ප්‍රසංග වේදිකාව තුළ අපි නිතරම වෙනස් දෙයක් කරන්න උත්සාහ කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රසංග වේදිකාව තුළ නර්තනයෙන් හැඩ කළ දක්ෂ නර්තන කණ්ඩායමක් තමයි සුබා විත් කැමිලියා කියන්නේ. කුරූණැගල පුරවරයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසි මෙම නර්තන කණ්ඩායම මෙහෙයවන්නේ වසර ගණනාවක් නර්තන ක්ෂේත්‍රය තුළ කටයුතු කළ පරිපුර්ණ දක්ෂ නර්තනවේදිනියක් වූ  සුබා චාන්දනිය.

සුබා විත් කැමිලියා හි ආරම්භය සිදුවුණේ කොහොමද?

නර්තන කණ්ඩායමක් හදන්න කියලා එහෙම මගේ ලොකු අදහසක් තිබුණේ නැහැ. මම වෙන කෙනෙක්ගේ නර්තන කණ්ඩායමක තමයි වැඩ කළේ. පස්සේ කාලයත් එක්ක නර්තනය ගැන ලැබුණ අත්දැකිම් සමග මට හිතුණා මගේම කියලා නර්තන කණ්ඩායමක් පටන් ගන්න ඕනා කියලා. ඔය අදහස පෙරදැරි කරගෙන තමයි සුබා විත් කැමිලියා කියන නර්තන කණ්ඩායමේ ආරම්භය සනිටුවහන් වෙන්නේ.

කණ්ඩායමට නර්තන ශිල්පිනියන් එකතු වුණේ?

වැඩේ පටන් ගන්න කොට එහෙම නිත්‍ය වශයෙන් කියලා මේ කණ්ඩායමට සාමාජිකාවන් හිටියේ නැහැ. මුලින්ම මේ කණ්ඩායම මම හැදුවේ මමයි මගේ හොඳම යාළුවෝ දෙන්නත් එක්ක එකතු වෙලා. පස්සේ තමයි ඉතුරු සාමාජිකාවන් ටික මේ කණ්ඩායමට සම්බන්ධ වුණේ. දැනට සුබා විත් කැමිලියා නර්තන කණ්ඩායමට සාමාජිකාවන් හය දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා මා සමග.

නර්තනයේ යෙදුණ පළමුවැනි ප්‍රසංගය මතකද?

ඔව්, සුබා විත් කැමිලියා පළමු වරට වේදිකා ගත වුණේ පසුගිය මැයි මාසේ හයවැනිදා රත්නපුරේ පැවැති ප්‍රසංගයකින්. ඒ ප්‍රසංගය නම් කණ්ඩායමේ හැමෝටම අමතක වෙන්නේ නැහැ. ප්‍රසංගය තිබුණේ හරියටම වෙසක් පෝය දවසේ. අපි හරියටම වෙලාව තියාගෙන ගියා ප්‍රසංගයට සහභාගි වෙන්න. නමුත්, අතරමඟ තිබුණ දන්සැල් වල පෝලිම් නිසා අපිට හිතුවටත් වඩා වෙලාවක් ගියා ප්‍රසංගය තියෙන තැනට යන්න. ප්‍රසංගය සංවිධානය කරන අය අපිට කතා කරනවා අපි නිසා ප්‍රසංගය ආරම්භ කරන්න විදිහක් නැහැ කියලා. පස්සේ අපි යන අතරේම වැන් එකේ ඉඳලා ඇඳුම් මාරු කළා. මුලින්ම තිබුණේ පූජා නැටුම. ඒ ඇඳුමත් ඇඳගෙන පිට්ටනිය මැදින්ම අපි ඇවිඳගෙන ගියා. අනික එදා හොඳටම වැහැලා මඩ ගොඩයි මුළු පිට්ටනියේම. කොහොම හරි මඩ පිටින්ම ගිහින් පළවෙනි නැටුම කළා. පළවෙනි ප්‍රසංගයේදීම ඉතින් හොඳම අමතක නොවන අත්දැකිමක් ලැබුණා අපිට.

සුබා විත් කැමිලියා නර්තන කණ්ඩායම දැන් ජනප්‍රියද?

මගේ නර්තන කණ්ඩායම ආරම්භ කළේ ගිය මැයි මාසයේ. ඒ මාසේ අපිට ලැබුණේ රත්නපුරේ හා බුළුවල ප්‍රසංග දෙකක් පමණයි. සමාජ මාධ්‍යයන් හරහා මම පොඩි ප්‍රචාරයක් යැව්වා අපේ නර්තන කණ්ඩායම ගැන. විශේෂයෙන්ම අපි නර්තනයේ යෙදුණ පොඩි විඩියෝ ටිකකුත් දන්න කියන කට්ටියට යැව්වා. කොහොම හරි සුබා විත් කැමිලියා කණ්ඩායම සමාජ මාධ්‍යයන් හරහා ජනප්‍රිය වුණා. මේ ගෙවි යන මාසේ පුරාවටම අපිට වැඩ ලැබිලා තියෙනවා. එළිමහන් ප්‍රසංග පමණක් පහළොවකට එහා ප්‍රමාණයක් ඒ අතර තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි පොඩි කාලයක් තුළදි මේ වගේ අලුතින් ආරම්භ කරපු අපේ නර්තන කණ්ඩායමේ සාර්ථකත්වය දැකලා.

එළිමහන් ප්‍රසංග සඳහා පමණක්ද ඔබේ නර්තන කණ්ඩායම සහභාගි වෙන්නේ?

නැහැ එළිමහන් ප්‍රසංගවලට පමණක් අපි සීමා වෙලා නැහැ. නර්තන කණ්ඩායමක් විදිහට සහභාගි විය යුතු සියළුම උත්සව වලට අපි සහභාගි වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් විවාහ මංගල උත්සව ප්‍රිය සම්භාෂණ උත්සව මේ හැම දෙයකටම වගේ සුබා විත් කැම්ලියා නර්තන කණ්ඩායම නර්තනයේ යෙදෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට නර්තන කලාව තුළ වෙනසක් ඇති කරන්න. මේ දිනවල ඊට අවශ්‍යය සැළසුම් සකස් කරමින් යනවා. ප්‍රසංග වේදිකාව තුළ අපේ පැවැත්ම හදාගන්න නම් අපි නිරන්තරයෙන්ම අලුත් දේවල් කළ යුතුයි කියලා මම හිතනවා.

ඔබේ නර්තන කණ්ඩායම සම්බන්ධ කරගන්නේ කොහොමද?

077 531 3900 අංකයට කතා කරලා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක තමයි අපි දැන් භාවිතා කරන දුරකතන අංකය. ඊට අමතරව අපේ කැමිලියා ඩාන්සින් ගෘෆ් කියලා ෆේස්බුක් පිටුවවක් තියෙනවා. ඒ හරහා කෙටි පණිවිඩයක් හෝ ඇමතුමක් දීලා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ එක්කම මගේ ෆේස්බුක් පිටුව තියෙනවා සුබා චාන්දනි කියලා. මේ ඕනැම එකකින් අපිව සම්බන්ධ කරගෙන අපේ නර්තන කණ්ඩායමේ සියලු තොරතුරු දැනගන්න පුළුවන්.

බුද්ධික සේනාධීර