බයෝ එකෙන් පස්සේ තවත් වැඩ කිහිපයක් අපි කරනවා
මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය අතරේ ස්වර්ණවාහිනියේ විකාශය වෙන බයෝ ටෙලි නාට්‍යයට විශේෂ තැනක් හිමිවෙයි. නිතරම වෙනස් විදිහේ නිර්මාණය කරන්නට උත්සාහ කරන තරුණ අධ්‍යක්ෂවරයෙකු වූ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන බයෝ හි නිෂ්පාදන බරපැණ දරා ඇත්තේ නීලා සිල්වා හා රංජිත් සිල්වා දෙදෙනාය. එය ඔවුන්ගේ කුළුඳුල් ටෙලි නිෂ්පාදනයද වීම විශේෂත්වයකි.
බයෝ වගේ නිර්මාණයක් කරන්න හිතුවේ ඇයි?
කලා නිර්මාණයකට දායක වෙන්න කාලයක ඉඳලා ආසාවක් මටත් මගේ සැමියා රංජිත්ටත් තිබුණා. ඔහොම හිත හිත ඉන්නකොට තමයි මීට වසර දෙකකට විතර කලින් ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂකතුමා මට ආරාධනාවක් කළේ නිර්මාණයකට නිෂ්පාදකයෙක් විදිහට සම්බන්ධ වෙන්න කැමතිද කියලා. බයෝ කියන කතාව හැමදාම දකින ටෙලිනාට්‍ය වගේ නෙමෙයි. වාර්තාකරුවන් සහ මාධ්‍යවේදීන්ගේ ජීවිත ගැන, ගැහැණු, පිරිමි හැමෝටම රසවිඳින්න පුළුවන් නිර්මාණයක්. මේක අපි දෙන්නා දායක වුණ පළමු නිෂ්පාදනය. ගොඩක් සතුටු වෙනවා බයෝ වැනි කලාත්මක නිර්මාණයකට අපිට සම්බන්ධ වෙන්න ලැබීම ගැන.
අපේ කලා ක්ෂේත්රය තුළ අද වෙන කොට ස්ථාවරයක් තියෙනවද?
දැනට නැහැ. හැබැයි එහෙම ස්ථාවරත්වයක් හැදිගෙන එනවා කියලා මම හිතනවා. ඒකට හේතුව විදිහට මම දකින්නේ අද හොඳ ගුණාත්මක නිර්මාණ බිහි වෙන්න පටන් අරන් තියෙනවා. කාලයක් අපි එකම විදිහේ නිර්මාණවලට කොටු වෙලා හිටියා. හැබැයි අද තත්ත්වය එහෙම නැහැ. මම හිතනවා මේ යන විදිහට ලංකාවේ කලා ක්ෂේත්රය ඉදිරියේදී හොඳ සුබවාදි තැනකට ඒවි කියලා.
ලංකාවේ අද බිහිවෙන කලා නිර්මාණ ගැන ඔබේ අදහස කොහොමද?
පිටරටක ජිවත් වුණත් ගොඩාක් ලාංකිකයන්ගේ හිත තියෙන්නේ ලංකාවේ. ඒ අයට අපේ නිර්මාණ රස විඳින්න පුළුවන් සමාජ මාධ්‍යයන්වල පිහිටෙන්. ඒ ඇරුණම එදිනෙදා ලංකාවේ චිත්‍රපට මේ ඇමරිකාවේ පෙන්නන්නේ නැහැ. ලංකාවේ සමහර නිර්මාණ පිටරට ප්‍රේක්ෂකයන්ට නෙමෙයි හදලා තියෙන්නේ. චිත්‍රපටයක් නිර්මාණය කරනකොට ඒ ගැනත් හිතලා විශිෂ්ට විදිහට නිර්මාණය කළොත් අපේ රටටත් ආඩම්බරයක්.
නිෂ්පාදනයකදි ඔබ බලන්නේ ලාභයද එහෙම නැත්නම් නිර්මාණයේ ගුණාත්මක බාවයද?
විශේෂයෙන්ම ගුණාත්මක භාවය වැදගත්. මම පරිපූර්ණවාදි කෙනෙක් කිව්වොත් වැරදි නැහැ. කොච්චර වෙලා ගියත්, කීයක් ගියත්, නිර්මාණය අතිවිශිෂ්ට විය යුතුයි. නමුත් පාඩුවට කවුරුත් වැඩකරන්න කැමති නැහැනේ. ඉතින් ඒ පැත්තත් මම බලනවා. හැබැයි මගේ මුලික අවධානය වැඩිපුරම යොමු වෙන්නේ නිර්මාණයේ ගුණාත්මක භාවය පැත්තට. බයෝ කියන්නේ අපේ පළමුවැනි වැඩේ. ඉතින් ඉදිරියට තවත් නිර්මාණ රැසක් නිෂ්පාදනය කරන්න අපි සැළසුම් කරමින් ඉන්නවා.
මේ ආපු ගමනේ ඔබට ස්තූති කරන්න තියෙන්නේ කාටද?
පළමුවෙන්ම මගේ දෙවියන් වහන්සේට සහ දෙමව්පියන්ට ස්තූති වන්ත වෙනවා මට හැකියාවන් ලබාදීම ගැන. දෙවනුව මගේ දුකට සැපට ඉන්න මගේ මහත්තයා රංජීත්, ඔහු හැමදාම මගේ හයියට හිටියා. ඊළඟට මට මේ අවස්ථාව ලබාදුන් ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂකතුමාටත්, බයෝ තිරරචනය කරපු ප්‍රියනාත් විධානපතිරණ මහතාටත්, ස්වර්ණවාහිනී නාළිකාවටත්, මාව හැමදාම දිරිමත් කළ මගේ පවුලේ අය සහ මිතුරන් සැමටත් ස්තූතිවන්ත වෙනවා.
බුද්ධික සේනාධීර