’’බයක් නැහැ භාණ්ඩය ගෙනාවොත් ඇති’’ කියලයි ඔහු ලංකාවෙන් ගියේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q පසුගියදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි මහාචාර්ය පණ්ඩිත් ජෝයිදීප් ගෝෂ් සහභාගි වුණු සංගීත ප්‍රසංග මාලාවට තබ්ලා වාදනයෙන් දායක වෙන්න වාද්‍ය නිපුන් පේෂලට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි සරෝද් වාදක මහාචාර්ය පණ්ඩිත් ගෝෂ්ගේ ප්‍රසංග මාලාවට මට ආරාධනා කළේ කෞෂල්‍යා වික්‍රමසිංහයි. ඇය Siddhivinayak Cine Arts හි සභාපතිනියයි. ඉතින් ඇගේ ඒ ආරාධනාව මම ඉතා සතුටින් බාරගත්තා.

Qපණ්ඩිත් ජෝයිදීප් ගෝෂ් සමඟ ඔබට ප්‍රසංග කිහිපයක්ම පවත්වන්න අවස්ථාව ලැබුණා?

ඔව්.. පණ්ඩිත් ගෝෂ් කියන්නෙ ජාත්‍යන්තර සංගීතඥයෙක්. ඔහු හොඳ ගුරු ඇසුරකින් පැවත එන දක්ෂ නිර්මාණවේදියෙක්. ඉන්දියාවේ සිටින දක්ෂ ප්‍රවීණ නිර්මාණවේදියෙක් එක්ක වාදනය කරපු වගේම කරන, ඉතා ප්‍රවීණ නිර්මාණවේදියෙක්. ඔහු ඉතා දක්ෂ වාදකයෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් ලංකාවට එන්නෙ ලොකු අවදානමක් අරගෙනයි. ඔහුට ගැලපෙන තබ්ලා වාදකයා සම්බන්ධයෙන් ඔහු තුළ යම් තිගැස්මක් මෙරටට එද්දී තියෙන්න පුළුවන්. ඇතැම් ජාත්‍යන්තර නිර්මාණවේදීන් විදෙස් රටවල ප්‍රසංගවලට යද්දි ඔවුන්ගේම වාද්‍ය කණ්ඩායමක් අරගෙන යනවා. නමුත් පණ්ඩිත් ගෝෂ් තබ්ලා වාදනය සම්බන්ධයෙන් මා තුළ යම් විශ්වාසයක් තියාගෙන මෙරටට පැමිණියා. ඒ විශ්වාසය ඔහු තුළ ඇති කරලා තිබුණේ කෞෂල්‍යා වික්‍රමසිංහ මෙනෙවියයි. පණ්ඩිත් ගෝෂ්ව මට මුලින්ම ගුවන් තොටුපළේදි මුණගැහුණා. ඒ පළමු මුණගැහීමෙන් පසුව අපි කතා කිරීමත් එක්ක ඔහු මගේ වාදනය සහ මා සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති කරගත් බව මට තේරුණා.

Qඒ හමුවීමෙන් පසුව පෙර පුහුණුවීමක් තිබුණද?

නැහැ. එහෙම පෙර පුහුණුවීමක් තිබුණේ නැහැ. වේදිකාවට ගොඩවැදිලා වාදනය කරන්න පටන් ගත්තට පස්සේ තමයි මොනවද ඊළඟට වෙන්නෙ කියලා තීරණය කළේ. ඇත්තටම එහෙම පෙර පුහුණුවීම් කිසිවක් තිබුණේ නැහැ. මේ ඔහු මුණගැහුණු පළමු අවස්ථාවයි. පළමු ප්‍රසංගය පැවැත්වුණේ කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදි. පළමු ප්‍රසංගයේ පළමු වාදනයෙන්ම ඔහුගෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඔහු ඉතා හොඳ ප්‍රතිචාරයක් මුහුණෙන් මට ලබා දුන්නා. ඒ ගැන මටත් සතුටක් දැනුණා. ඒ මුහුණේ පෙනුමත් එක්ක ඒ ඉරියව්වලින් මා ගැන ඔහු තුළ විශ්වාසයක් ගොඩනැගුණා කියලා මට දැනුණා. ඒ පළමු ප්‍රසංගය වගේම ඒ හැම ප්‍රසංග මාලාවක්ම ඉතා සාර්ථක වුණා. අපි මේ ගමනෙදි ප්‍රසංග කිහිපයක්ම පැවැත්වුවා. ඒ අතර රුහුණු, පේරාදෙණිය, කැලණිය වගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාලවලත් ප්‍රසංග පැවැත්වුවා. ඒ හැම ප්‍රසංගයක්ම සාර්ථක වුණා. ඔහු ඇත්තටම හොඳ මනුස්සයෙක්. හොඳ ගුරුවරයෙක්. ඔහු එක්ක වාදනය කරද්දි ඔහු හොඳ ගුරුවරයෙක් කියලා මට දැනුණා. වාදනය කරද්දි වගේම ඔහු එක්ක කතා කරද්දි ඔහුගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තිබුණා. එවැනි ජාත්‍යන්තර නිර්මාණ‍වේදියෙක්ට වාදනයෙන් දායක වෙන්න ලැබීම මට ලොකු සතුටක්. නැවතත් ඔහු ලංකාවට එන්න නියමිතයි. ඒ ගමනෙදි ''බයක් නැහැ භාණ්ඩය ගෙනාවොත් ඇති'' කියලයි ඔහු ලංකාවෙන් ගියේ. ඉතින් එවැනි නිර්මාණකවේදියෙක් ලංකාවට පැමිණීමත් අපි ලබපු ජයග්‍රහණයක්. එවැනි නිර්මාණවේදින්ට වාදනයෙන් දායක වෙන්න ලැබීමත් මට ලොකු සතුටක්. ඒ අවස්ථාව ලබා දුන්න කෞෂල්‍යා වික්‍රමසිංහට ස්තූති කරන්න ඕනෙ.

Qපේෂල.. පණ්ඩිත් ගෝෂ් ඔබත් එක්ක මෙරට විශ්වවිද්‍යාල කිහිපයකට ගිහින් ප්‍රසංග පැවැත්වුවා. විශ්වවිද්‍යාල දරුවන්ගේ ප්‍රතිචාර කොහොමද?

ඒ හැම විශ්වවිද්‍යාලයකින්ම ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. සමහර දරුවන් ඇවිත් පණ්ඩිත් ගෝෂ් එක්ක ගත කළා. ඔහු ගෙනාපු වාද්‍ය භාණ්ඩය අපිට නිතරම දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා විශ්වවිද්‍යාල දරුවන් ඒ වාද්‍ය භාණ්ඩය දිහා ආසාවෙන් බලාගෙන හිටපු අවස්ථා තිබුණා. ඒ වාද්‍ය භාණ්ඩයේ හඬට හැම සිසුවෙක්ම ඇළුම් කළා. ඒක හරි අපූරු අත්දැකීමක්. ඇත්තටම පණ්ඩිත් ගෝෂ් පවා ඒ හැම විශ්වවිද්‍යාල ප්‍රසංගයකටම සහභාගි වුණේ හරිම කැමැත්තෙන්. ඔහුට වගේම විශ්වවිද්‍යාල දරුවන්ටත් මටත් ඒක අපූරු අත්දැකීමක්.

Qඔය අතරෙදි අපේ රට ගැන, අපේ කෑම බීම ගැන ඔහු ඔබත් එක්ක කතා කළාද?

ඔව්.. පණ්ඩිත් ගෝෂ් අපේ රටට හරි ආදරෙයි. මේ ගහකොළට, මේ දේශගුණයට වගේම මේ ආගන්තුක සත්කාරවලට ඔහු ආසා කළා. කෞෂල්‍යා වික්‍රමසිංහ ඇතුළු පිරිස ඔහුට උපරිම සත්කාර ලබා දුන්නා. පණ්ඩිත් ගෝෂ් අපේ ආහාරපානවලට කැමතියි. කොහොමත් එයාලා මස් මාළු සාමාන්‍ය පරිදි කන අයයි. ඒ නිසා ආහාරපාන එයාට ගැටලුවක් වුණේ නැහැ.

Qනැවතත් ඔහු ලංකාවට එන්න නියමිතයි. ඉදිරි ගමන ගැන පේෂල එක්ක කතා කළාද?

නැහැ. එහෙම දීර්ඝ කතාබහක් වුණේ නැහැ. ලංකාවට එනවා කිව්වා. මෙවර වගේම ඒ හැම කටයුත්තකදිම කෞෂල්‍යා වික්‍රමසිංහ ඔහු එක්ක කතාබහ කරලා ඉදිරියේදි කියාවි.

දිශානි