බය කියන දේ ගෑවිලාවත් තිබුණෙ නැහැ
‘‘ඉස්කෝල කාලේ’’ විශේෂාංගයෙන් මෙවර සඳැල්ල හා එකතුවෙන්නේ මේ දිනවල පුංචි තිරයේ නාඩගම්කාරයෝ හි ‘‘පොඩ්ඩි’’ චරිතය හරහා වැඩි ආදරයක් ජනප්‍රියත්වයක් දිනාගෙන සිටින ඇයයි. නමින් ඒ ආදරණීය චරිතය නිම්මි මනෝහාරි.
මම එක වසරේ සිට 13 වසර දක්වාම ඉගෙනගත්තේ මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයේ. මට මතකයි මම ඉස්කෝලේ ගිය පළවෙනිම දවස අම්මයි, තාත්තයි දෙන්නම එක්ක තමයි ගියේ. එදා ගොඩක් දෙනෙක් ඇඬුවා. ඒත් මම නම් ඇඬුවෙ නැහැ. එදා අඬපු අය මම සනසපු එක තමයි කළේ. ඒ තරමට මම ඒ කාලෙ ෆෝවඩ් චරිතයක්. ඕනෑම කෙනෙක් එක්ක කතාබහ කරලා ඉන්නවා. බයක් කියන දේ ගෑවිලාවත් නැහැ. ඒ වගේම ගොඩක් දඟයි.
එකම යාළුවත් එක්ක ඉන්න ඕනෑ කියලා දෙයක් මට තිබුණෙ නැහැ. සමස්තයක් විදියට පුංචි කාලෙ ඉඳන් ප්‍රාථමික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනය ලබද්දිත් හැමකෙනාම මගෙත් එක්ක ලොකු ෆිට් එකක් තිබුණා.
කොහොමත් පුංචි කාලෙ ඉඳන් මම ඉස්කෝලෙත් කැපීපෙනෙන චරිතයක්. කිසි දේකට බය නැහැ. ඕනැම දේකට ඉදිරිපත්වීමේ හැකියාවක් තිබුණා. පාසලේ මාධ්‍ය අංශයේ සාහිත්‍ය සංගම්, කලා සංගම් ඒ හැමදේකම මූලිකත්වය අරගෙන වැඩ කළා.
ඒ නිසාම ඉස්කෝලේ මගේ වයස සහෝදරියනුත්, මට වැඩිමල් පිරිසත්, බාල පිරිසත් මට ගොඩක් ආදරෙයි. මගේ නම ප්‍රියංවදා මනෝහාරිනෙ. නමුත් මට ඒ හැමදෙනාම වගේ ආදරෙට කතා කළේ ප්‍රියා කියලා. ඉස්කෝලේ ගුරුවරුන්ගෙනුත් ලොකු ආදරයක් ලැබුණා. ඒ ඉස්කෝලේ විෂය බාහිර වැඩවලට එහෙමත් මූලිකත්වය අරගෙන වැඩ කරපු නිසා.
විශේෂයෙන්ම මම පාසල් ශිෂ්‍යභට කණ්ඩායමේ හිටපු නිසා ඒ තුළින් ඉස්කෝලේ කැපීපෙනෙන චරිතයක් වෙලා හිටියෙ.
මම නර්තනයත් හැදෑරුවා. ඒ දේත් එක්ක පාසල් වේදිකාවෙත් මට ලොකු ඉඩකඩක් තිබුණා. නමුත් රංගනයට නම් මම සම්බන්ධ වෙලා හිටියෙම නැහැ. රංගනයට මට අවස්ථා ලැබුණත් ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න උනන්දුවක් දැක්වූවේ නැහැ.
පුංචි කාලෙ ඉඳන්ම නර්තනයට අමතර පන්තිත් ගිහින් තමයි ඒ අංශය වර්ධනය කරගෙන ඉදිරියට ගියේ.
ඉස්කෝලෙ ශිෂ්‍යභට කණ්ඩායමේ සමාජිකාවක් විදියට ඒ අංශයෙන් ලොකු මෙහෙවරක් සහ ඉස්කෝලේ වෙනුවෙන් ගෞරවයක් ලබාදෙන්න මම ඉදිරිපත් වෙලා තියෙනවා. ජයග්‍රහණ ලබාදීලා තියෙනවා. අධ්‍යාපන කටයුතුත් හොඳින් කරගෙන ගියා. O/L කාලෙ නම් ගණිතය විෂයට තමයි ලොකු කැමැත්තක් තිබුණෙ. නමුත් මගේ ඉදිරි ගමන යන්න ඕනෑ කියලා හිතුණෙනම් කලාව පැත්තෙන් තමයි.
මම A/L කරන්න තෝරගත්තේ ජනමාධ්‍ය අංශය. මොකද මම ඉස්කෝලේ ඒ අංශයේ නිරතවෙලා හිටියා. ඒ සංගම්වලටත් සම්බන්ධ වෙලා හිටියා. අධ්‍යාපනය, බාහිර වැඩ කටයුතු හැමදේම එක්ක ඉස්කෝලේ දඟවැඩත් ඕනෑ තරම් කරලා තියෙනවා. ඉස්කෝලෙ වෙලාවෙ පීරියඩ්වලට ඒ අදාල ගුරුවරු ආවේ නැතිවුණාම අපි කරන්නේ මේසවලට ගහලා සින්දු කියන එක තමයි.
මම ඒ වෙලාවට පන්තිය අතුගාන කොස්සත් අරගෙන ඒ ගීත ගායනා කරන ගායක ගායිකාවන් විදියට සින්දු කියනවා. මට සාමාන්‍යයෙන් කෙනෙක්ව ලාවට වගේ අනුකරණය කරන්න පුළුවන්. ඒ වගේම පන්තියේ ගුරුවරයෙක් නැත්තම් අපි හොරෙන් කැන්ටින් එකට යනවා. අවේලාවේ කැන්ටින් ගිහින් ගුරුවරුන්ට අනන්තවත් අහුවෙලා තියෙනවා. ඉතින් බැනුම් එහෙමත් අහනවා.
ඒ කාලෙදි වුණු අමතක නොවන සිදුවීමක් තමයි A/L කාලෙදි වුණු දෙයක්. ඒ කාලේ ඉස්කෝලෙට ෆෝන් ගෙනියන්න දෙන්නේ නැහැනෙ. ඉතින් මට ඒ කාලේ තිබුණා පොඩි ෆෝන් එකක්. ඒ කාලෙදි ළමයි හැමෝටම වගේ පොඩි ෆෝන් වර්ගයක් තිබුණනේ. එකම බැටරියනෙ ඉතින් ඒ ෆෝන්වලට තිබුණෙත්. ඒ කාලෙ අපිට ඉරිදා නැටුම් පන්තියක් තිබුණා. ඒ පන්තියට අපි ෆෝන් අරගෙන යන්නෙ. ගෙදරට එහෙම කතා කරන්න ඕනෑ නිසා. ඉතින් එදා මගේ යාළුවගේ ෆෝන් එකේ බැටරිය බැහැලා තිබුණෙ. එයාට ගොඩක් දුර යන්න තියෙනවා නුවර ඉඳන්. ඒත් මගේ ගෙදරට යන්න විනාඩි 5 ක් වගේනෙ යන්නේ. ඉතින් මම මගේ බැටරිය ගලවලා දුන්නා යාළුවට. මොකද එයා ගෙදරට යද්දී රෑ වෙන නිසා. ඉතින් එදා යාළුවා මගේ බැටරිය අරගෙන ගිහින් පහුවදා ඉස්කෝලේ එද්දි ඒ බැටරිය මට දෙන්න අරගෙන ඇවිල්ලා තිබුණේ. ඒ කුඩේ අස්සට දාලා. කොහොමහරි ඒ ස්පෝට් මීට් කාලෙ. අපි එදා පිට්ටනියෙ තමයි හිටියෙත්. ඉතින් අපේ පන්ති බාර ටීච යාළුවගේ කුඩේ අරගෙන තියෙනවා පිට්ටනියට යන්න. ඉතින් කුඩේ ඉහලද්දිම බැටරි කෑල්ල බිමට වැටිලා. ඊට පස්සෙ ටීචට කතාව කිව්වම මට පන්තියට එන්න කියලා තිබුණා. මමත් පන්තියට ගියා. ඒ ගියාම ඉතින් කිව්වා අම්මාත් මේ ගැන දන්නවා. ගෙදර ගිහින් මම අම්මට කියලා ටීචට කතා කරන්නම් කියලා. කොහොමහරි මම ගෙදර ගිහින් ටීචට අම්මා විදියට කතා කළා ෆෝන් එකෙන්. ඉතින් ටීචත් අම්මා කියලා හිතාගෙන මගෙත් එක්ක හොඳට කතා කළා. මම අන්තිමේට කිව්වා ටීච දුවගේ මොනව හරි දෙයක් තියෙනවනම් මට කියන්නත් කියලා.
අපේ ඉස්කෝලෙට එහා පැත්තේ තියෙන්නෙ ලංකාවේ ජනප්‍රියතම උසස් බාලක පාසලක්. අපි ඒ ඉස්කෝලෙ ඇතුළේ වත්තට පැනලා අඹ කඩනවා. කෙසෙල් කඩනවා. ඒ වත්තේ තියෙන ඔක්කෝම වගේ හොරා කනවා. හොරා කෑමකුත් නෙමෙයි. ඇත්තටම ඒවා ජොලියට කරපු දේවල්.
ඒ වගේ දඟ වැඩ කළා මිසක් මට ඒ කාලෙ පාසල් ප්‍රේමයක්වත් තිබිලා නැහැ. මට පිරිමි යාළුවෝ නම් ඕනෑ තරම් ඉන්නවා. ගෑනු යාළුවන්ට වඩා ඉන්නේ පිරිමි යාළුවෝ. යාළු ෆිට් එකට මිසක් මට ආදරණීය ඇරයුම් නම් වැඩිපුර ඇවිල්ලා නැහැ. ඒ දේවල්වලට මගේ යොමුවීමක් තිබුණෙත් නැහැ. නමුත් ලස්සන කොල්ලො දිහා බලනවා.
ඉතින් මම නම් ඒ කාලය පුදුම විදියට වින්දා. අදටත් ඉස්කෝලේ ළඟින් යද්දි ඒ අතීතය මතක් වෙනවා. ඒ ඇවිදලා දුවලා පැනලා හිටපු කාලය මතකෙට එද්දි ඇස්වලට කඳුළු එනවා ඇත්තටම. සමාජයේ ලස්සනට ජීවත් වෙන්න කොන්ද පන තියෙන ගෑනු ළමයෙක් විදියට ජීවත්වෙන්න මට ඉගැන්නුවේ මගේ පාසල. ඒ අපේ දෙවනි අම්මානෙ. ඉතින් හරිම සුන්දර කාල සීමාවක් තමයි ඒ අපේ ජීවිතේ ගෙවිලා ගියේ.
මෑතකදී මම මියුසික් වීඩියෝවකට රංගනයෙන් දායක වුණා. පාසල් ශිෂ්‍යාවකගේ රංගනයක්. ඉතින් ඒ මියුසික් වීඩියෝවට මාව සම්බන්ධ කර ගද්දිත් පාසල් නිල ඇඳුමක් ඇඳගෙන මේ දේ කරන්න වෙන්නෙ කියලා කිව්වාමත් මම හරිම ආදරෙන් තමයි ඒ දේ බාර ගත්තේ. ඒ වෙනුවෙන් පාසල් නිල ඇඳුම ඇඳලා, සපත්තු මේස් දාලා, කෝණ්ඩ කරල් දෙක ගෙතුවම මට මාරම හැඟීමක් ඇතිවුණේ. ආයෙත් අතීතයටම ගියා. ඒක මාරම හැඟීමක් වචනයෙන් විස්තර කරන්න බැරි.
සඳුන් ගමගේ