ප්රේ්ම සම්බන්ධයක් නම් පටන් අරගෙන නැහැ, ප්‍රේම කරන වයස පහුවෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගියදා පැවැත්වූ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී, ජනප්‍රියම නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ කුසල් මධුරංග ශිල්පියා විසිනි. ඔහු බොහෝදෙනා හඳුනන්නේ බණ්ඩා යන නමිනි. ඊට හේතුව පාරදිගේ නාට්‍යයේ රඟපාන චරිතය නිසාය. චරිතයක් නිසා සමස්ථ ප්‍රේක්ෂකාගාරයක ආදරය දිනා ගත් කුසල් මධුරංග සමග අපි පිළිසඳරකට එක්වෙමු.

බණ්ඩා කියලනෙ දැන් හැමෝම දන්නෙ, ඉතින් අපිත් ඒ නමින්ම කතා කරන්නද?

දැන් ඉතින් හැමෝම මා ගැන දන්නෙ ඒ නමින් නිසා බණ්ඩා කිව්වට ප්‍රශ්නයක් නැහැ. ඉස්සර ඉඳලා කුසල් කියලා මට කතා කළ යාළුවෝ පවා දැන් කතා කරන්නෙ බණ්ඩා කියලයි.

ඇත්ත නම?

කුසල් මධුරංග

කුසල් මධුරංග කාගේ කවුද?

අපේ අම්මටයි, අප්පච්චිටයි ඉන්න එකම දරුවා. නාට්‍ය වේදිකාවට ලැදිව කටයුතු කරන සාමාන්‍ය පවුලක සාමාන්‍ය කොල්ලෙක්. මගේ උපන්ගම නාවලපිටිය. ඒත් එහේ නෙවෙයි ළමා කාලය ගෙවුණෙ. අම්මයි අප්පච්චියි හොරණ පළාතට ඇවිත්. එදා සිට මගේ ජීවිතය ගෙවුණෙ හොරණදි. මූලික අධ්‍යාපනය ලැබුවේ ගෝනපල පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයෙන්. පවුලේ එකම ළමයා වුණත්, ගෙදරින් බලපෑමක් කළේ නැහැ. මිනිස්සුන්ගෙන් දෝෂාරෝපණයක් එල්ල නොවන තරම් හොඳ මනුස්සයකු වෙන්න කියන එක තමයි අම්මයි, අප්පච්චියි නිතරම කිව්වෙ. කාගෙවත් හිතක් නොරිද්දවන මිනිහෙක් වෙන්න කියන බලපෑම විතරයි තිබුණෙ.

නළුකම හිතට ආවෙ?

පොඩි කාලයේ ඉඳලාම දහම් පාසල් එහෙම යද්දි දහම් පාසලේ විවිධ අංශවලට ඉදිරිපත් වී අගැයීම් එහෙම ලැබුවා. නාට්‍ය කරද්දි ගෙදරින් ලොකුම කැමැත්තකුත් තිබුණෙ නැහැ. ඒත් පසුව සම්මාන ලබද්දි එහෙම ගෙදරින් මොනවත් කිව්වෙ නැහැ. පසුව සෞන්දර්ය සරසවියෙන් නාට්‍ය හා රංග කලාව අංශයෙන් උසස් ඩිප්ලෝමාවක් වෙනුවෙන් ඉගෙන ගත්තා. ප්‍රසිද්ධ වේදිකාව හරහා වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න පටන්ගත්තෙ ඒ අතරවාරයේදීයි. මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවේ රඟපෑවෙ නම්, සා/පෙළ කළ කාලයේදී ධර්මප්‍රිය ඩයස් මහතා නිර්මාණය කළ ජුලියස් සීසර් නාට්‍යයක. එතකොට මම ගියේ හොරණ විද්‍යාරත්න විද්‍යාලයට. හොරණ විද්‍යාරත්න කියන්නෙ ලාංකීය කලා කෙතට බොහෝ පිරිසක් බිහිකළ කලා භූමියක්. කොහොමටත් මගේ ජීවිතයේ කලා කටයුතු වැඩිදියුණු වුණේ විද්‍යාරත්නය නිසයි. එවකට අපට නාට්‍ය අංශය බාරව හිටිය පුබුදු සුභාෂණ ගුරුගල ගුරු පියාණන්ව මේ මොහොතේ විශේෂයෙන් මතක් කරන්න කැමතියි. මගේ නාට්‍ය හා රංග කලා ගුරුතුමා එතුමා.

නළුවකු වෙනවට පවුලෙන් බලපෑමක් ආවෙම නැද්ද?

පවුලෙන් ලැබුණෙ ලොකු දිරිගැන්වීමක්. විශේෂයෙන්ම මගේ පුංචිලා ටිකයි, මාමලායි තමයි ඒ ගමනට මට ලොකු දිරිගැන්වීමක් කළේ. පුංචිලා විවාහවෙලා ඉන්න බාප්පලා පවා මට උදවු කළා.

අද ඔබ වෘත්තිය ලෙස කරන්නෙ රංගනයද?

මේ වන විට රංගනය තමයි. මේ දක්වා වෙන වෘත්තියක් කරලා නැහැ.

බණ්ඩා ලෙස ජනප්‍රිය වීමට පෙර කුසල් ගැන වැඩිපුර කතා වුණේ?

2015 දී විතර ස්වර්ණවාහිනි ආයතනය ඉදිරිපත් කළ උදෑසන වැඩසටහනක සරච්චන්ද්‍ර පත්තුඩුවන මහතා සමග එය ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලැබුණා. ඒකෙ නම එහෙමත් ලෝකයක්. ටෙලිවිෂනයේ ආගමනය ඇතිවුණේ එතැනින්. එයින් පස්සෙ ටෙලි නාට්‍ය දෙක තුනක රඟපෑවා. තිලිණ බොරලැස්සගෙ සිහින සමාගම, ප්‍රදීප් ධර්මදාසගෙ බස් එකේ ඉස්කෝලෙ සහ පෝය නාට්‍ය කීපයක රඟපෑවා. අත්දැකීම් ලැබුවෙ ඒ පරිසරයෙන්.

වේදිකාවෙ නිර්මාණ නිසා සම්මාන පිට සම්මාන ලැබුවා නේද?

සමස්ත ලංකා පාසල් නාට්‍ය උළෙලවලදි, සම්මාන ගත්තා. රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදි දෙවරක් හොඳම සහාය නළුවා වුණෙ. යෞවන උළෙලේදි 2019 දී හොඳම නළුවා සහ හොඳම සහාය නළුවා සම්මාන ලැබුවා. ඊට අමතරව වේදිකා නාට්‍ය තුනක් විතර අධ්‍යක්ෂණය කළා. ඒවාටත් අගැයීම් ලැබුවා. ඒ විදිහට ආ ගමනක් තමයි මේ. මේ දක්වා වේදිකා නාට්‍ය රංග ශිල්පියකුට අමතරව වේදිකා පරිපාලන ශිල්පියකු ලෙසත් වැඩ කොටසක් කළ බව කියන්න පුළුවනි.

බණ්ඩා ගැන කියමු, බණ්ඩා හිට් වුණේ නැත්නම් නැගලා ගියේ ඇයි?

විශේෂම දේ පිටපත් රචකයාගේ නිර්මාණශීලීත්වයයි. සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා බණ්ඩාව ගොඩනගපු විදියයි. ඒ පිටපතේ තිබූ දේ සූක්ෂ්මව අධ්‍යක්ෂණය කළ සිවගුරුනාදන් මහතා සහ චාමර සමරවික්‍රම මහතාගේ නිෂ්පාදනය ඇතුළු සියල්ල නිසා, තමයි බණ්ඩා නිර්මාණය වුණේ. බණ්ඩා පිළිබඳව මිනිස්සුන්ගේ ආදරය ඇතිවුණේ ඒ නිර්මාණය එක්ක මට ලැබුණු ඉඩ අවකාශය නිසයි. බණ්ඩා ගේම් කාරයෙක්, පොකැට් ගහන මිනිහෙක්. නමුත් සමාජය ඇතුළෙ ඒ සෑම මනුස්සයකුටම තියෙන කළු සුදු චරිතය ඔහුටත් තියෙන බව කියන්න පුළුවනි. නරකට වඩා ඒ පික්පොකැට් කාරයාගේ තියෙන හොඳ ගතියට, අවංකකමට මිනිස්සු ආදරය කරනවා. එයාගේ යාළුවෝ එක්කත් එයා හරි අවංකයි. ඒ සියල්ල නිසා බණ්ඩා ජනප්‍රිය චරිතයක් වී සිටිනවා.

බණ්ඩා වීම නිසා, මේ විදියෙ ජනප්‍රිය සම්මානයකුත් ලැබේවි කියලා හිතුවද?

මම කිසිම දෙයක් ගැන, ඒ විදියට බලාපොරොත්තු තියාගෙන ඉන්න  කෙනෙක් නොවෙයි. කොහොමටත් මේ ගෙවීයන මොහොතේ, වකවානුවේ අපට කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බැහැ. එවැනි මොහොතක මේ වගේ සම්මානයක් ලැබේවි කියලා කොහොමටවත් හිතුවෙ නැහැ. මම විශ්වාස කරන විදියට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ලැබෙනවා, නොලැබෙන්න තියෙනවා නම් නොලැබෙනවාම තමයි.

බණ්ඩාගෙන් එහාට?

චිත්‍රපට දෙකක විතර රූගත කිරීම්වලට දායක වුණා. ඉන් එක් චිත්‍රපටයක් සනත් ගුණතිලක ප්‍රවීනයාගේ. සුනිල් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ලොක්ඩවුන් චිත්‍රපටයේත් රඟපෑවා. සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට ඒවා ඉදිරියේදී නරඹන්න ලැබේවි. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙකක විතර වැඩ කළා. ඊටත් අමතරව අලුත් වේදිකා නාට්‍ය නිර්මාණ දෙකක විතර වැඩ කරගෙන යනවා.

කුසල්ගෙ ජීවිතය ගෙවෙන්නෙ ඒ විදියටද?

වෘත්තීයමය කටයුතු කරද්දි ඒ වෘත්තීය බව තියාගෙන අපේ වැඩ ටික කරනවා. ඒ ඇතුළෙ මහා ලොකුවට කාර්යබහුල වෙන්න මම අකැමැතියි. ගෙදර ඉන්නත් කාලය තියාගෙන, යාළුවෝ එක්කත් ඇවිදලා කරලා එන්නත් ආසයි. අම්මා සහ අප්පච්චි එක්කත් කාලය ගත කරන්න ආසයි.

බණ්ඩාගෙ ප්‍රේමය ගැනත් කියමු?

ප්‍රේම සම්බන්ධයක් නම් පටන් අරගෙන නැහැ. එක් එක් කාලවලදී සබඳතා තිබුණා. නැත්තෙමත් නැහැ.

මොනවගේ ප්‍රේම වෘතාන්තයකටද කැමති?

ආදරයේදි, තමන් කැමති ප්‍රේමය, තමන් ආසා කරන තමන් ආදරය කරන, විශ්වාස කරන ප්‍රේමය ලැබෙනව නම් හොඳයි. ඒත් ඒක හිතන විදියටම හැමෝටම ලැබෙන්නෙ නැහැ. මටත් ඒ හිතන විදියටම ලැබේවිද දන්නෙ නැහැ. නමුත් ප්‍රේමයේදි මාව විශ්වාස කළ හැකි මගේ ක්‍රමය දරාගන්න පුළුවන් සහ මගේ පවුලේ පසුබිම, යාළුමිත්‍රයින්, මගේ විදිය මගේ පුරුදු සියල්ලට කැමති, ඒත් එක්ක ගමනක් යන්න පුළුවන් ප්‍රේමයක් නම් හොඳයි. දැන් නම් ඉතින් ප්‍රේම කිරීමකට එහාගිය වයසකනෙ මම ඉන්නෙත්. තිහකටත් ළඟයි දැන්. ඒ නිසා ජීවිතය හරියාකාරව ගෙනියන්න පුළුවන්, අවබෝධයක් ඇති, බුද්ධිමත් ආදර කතාවක් වුනොත් හොඳයි. ඒ විශ්වාසය තමයි මට තියෙන්නෙ.

කලාව ගැන ඔබට විස්තරයක් කරන්න කිව්වොත්?

කලාව කොයිබටද? කාටද? කියලා කීමට වඩා අපි දන්නා දේ තමයි, ගීතය, නව කතාව, කෙටි කතාව, කවිය, සිනමාව, නාට්‍ය ඇතුළු සියල්ල දේ වෙතින් මිනිස්සුන්ව පිනවන්න පුළුවන් කියන දේ තමයි සමාජ කාරණාව වෙන්නෙ. කලා කෘතියකින් සමාජයට දෙන අදහස එක්ක කලාවට තියෙන්නෙ විශේෂිත ස්ථානයක්. කලාව නිසා මිනිසුන්ගෙ සිතිවිලි සහ මනස වෙනස් කරවන්න පුළුවනි. කලාකරුවො හැටියට අපි ඔක්කෝටම ලොකු වගකීමක් තියෙන්නෙ. ඒ වගකීම එක්ක සහ වගකීමක් ඇති කලාකරුවෝ බිහිවීම රටටත් කලාකරුවන්ටත් එය වඩා යහපත්.

සඳුන් ගමගේ