තුළින් ඈත්වෙලා ඉන්නේ. ඉදිරියේදි නැවතත් නිවේදනය තුළින් එකතු වෙයි.

රංගනයට නිවේදනයට හැර තව මොන අංශයටද දක්ෂ කලාව තුළ?

ඇත්තටම මම පොඩි කාලෙදිවත් රංගනය කියන දේ කරලා නැහැ. රංගනයට පිවිසෙන්නවත් මගේ කිසිම අදහසක් තිබිලාත් නැහැ. පාසලේදි මම දක්ෂ වුණේ නර්තනයට. ඒ අංශයෙන් යම් දෙයකට සම්බන්ධ වුණත් රංගනය කරලා නැහැ.

එතකොට රංගනයට එන්න පාර කැපුණේ?

රංගනයට එන්නෙ 2015 වසරේ ස්වාධීන රූපවාහිනියෙ පැවති අවුරුදු කුමරිය තරගාවලිය හරහා. ඒ තරගාවලියෙ අවසන් තරගකරුවන් 12 දෙනා අතරින් ටෙලි නිර්මාණ රංගනයකට තෝරගත්තා. ඒ ‘‘මේඝා’’ කියන ශාන්ත සොයිසා මහත්මයා අධ්‍යක්‍ෂණය කරපු ටෙලි නිර්මාණයෙ. ඒ වෙනුවෙන් මට අවස්ථාව ලැබුණා පුංචි තිරයට සම්බන්ධ වෙන්න. ඇත්තටම මේ ආරම්භය අහම්බයක්. ඒ අහම්බයෙන් ලැබුණු අවස්ථාව තමයි දැන් මගේ වෘත්තිය කරගෙන හිමින් ගමනක් යන්නෙ.

කාවින්ද්‍යා වැඩිපුර නිරූපණයටත් සම්බන්ධ වෙනවා නේද?

ඔව්. මට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධව වැඩිපුරම අවස්ථාව ලැබෙන්නෙ මනාලියන්ට හැඩගැන්වෙන්න තමයි.

එහෙනම් දැන් බොහෝ වතාවක් මනාලියට හැඩ ගැන්විලා ඇති?

අම්මෝ ඔව් ඒක ගණනයක් කරලා නම් නැහැ. මට දැන් ඒ සංඛ්‍යාව මතකත් නැහැ. ඒ තරමට මේ වෙද්දි මනාලියන්ට හැඩගැන්විලා තියෙනවා.

ඇත්තටම මනාලියක් වෙන්න අදහසක් නැද්ද?

ඒ දේ තවම සැලසුම් කරලා නැහැ. මොකද මගේ ජීවිතේට තවම සුදුසු කෙනෙක් ඇවිල්ලා නැහැ. ඒ ආපු දවසට මෙයා තමයි හරි කෙනා කියලා දැනුනු දවසට ඒ දේ සැලසුම් වෙයි.

කොයි වගේ කෙනෙක්ද ප්‍රාර්ථනා කරන්නේ?

මට ආදරේ කරන, හොඳින් මාව තේරුම් අරගෙන, ආදරෙන් බලාගන්න පුළුවන් අවංක කෙනෙක්.

ඒ කියන්නේ බාහිර පෙනුම බලන්නෙ නැහැ?

ඒ දේ බලන්නෙ නැහැ කිව්වොත් බොරුවක් වෙනවනෙ. බාහිර පෙනුමත් බලපානවා. නමුත් ඒ දේට විශේෂ අවධානයක් දෙන්නෙ නම් නැහැ. හැමදේටම වඩා අවංකකමයි ආදරෙයි තියෙන්න ඕනෑ.

අහඹු විදියට කලාව වෘත්තිය කරගත්ත කලාකාරිණියක් විදියට අද ඉන්න තැන ගැන තෘප්තිමත්ද?

ඔව්. මට මං ගැන තෘප්තිමත් බවක් වගේම සතුටකුත් තියෙනවා. මොකද හැමදේමට වඩා මට වටිනවා නිර්මාණයක් වෙනුවෙන් ලැබෙන ප්‍රේක්‍ෂක ආදරය. ඒ මිනිසුන්ගේ ආදරය කියන දේ හැමෝටම ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි කොහේදි දැක්කත් එක්කෙනෙක් හෝ දැන හඳුනගෙන ඇවිල්ලා කතා බහ කරලා ඒ ප්‍රතිචාර දක්වලා ආශිර්වාද කරලා යද්දි ඒ දැනෙන හැඟීම වචනවලින් කියන්න අමාරුයි. ඒ ප්‍රතිචාර, ආදරය, ආශිර්වාදයන් එක්ක තමයි අද අපි මේ තැන ඉන්නෙ. මේ හැමදේම ලැබුණේ මම රංගන ශිල්පිනියක් වුණ නිසා. ඉතින් මට සතුටුයි මට මෙතෙක් ලැබුණු හැම නිර්මාණයක්ම සහ ඒ චරිතයන් පිළිබඳවත්. මොකද ඒ දේවල්වලට තමයි ප්‍රේක්‍ෂකයො ආදරේ කළේ. නවක රංගන ශිල්පිනියක් විදියට මේ ආපු ගමන ගැන ඉතින් මම ගොඩක් තෘප්තිමත්.

ධනු විජේරත්න / ඡායාරූප - සජීව ලක්ෂාන්