බිරිඳටයි, දරුවටයි තමයි මම හැම දෙයක්ම ගන්නෙ. මට මොනවත් ගන්නෙ නැති තරම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින වඩාත් නිහතමානී ක්‍රීඩකයකු ලෙස කාගේත් ආදරය දිනා ගත්ත, වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අගනාම ක්‍රීඩකයකු වී සිටින ධනංජය සිල්වා හඳුන්වන්න පුළුවනි. විස්සයි - විස්ස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කරන ආදරණීය ධනංජය හෙවත් ‘‘ධනා’’ මේ දිනවල සිටින්නේ බොහොම සතුටින් බව කිව හැකිය. පසුගියදා පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීම නිසා ඔහු එලෙසින් සතුටින් සිටින වග ඔබ හිතාවි. ඒ සතුට වගේම ඊටත් එහා ගිය සතුටක් ඔහුට ඇතිවග කියන්න පුළුවනි. ‘‘ධනා’’ එලෙසින් සතුටට පත්ව සිටින්නේ ඇයි? ඒකට හේතුව ඔහුගේ සිඟිති දියණිය නිසාය. එලෙසින් පියකු වී දරු සුරතල් බලන මොහොතක ධනා සහ ඔහුගේ සුන්දර බිරිඳ මෙන්ම සිඟිති දියණිය සඳැල්ලට ආ මොහොතකි මේ.

‘‘ධනා’’ කොහොමද ඇත්තටම ජීවිතේ?

ජීවිතේ සතුටින් ගෙවෙනවා කියලා කියන්න පුළුවනි. බිරිඳ සහ දියණිය නිසා.

මේ සිඟිති දියණිය තනි කරලා ධනා කොහේවත් යන්නෙ නැහැලු?

ඔව් මැච් එකකට ගියොත් ඇරෙන්න මම එයාලා එක්කම තමයි ඉන්න කැමති.

දුවගෙ නම කියමු?

‘‘ආන්‍යා අමේලී’’

සුන්දර බිරිඳගෙ නම?

සඳුනි නිසංසලා. එයා, එයාගේ පාසල් ජීවිතයට සමු දෙනවත් එක්කම වගේ තමයි අපි දෙන්නගෙ ප්‍රේමය පටන් ගත්තෙ. එයා ගියේ ගාල්ලෙ රිෆන් බාලිකාවට. මම ගියේ ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලයට.

‘‘සඳුනි’’ එදා ධනංජයට ආදරය කරන්න ඇත්තෙ ක්‍රිකට් නිසාද?

ක්‍රිකට්වලටත් එයා ආසයි. ඒ වනවිට මම පාසල් ක්‍රිකට් විතරයි ක්‍රීඩා කරල තිබුණෙ. ඒ හැර අපේ ගෙවල්වලිනුත් දැන හැඳිනීම තිබුණා. ඒ වටපිටාව එක්ක, අපි දෙන්නා කතා බහ කරනකොට, අපි දෙන්නට දෙන්නා ගැළපෙන බව තේරුණා. විවාහය දක්වා ගියේ ඒ තේරුම් ගැනීම සහ බැඳීමයි.

‘‘ධනා’’ගේ ජීවිතය අද වන විට ක්‍රිකට් නෙ? ඉතින් ඒ හැර වෙන මොන වගේ දේටද හිත යොමු කරන්නෙ?

එහෙම විශේෂ දෙයක් නැහැ. එකම විශේෂ දේ දරුවාගෙ අනාගතය ගැන හිතලා, ඉදිරියට සැළසුම් කිරීමයි. බිරිඳයි, මමයි එකතු වෙලා වැඩිපුර කතා බහවෙන්නෙ ඒ ගැනයි.

එදා පාසල් සමයේදීමනෙ ධනා හට සඳුනිව හමුවුණේ? ඇයි සඳුනි කෙරෙහි එච්චර බැඳීමක් ඇතිවුණේ?

එක හේතුවක් කියලා හරියටම කියන්න බැහැ. එයා මට කැමති වුණේ ක්‍රිකට් ක්‍රීඩා කරන නිසාවත්, මම ක්‍රිකට් නිසා ප්‍රසිද්ධ වීම නිසාවත් නෙවෙයි. මම හිතන්නෙ එයාට මට යමක් තේරුම් කරලා දෙන්න පුළුවන් වගේම මටත් එයාට වටහා දෙන්න පුළුවන්. ඒ අදහස් සහ මාව තේරුම් ගන්න පුළුවන් වීම නිසා තමයි මට ඇය කෙරෙහි හිත ගියේ.

සඳුනි ඉගෙන ගත්තෙ මොන අංශයෙන්ද?

එයා උසස් පෙළ කළේ කලා අංශයෙන්.

‘‘ධනා’’ උසස් පෙළ කළෙත් කලා අංශයෙන් නේද?

ඔව්.

සඳුනිගෙ ඔබ දකින විශේෂ දක්‍ෂතාවය මොකක්ද?

ලොකුම දේ මාව තේරුම් ගැනීමයි. ඒ වගේම සඳුනිට ලොකු වයසක් නැහැ. ඒත් මවක ලෙස බිරිඳක ලෙස වගේම ගෘහණියක ලෙස එයා සෑම දෙයක්ම කැපවීමෙන් කරන බව පෙනෙනවා. හොඳ පිළිවෙළක් වගේම කළමනාකරණයක් ඇයට තියෙනවා. මට වුණත් විලාසිතා (ඇඳුම්) තෝරලා දෙන්නෙ එයා. හොඳ රසට ඕනෑම කෑමක් හදන්න පුළුවනි. මොනවා හැදුවත් කෑම රසයි. හොඳ අත්ගුණයක් පිහිටලා තියෙනවා. ටුවර් එකක් ගිහින් ගෙදර දුවගෙන එන්නෙ ඇය හදලා දෙන කෑමක් කන්න. ඒක ඇත්තටම හරි වැදගත්.

ක්‍රිකට් තරුවක් වුණාම, රසිකාවියන් වටකර ගන්නවනෙ. ඉතින් ඒ අයගෙ ප්‍රේක්‍ෂක ආදරය හමුවේ බිරිඳ ප්‍රතිචාර දක්වන්නෙ මොන විදිහටද?

ඒවා ඉතින් සාමාන්‍ය දේවල්නෙ. රසිකත්වය වෙනයි, පුද්ගලික ජීවිතය වෙනයි. අපි එළියකට කෑමකට හරි ගියාම, රසිකයින් මාව වට කරගනෙ ෆොටෝ ගහන්න පටන් ගන්නවා. ඒවගේ වෙලාවට සඳුනිම ෆොටෝ අරගෙන දෙනවා.

දෙන්නටම රඟපාන්න ආරාධනා එහෙමත් ලැබුණලු නේද?

කතා කරලා නම් තියෙනවා. ඒත් ඒ ගැන මගේ නම් වැඩි කැමැත්තක් නැහැ. බිරිඳ රඟපාන්න කැමතිද කියලා නම් මම දන්නෙ නැහැ. එයාගෙන් අහලා බලලා කියන්නම්.

දෙන්නම කලා අංශයෙන්නෙ ඉගෙන ගත්තෙ? කාටද වැඩිපුර නිර්මාණශීලී කලා හැකියාවක් තියෙන්නෙ?

මම හිතන්නෙ ඇයට. ඇයට හොඳට විලාසිතා එහෙම ගළපා ගන්න, තෝරා ගන්න පුළුවනි.

සඳුනිට හොඳට ගයන්නත් පුළුවන්ලු නේද?

ඔව් පුළුවනි. මාත් ඒ හැකියාව හොඳටම දැක්කෙ එයා ‘‘බබා’’ නලවද්දී ගයන සිංදු අහගෙන ඉඳලයි. ළමා ගීත, දරු නැළවිලි ගීත ඔක්කොම වගේම ඇයට කට පාඩම්. කට හඬත් හරි ලස්සනයි. කොහොමටත් එයා සිංදු කියන්න වගේම, අහන්නත් ආසයි. ඇයගෙ රඟපෑමේ හැකියාව ගැන නම් මම දන්නෙ නැහැ.

‘‘ධනා’ ගෙදර සිටියදී වැඩිපුර කරන්නෙ?

ඉස්සරනම් වැඩිපුරම කළේ වීඩියෝ ගේම් ගහපු එක. දැන්නම් දුව නිසා ඒක ටිකක් විතර අඩු කරලා තියෙන්නෙ. ඉඳ හිටලා මොනවා හරි කෑමක් එහෙම හදාගන්නත් පුළුවනි.

ටුවර් එකක් ගියාම විශේෂයෙන්ම බිරිඳට මොනවද ගෙනැත් දෙන්නෙ?

බිරිඳටයි, දරුවටයි තමයි මම හැම දෙයක්ම ගන්නෙ. මට මොනවත් ගන්නෙ නැති තරම්. විශේෂයෙන්ම එක එක විදියෙ ඇඳුම් දෙන්නටම ගෙනැත් දෙනාව. එයා කැමති විලවුන් වර්ග, රූපලාවන්‍ය දේ ගෙනැල්ලා දෙනවා. එයත් ක්‍රිකට්වලට ආදරේ කෙනෙක් නිසා, එයාලට තෑගි ගේනවාට වඩ කොහොම හරි මැච් එක දිනලා එන්න කියලා තමයි කියන්නෙ.

‘‘ධනා’’ කියන්නෙ, ඇඟෙන් කෑල්ලක් ගියත් තරගය අත්හරින කෙනෙක් නෙවෙයි, ඒත් සමහර අවස්ථාවලදී ටීම් එක බැලන්ස් කරන්න වෙන නිසා, ‘‘ධනා’’ට එළියෙ ඉන්න සිද්ධ වෙනවා, ඒ වගේ වෙලාවට මොනවගේ හැඟීමක්ද ඇතිවෙන්නෙ?

කණ්ඩායමට ඇතුළත් නොවීම නිසා දුකක් නෙවෙයි, එළියෙ ඉඳලා හරි සපෝට් එකක් දෙන්න පුළුවන් වුණොත් ඒක ලබා දෙනවා. ඒ වගේම කණ්ඩායමේ එකොළහට ඇතුළත් වුණොත්, එය ජයග්‍රහණය වෙනුවෙන් කළ යුතු දේ ගැන මිසක්, මගේ ශරීර සෞඛ්‍ය ගැන නෙවෙයි හිතන්නෙ. තරගයක් දිනවලා එන්න තමයි බලන්නෙ. මම එළියෙ හිටියත් කණ්ඩායම දිනනවා නම් මගේ සතුට එයයි.

‘‘ධනා’ ක්‍රිකට්වලට විතරමද දක්‍ෂ?

වැඩිපුරම මේ දක්වා කරලා තියෙන්නෙ ක්‍රිකට්. ක්‍රිකට් නොකළා නම්, වෙන ක්‍රීඩාවක් කරාවි. ක්‍රීඩාවම තමයි ඇඟේ තිබුණෙ. අපේ තාත්තාත් ක්‍රීඩාවට බොහොම ලැදිව සිටි කෙනෙක්. ඒ නිසා ක්‍රීඩාවට උදවු කළා. රැකියාවක් විදියට ඒ දිනවල මම ආසාවෙන් හිටියෙ ගුවන් හමුදාවට යන්න. ගුවන් හමුදාවේ නියමුවෙක් වෙන්න ආසා කළා. ඒ මොන දේ නැතත්, ක්‍රිකට් නිසා රටට යමක් කරන්න ලැබීම ගැන ලොකු සතුටක් මට තියෙන්නෙ.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ