පවුලක යහපත් ගමනක් යාමට දෙන්නා සාමුහිකව ගන්න ඒ තීරණ වැදගත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එදා සිරස සුපර් ස්ටාර් රියැලිටි වේදිකාවෙන් කරළියට ආ ප්‍රදීප් රංගන, ඉන් වසර කීපයකට පසු, එනම් මෙදා රියැලිටි වේදිකාවේදී හමුවන්නේ රියැලිටි විනිසුරුවරයකු ලෙසය. නැතහොත් පුහුණුකරුවකු ලෙසය. ඒ සිරස ද වොයිස් කිඩ්ස් (Voice Kids) ළමා රියැලිටි වැඩසටහන ඔස්සේය. මෙරට රියැලිටි වේදිකාවෙන් සංගීත ලෝකයට දායාද වූ දක්ෂයකු වන ප්‍රදීප් රංගන වෛද්‍යවරයකු බව ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ඉතින් අද සිරස වොයිස් කිඩ්ස් සමඟ අප හමුවට එන වෛද්‍ය ප්‍රදීප් රංගනගේ ජීවිතයේ අලුත් විස්තර සහ තවත් දේ ගැන අපි කතා කරමු. 

කොහොමද මේ දිනවල ජීවිතය ගෙවෙන විදිය? 

මේ දිනවල සිරස වොයිස් කිඩ්ස් වෙනුවෙන් තමයි ප්‍රධාන වශයෙන් කාලය වෙන් කරලා තියෙන්නේ. ඊට අමතරව සංගීත කටයුතු වගේම සංගීත නිර්මාණ කටයුතු වැඩිදුර කෙරෙනවා. ඊට අමතරව අනෙක් වෘත්තීය කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යනවා. 

සංගීත සහ වෛද්‍ය වෘත්තිය අතරින් ප්‍රදීප් වඩා කැමති සංගීතය වෘත්තිය භාර ගැනීමටද?

මේ දෙකම නැතුව මට ජීවත්වෙන්න අමාරුයි. 

ඒ විදියට ජීවිතය කරගත්ත ප්‍රදීප්ගේ පුංචි පවුලේ විස්තර කියමු. 

මගේ බිරිඳ චතුරිකා ප්‍රසාදිනී. අපි දෙදෙනගෙ දියණිය ශාවරී යශෝර්යා. බිරිඳ කටයුතු කළේ ගුරුවරියක විදියට. ඒත් මගේ වැඩ කටයුතුවල තිබූ කාර්ය බහුල බව නිසා එයා එයාගේ වෘත්තීයෙන් ඉවත් වුණේ අවුරුදු කීපයකට කලින්. දැන් මගේ වැඩ වලට උදවු කරමින්, ගෙදර වැඩ සහ දියණියගේ වැඩ ගැන සොයා බලමින් කටයුතු කරන හොඳ ගුණයහපත් බිරිඳක්. 

ප්‍රදීප් තවම පදිංචිය රත්නපුරේද?

වැඩ රාජකාරිවලට ඇති පහසුව නිසා මේ දිනවල පදිංචි වෙලා ඉන්නේ කිරිබත්ගොඩට ආසන්නව. රත්නපුරේ නිවස තියෙනවා. 

ෆැමිලි ලයිෆ් එක කොහොමද දැනෙන්නේ?

වගකීම් සහිත දෙයක්. සතුට වගේම වගකීම තියෙන තැනක්. ජීවිතයේ පරිණත බව එක්ක සහ ලබන අත්දැකීම් එක්ක බලද්දී මිනිසකුගේ ප්‍රගමනයට හොඳ ෆැමිලි ලයිෆ් එකක් බලපානවා. තමන්ගේ දියුණුවට, සතුටට වගේම ජීවිතය බෙදාහදාගන්න ෆැමිලි ලයිෆ් එක වැදගත් වෙනවා. 

සැමියකුගේ භූමිකාවේ දී ඔබට හිතෙන විදියට ඔබ මොන විදියේ කෙනෙක්ද?

ෆැමිලි එකට අවශ්‍ය කරන අවශ්‍යතා ටික උපරිමයෙන් ඉටු කරන්න මහන්සිවෙන සැමියෙක් විදියට තමයි මට මාව දැනෙන්නේ. බිරිඳ ඒ ගැන මට කියනවා. මොකද අපි දෙන්නා සාකච්ඡා කරලා තීරණ ගන්නෙ. තනි තීරණවලට වඩා සාමුහික තීරණ ගන්නේ. පවුලක යහපත් ගමනක් යාමට දෙන්නා සාමුහිකව ගන්න ඒ තීරණ වැදගත්. විශේෂයෙන්ම කලාකරුවකුගේ ජීවිතය ඇතුළේ මා ගැන බිරිඳට වගේම මට බිරිඳ ගැන හොඳ වටහා ගැනීමක් තිබීම හරි වැදගත්. මගේ පැත්තෙන් ඇයට මා කෙරෙහි ඇති විශ්වාසය රැකියාව වගේම ඇයට හිමි විය යුතු ගෞරවය රැකීමට, ආරක්ෂා කිරීමට මට විනයක් තිබිය යුතුයි. වෘත්තීමය ජිවිතයට වැඩි කාලයක් යෙදවීමට සිදුවේ නම් පවුල වෙනුවෙන්ද ඒ ප්‍රමාණයම සිදුවිය යුතුමයි. 

පියකුගේ භූමිකාවේදී?

ජීවිතය දිනෙන් දින ඉගෙනගන්න තියෙන දෙයක්. ඒ අත්දැකීම් එක්ක දියණියක සිටින මට ලොකු වගකීමක්  තියෙන්නේ. ඒ ලොකුයි කියන වචනය ඇතුළේ කතා කළ හැකි දේ බොහෝමයි. වර්තමාන සමාජයේ දරුවකු නිර්මාණය කරද්දි, ඒ දරුවා නිවැරදි ලෙස නිර්මාණය කිරීමට නම් අපට බොහෝ කැප කිරීම් කරන්නට වෙනවා. ඒ වගේම දරුවාගේ මානසිකත්වය නිවැරදිව තේරුම් ගෙන දරුවා මෙහෙයවීම කළ යුතු වෙනවා. සමාජය දිහා වෙනස් විදියට බලන, සමාජයට හිතැති දරුවකු බිහි වන්නේ එවිටයි. එයාලගේ ජීවිතයට ඉඩ දෙමින් - එයාලා නොදන්නා කොටස් ටික අපි වටහා දිය යුතුයි. තේරුම් ඇති කාලය එනතෙක් එසේ කළ යුතු වෙනවා. දරුවාට නිසි මග පෙන්වන මවක – පියකු විය යුතුයි. 

මේ සියලු දේ අතරේ ගෙදරදී කෑමක් - බිමක් එහෙම හදා ගන්න පුළුවනිද ප්‍රදීප්ට?

අන්න ඒක තමයි මට බැරිම දේ. මගේ වයිෆ්ට ඉතාම රසට උයන්න පුළුවනි. එයා ඒ වැඩේ කරන්නේ ඉතාම ආසාවෙන් සහ උනන්දුවෙන්.

ඇය හදන රසවත්ම වට්ටෝරුව? 

ඇයට ඕනෑම කෑමක් රහට හදන්න පුළුවනි. අපේ ආහාර – පාන වලට අමතරව පීසා වගේ දේ පවා රසට හදන්න පුළුවනි. ඒ විදියට කෑමක් හදලා අනෙක් අය එය රසයි කියලා විඳින හැටි දැන ගන්න එයා උනන්දුයි. ඒ කියන්නේ ඒ වැඩේ ආසාවෙන් සහ කැමැත්තෙන් කරන නිසයි. ඒක ආර්ට් එකක් විදියට ඇය කරන්න කැමතියි. 

අද ඔබට ඇය ගැන තියෙන්නේ වඩාත් ආදරණීය, ආඩම්බර, ගෞරවණීය යන දේ අතරින් මොන වගේ හැඟීමක්ද?

ඔය සියලු දේ මිශ්‍ර වෙච්ච හැඟීමක් තියෙන්නේ. මම හරි ආසයි ඒ වචන ටිකට. ඒ ඔක්කෝම මට ඇය කෙරෙහි තියෙනවා. ඇය වගේ කෙනෙක් ලැබීම ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. විවාහ වූ දා සිට කරන්නෙ අපි - අපිව හඳුනාගැනීමට උත්සාහ කිරීමනේ. 
යම්කිසි තැනකදී අපට ඒ තේරුම් ගැනීම කළ හැකි වෙනවා. මේ කිව්ව හැඟීම් තුනම ඇති වන්නේ එවිටයි. මට ඇය කෙරෙහි ඒ හැඟීම තමයි තියෙන්නේ. 

කිඩ්ස් වොයිස් ගැන ඇය කොහොමද කියන්නේ?

මෙය ළමයින්ගේ වැඩසටහනක් නිසා ඒ වගේ දෙයක් බාර ගනිද්දී හොඳට හිතලා තීරණයක් ගන්න වෙනවා. මේ වගේ ළමයින්ගේ වැඩ සටහනක් එනම් වොයිස් කිඩ්ස් ලංකාවේ පළවැනි වතාවට කෙරෙන්නේ. ජාත්‍යන්තර රියැලිටි මාලාවකට අයත් හැඩයක්. ඒත් අපට අපේ සංස්කෘතියට සහ රටේ හැඩයට අනුව කරන විදිය අභියෝගයක්. ඉතින් ඒ වටහා ගැනීම අවබෝධ කරගෙන මේ වැඩ සටහනට එක්වීමට ලැබීම ගැන අද මම සතුටුවෙනවා. බිරිඳ පවා මේ ප්‍රෝග්‍රෑම් එක මුල සිට නරඹන්​ෙන් අලුත් දරුවන්ගේ දක්ෂතා වගේම විනිශ්චයට එක්ව සිටින ශිල්පීය දායකත්වය කෙරෙහි සිත් ඇද ගැනීමක් තියෙන නිසයි. 

ප්‍රදීප් මේ කිඩ්ස් වොයිස් ගැන හිතන්නේ මොන විදියටද?

මේක ඇත්තටම අභියෝගයක්. කෝච් (Coach) කියන සංකල්පය තමයි මේ ළමයින්ගේ දක්ෂතා හඳුනාගන්නෙ. විනිසුරු කියන දේට වඩා මේ වැඩේදි තියෙන්නේ කෝච් කිරීමයි. ඒ වචනයේම ලොකු තේරුමක් තියෙන්නේ ජජ් (Judge) කියන වචනයට එහා පුහුණුකරුවකුට තියෙන වගකීම වැඩි නිසයි. මේ දරුවන්ව කණ්ඩායමට ගත් පසුව, ඒ දරුවන්ට එයාලගේ සිත් නොරිදා යා යුතු මග ගැන අවශ්‍ය දේ ගැන කියා දීමට සිදුවෙනවා. එයාලව තේරුණේ නැතත් අපට සිද්ධවෙනවා එයාලගේ සිත් නොරිදා ඒ-ගැන කියා දෙන්න. එතැනදී අපට අපගේ මමත්වය පැත්තකට දාලා කටයුතු කරන්න වෙනවා. මොකද ඒ මේ ළමයින් තමයි අපේ රටේ හෙට දවසේ අනාගතය. මම ආවෙත් මේ වගේ වේදිකාවකින්. ඒ නිසා මේ හැඩය ගැන මට වැටහීමක් තියෙනවා. මෙතැනට ඇවිල්ලා ළමයි ගීත ගැයීම විතරක්ම නෙවෙයි තරගය වෙන්නේ. 

එයාලගේ පූර්ණ මානසිකත්වය තේරුම් ගෙන අගය කිරීම නිසා තමයි එයාලගේ මනස විවර වෙන්නේ, ධෛර්යවන්ත වෙන්නේ. ඉතින් මේ දරුවන් එක්ක කරන ගනුදෙනුව ලොකු වගකීමක්. එයාලගේ මනස වට්ටන්න අපට බැහැ. ඒක් තේරුම්ගෙන තමයි හර්ෂණ උරේෂා, නදිනි සහ මම දරුවන්ගේ සිත් නොරිදා - එයාලගේ මනසට සුබවාදී හැඟීමක් දෙන්න උත්සාහ කරන්නේ. වයසේ හැටියට මේ ළමයින් ඉතාම දක්ෂයි. දරුවෝ ඉස්සරහා අපට අපේ මමත්වය පැත්තකට දාලා දරුවෝ වෙනුවෙන් නිහතමානීව කටයුතු කළ යුතු වෙනවා. සමහර දක්ෂතා දැක්කාම අපි ඉබේම අසුනෙත් නැගිට්ටවෙනවා. එච්චරට ළමුන් දක්ෂයි. 

කොහොම වුණත් රියැලිටි ෂෝ සඳහා එන තරගකරුවන් ප්‍රමාණයක් මේ තරමටම ලංකාවේ සිටිනවද? සාපේක්ෂව ගත්තොත් දක්ෂතා ඇති පිරිස අඩුවීමක්ද තියෙන්නේ?

අඩුවීමක් නම් මම දකින්නේ නැහැ. අපි මේ වේදිකාව ගනිමු. මෙතැන 188 ක් තේරිලා තමයි මේ විදියට මෙම කිඩ්ස් වොයිස් නියෝජනය කරන්න අවස්ථා හිමිකර ගත්තේ. ලංකාවෙන්ම ගත්තොත් විශාල පිරිසක් අතරින් තමයි මේ පිරිස තේරුණේ. මෙයාලා හරිම දක්ෂයි සහ හොඳ අවබෝධයක් ඇති අයයි. 

සඳුන් ගමගේ