ප්‍රවීණ ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක උපන් දිනය දා එළියට ආපු පැරණිතම ඡායාරූප පෙල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගායන ලොව කිරුළු පැළඳි රූකාන්ත ගුණතිලකයන්  ඊයේ සිය උපන්දිනය සමරනු ලැබුවා. කලාකරුවන්ගේ උපන්දින අමතක නොකර සටහන් තබන ආදරනීය දයාන් විතාරණයන් ඔහුට අපූරු සුබපැතුමක් තබා තිබුණා. ඒ සොඳුරු රූ එකතුවක් ද සමඟ.

හිතාදර බේබාට සුවඳ දැනී දැනෙන රූ කාන්තියෙන් සඳලේඛාවගේ සොමිගුණ සුසැඳි උපන්දිනක්. ජනප්‍රිය සහ ප්‍රවීණ ගායනවේදී, සංගීත අධ්‍යක්ෂ සහ වාග්ගේයකාර රූකාන්ත ගුණතිලක අද දින සිය උපන්දිනය සමරයි.

වසර 28 කට අධික කාලයක සිට මා ඉතා සමීපව හඳුනන රූකාන්තට මා සෙනෙහසින් අමතන්නේ "බේබා" යන ආදර නාමයෙනි. ඔහුගේ ජනප්‍රිය ගීත කොතෙක් තිබේ දැයි සිතාගත නොහැකි තරම් ය.
 
 "සප්ත කන්‍යා" චිත්‍රපටය වෙනුවෙන් අජන්තා රණසිංහයන් ලියූ "සුවඳ දැනී දැනී දැනෙනවා........." ගීතයෙන් සිනමා පසුබිම් ගායනයේ ස්වකීය අනන්‍යතාව සකසාගත් රූකාන්ත අදත් එදා මෙන්ම එකසේ ජනකාන්ත ගායකයෙක් බව නොරහසකි. "අංගනාවෝ.......", "ඉඳුනිල් ගඟුලැල්........", "දවසක් දා හැන්දෑවක.......", "ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ.......", "අපේ පොතේ ලියා ඇති.......", "බොල් පිණි වෑහෙන මේ යාමේ.......", "කඳුළු බිඳක් මා වෙනුවෙන්.........", "මා හඬවලා හදවත සලා........", "නිහඬ මාවතේ පාලු නිවහනේ.........", "සඳේ ඔබ ඇයිද මේ යාමේ.....", "සඳ පාන වාගේ දිලෙන්නේ........" සහ "සඳ බැස ගිය තැන නෑ........" වැනි ගීත ඔහුගේ ගීතාවලෝකනයේ සර්වකාලීනව ජනප්‍රිය ගීත කිහිපයකි.

ප්‍රවීණ සහ ජනප්‍රිය ගායිකා චන්ද්‍රලේඛා පෙරේරා සමග අතිනත ගත් ඔහුගේ දියණියන් වන රයිනි සහ වින්ඩි ද අද්‍යතනයේ රංගන සහ ගායන කලා මාධ්‍යයන්හි නොමද දස්කම් දක්වන ප්‍රකට ප්‍රාසාංගික කලා තරු ය. 
 
තෝරාගත් කාලයන්හි රූකාන්ත කැදල්ලෙන් එළිදක්වන ප්‍රසංගයන් හිස්තැනක් නැති හිස් ගොඩකින් පිරී ඉතිරී යන්නේ ඔවුන් දිනූ නොමද ජනාදරය නිසාවෙන් ම ය. ඔහුගේ විවාහ මංගල ඡායාරූප ද මවිසින් ගත් අතර ඔහුගේ ඉකුත් කාලයේ දේශපාලන කටයුතු සඳහා අවැසි සේයාරූ ගනු ලැබුවේ ද මවිසිනි. කෙසේ නමුදු ඔහුගේ සහ ඔහුගේ පවුලේ සුවිසෙස් මතක සැමරුම් රැසක් මගේ කැමරා කාචයේ සටහන් වී තිබීම සතුටකි. 
 
රූකාන්ත විසින් ක්ෂෙත්‍රයේ බොහෝ දුහුනන් හට අත දුන් බව බොහෝ දෙනෙක් විසින් අඩුවෙන් කතා කරන මාතෘකාවකි. පද රචකයෙක් සහ තනු රචකයෙක් ලෙස ඔහු ක්ෂෙත්‍රයට පිවිසෙන බොහෝ දෙනෙකු හට පළමු ගීතයෙන්ම ජනප්‍රිය වීමේ අවකාශය සලසා දුන් දක්ෂයෙකි. එමෙන්ම මෙරට වාග්ගේයකාර පරපුරෙහි රූකාන්තට හිමි වන ස්ථානය අද්විතීය වන්නේ ඔහුගේ පද රටාවන් එකට එකක් වෙනස් මෙන්ම ඒ පද මාලා අතර බහුතරය අතිශය අරුත්බර මෙන්ම රසයෙන් පිරිපුන් ගීත වීම නිසාවෙන් ම ය. අදටත් සිනමාවේ වුව ද සක්‍රීයව ගීත ගායනයෙන් එක්වන ඔහු රියැලිටි වැඩසටහන් විනිසුරුවරයෙකු ලෙසින් ද පසුගිය කල දක්නට ලැබුණි. 
 
ඉකුත් කාලයේ පැවැත්වුණු ජයරත්න පවුලේ විවාහ උත්සවයේ දී මා ඔහුගේ නව ඡායාරූප ගත් අතර මට ආසන්නතම වශයෙන් ඔහු හමුවූ අසේඛා - ජනිත් විවාහයේ ගත් සෙල්ෆි ඡායාරූප ද ඇතුළුව නව ඡායාරූප එකතුවක් මේ සමගින් ඔහුට තිළිණ කරන්නෙමි.

තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් තව චිරාත් කාලයක් හෙළ ගී අඹරේ සඳ පාන වාගේ දිලෙන්නට ඔහුට දිගාසිරි පතමි !!!