භික්ෂු චරිතයෙන් රංගනයට ආ තිස්ස බණ්ඩාරනායක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය 20 වැනිදා ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස බණ්ඩාරනායක මහතා අභාවප්‍රාප්ත විය. මේ ඒ වෙනුවෙන් ලියැවුණු කෙටි සටහනකි. පසුගිය කාලය පුරාම රිදී තිරයේත් පුංචි තිරයේත් භික්ෂු චරිතය සාර්ථකව නිරූපණය කළේ තිස්ස බණ්ඩාරනායකයි.

ඔහු මේ චරිතයට කොතරම් අවතීර්ණ වී සිටියාද කියතොත් පසුගිය කාලයේ චිත්‍රපටයකට හෝ ටෙලිනාට්‍යයකට ඔහුට කතා කරද්දී ඔහු ඇසුවේ හාමුදුරු කෙනෙකුගේ චරිතයක්ද කියා ය.

එයින් ඔහු හැඟවූයේ වෙනත් විවිධ චරිත රඟපෑමට ඔහු ආශාවෙන් සිටි බවය. එහෙත් ඔහු කැපී පෙනුණේ භික්ෂු චරිතය තුළය.
ප්‍රවීණ නාට්‍යවේදී හා චිත්‍රපට අධ්‍යක්‍ෂ ධර්මසිරි බණ්ඩාරනායකගේ ඥාති සහෝදරයකු වූ තිස්ස කලා ලොවට පාතැබුවේ ද ධර්මසිරි නිසාය. ඒ ඒකාධිපති නාට්‍යයෙනි.

ධර්මසිරිගේ පියාත් තිස්සගේ පියාත් සහෝදරයෝ වෙති. මින් වැඩිමලා ධර්මසිරිගේ පියා ය.

ඒකාධිපති ඔස්සේ පැමිණ ඉන්පසුව ධර්මසිරිගේම මකරාක්ෂයා, ධවල භීෂණ ආදී නාට්‍ය කීපයකම ඔහු රඟපෑවේ ය.
ඔහු සිනමාවට පා තැබුවේ ද ධර්මසිරිගේම භවදුක චිත්‍රපටියෙනි. එහි ඔහු ප්‍රථම වරට රඟපෑවේ ද හාමුදුරුනමකගේ චරිතයකි.
ඉන්පසුව වෑකන්ද වළව්ව, නිල් දිය යහන, ඉරසේවය ආදී චිත්‍රපට ගණනාවක සහ නම් ලියා ඉවරකළ නොහැකි ටෙලිනාට්‍ය 300 ක පමණ ඔහු චරිත නිරූපණය කළේය. ඒ බොහොමයක්ම හාමුදුරුවන්ගේ චරිතය.

ඔහුට හාමුදුරුවන්ගේ චරිතය ලැබුණු විට දර්ශන තලයට එන්නේද ඊට අවශ්‍ය ඇඳුම් පැලඳුම් ද රැගෙනය. ඔහු සිවුර හරියටම ඇඳ ගනියි. දිගින් දිගටම එම චරිතය රඟපෑම නිසා ඒ සියල්ල ඔහු දනී.

නළුවකු ලෙස ඔහුගේ රඟපෑම් මෙන්ම දෙබස් උච්චාරණයද විශිෂ්ටය.

තිස්ස ටෙලිනාට්‍ය චිත්‍රපට රැසක රඟපෑවද ඒ සඳහා සම්මාන ලැබුවද ඔහු වෘත්තියෙන් ව්‍යාපාර කටයුතුවල නිරත විය. ඔහුගේ ප්‍රධාන වෘත්තිය රඟපෑම නොවීය. එහෙත් රඟපෑමට ඔහු ඒ දෙන දිනයට වෙලාවට හරියටම දර්ශන තලයට ඒමට සූදානම්ව සිටියේය. ඒ ඔහු රංගනයට ආශා කළ බැවිනි. ඔහු වැඩ කිරීමට පහසු රංගන ශිල්පියෙකු විය. මෙතරම් ටෙලිනාට්‍ය හා චිත්‍රපට ගණනාවක් ඔහුට ලැබුණේ ඒ නිසාමය. ඔහු නළුවකු ලෙස සම්මාන ලද්දේ තක්සලාව ටෙලිනාට්‍යයට ය. 

කිරිබත්ගොඩ හත්දෙනෙකුගෙන් යුත් පවුලක 6 වැනියා ලෙස ඉපදුණු තිස්ස කිරිබත්ගොඩ සපුගස්කන්ද විදුහලෙන් හා ස්ටැෆඩ් විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. වැඩිදුර අධ්‍යාපනය නවතා ඔහු ව්‍යාපාර කටයුතුවලට යොමුවූයේය. ඔහුගේ නැගනියක වූ දැනට ඇමරිකාවේ පදිංචි වසන්තිද මුල්කාලයේ ධර්මසිරිගේ නාට්‍ය ගණනාවක රඟපෑවාය.

ඔහුගේ බිරිඳ චාන්දනී ය. තිස්ස දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. ආදරණීය සැමියකු හා පියකු වූ තිස්ස මොළයේ නහරයක ලේ කැටියක් හිරවීම නිසා රෝගී වී වසර එකහමාරකට වැඩි කාලයක් ගත කළේය.

රෝගී තත්ත්වයෙන් කල් ගෙවූ තිස්ස පසුගිය 20 වැනිදා දිවි ගමනට සමුදුන්නේය. 1957 මාර්තු 08 වැනිදා උපන් තිස්ස මෙලොවින් සමුගන්නා විට වයස අවුරුදු 65 කි. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා සිදුවිය.

රොඩ්නි විදානපතිරණ