බෙත්මි නිහිංසාගෙන් එක්තරා ප්‍රේමයක්
දෑස් අග පිපි කඳුළු සඟවා
මගේ මුවගින් සිනහ දල්වා
අමාවක බැස සඳ නැගෙන දින
තරුවකින් මා හොරෙන් ඇසුවා
මේ එක්තරා ප්‍රේමයක මුල්ම පද කිහිපයයි.
මේ පද සේම තවත් පද ගණනාවක් පුරාවට දැවටුණු එක්තරා ප්‍රේමය අපට සමීප වන්නේ විශාරද බෙත්මි නිහින්සා වීරතුංග නමැති යොවුන් ශිල්පිනියගේ ප්‍රේමණීය හඬිනි.
චිරාත් සේනිය සිරිවර්ධන ලියූ මේ එක්තරා ප්‍රේමයක් සංගීතවත් කළේ අකිල බුවනෙකය.
මේ බෙත්මිගේ කුළුඳුල් ගීතය නොවේ. නුගේගොඩ සුජාතා විද්‍යාලයෙන් ජෛව විද්‍යා විෂය ධාරාව උගෙන මාලඹේ හොරයිසන් විශ්වවිද්‍යාලයෙන් උපාධිය සමත් කරගත් බෙත්මි සංගීතයට ඇලුම් කළේ පුංචි දවසේ පටන්ය.
අමිතා වැදිසිංහගෙන් සංගීතයේ ‘ස’ යන්න ඉගෙනගත් ඇය විශාරද දීපිකා ප්‍රියදර්ශනීගේ සෞන්දර්ය ශාලිකාවට බැඳී විශාරද විභාගයට මුහුණ දුන්නාය. ගායනය මෙන්ම වයලීනය හා ඕගනයද ගිටාරයද වයන්නට සමත් ඇය කසුන් කල්හාර යටතේ කටහඬ පුහුණුවද උගත්තාය. දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩ සටහන් සීසන් 8ට සහභාගී වූ ඇය 56 වැනියා දක්වා ඉදිරි ගමනක් ගියාය.
ඔය අතර 2019 වසරේදී සිය කුළුඳුල් ගීතය ගායනා කරන්නට ඇයට වාසනාව ලැබිණි. ඒ ජයන්ති මාලා පෙරේරා ලියා ලහිරු පෙරේරා සංගීතවත් කළ ගීතයකි. එය සඳපහන මෙන් ලෙස නම් කර තිබිණි.
මා ගයනා හැම මොහොතක් පාසා
හිත මගෙ සැනසෙනවා
නොකියා හෙලනා සුසුමන් ගානේ
ඔබ මට ළංවෙනවා
ලෙසින් මේ ගීතය ඇරඹේ
බෙත්මිගේ හඬින් රස ගැන්වුණු දෙවැනි ගීතය, ලක්මාල් ප්‍රනාන්දු රචනා කළ බයිලාවකි. මලීෂ දක්ෂිණ සංගීතවත් කළ මේ බයිලාව ආදර මගේ බාරි ලෙසින් නම් කර තිබේ.
එකම රාමුවකට කොටුවන්නට අකමැති බැවින් විවිධ ආරේ ගීත ගැයීමට උත්සාහ කරන බෙත්මි, ඇගේ එක්තරා ප්‍රේමයක් නම් වන නවතම ගීතය ගැන කියන්නේ මෙවැනි කතාවකි.
මේ ගීතය මගේ සංගීත ජීවිතයට හැරවුම් ස්ථානයක් වේවි.