පෞද්ගලික ජිවිතෙත්, සිනමා ජීවිතෙත් මට මහා වෘක්ෂය වුණේ සැමියා
මිනිස්කම ලස්සනයි. ආගමික වශයෙන්, ලෙඩදුක් වශයෙන්, සමාජීය වශයෙන් ජීවිතේ වරදිද්දි සමාජයෙන් කොන් වෙච්ච ජීවිත වලට මනුෂ්‍යත්වය ගැන රිදී තිරයට විවර වන හැමෝගෙම හද ගැහෙන ස්වරයක් වන සංජය නිර්මාල්ගේ සිනමා නිර්මාණයක් සහ නීටා ප්‍රනාන්දු සහ මනෝහාන් නානායක්කාරගේ නිශ්පාදනයක් වන "ස්වර" චිත්‍රපටය මේ දිනවල තිරගත වන සිනමාත්මක කතිකාවක්. "ස්වර" හරහා එන ප්‍රධාන භූමිකාව වන නර්මදාට පණ දෙන ඇය වෙනුවෙනුයි මේ ඉඩකඩ .පනස්තුන් වසරක් දේශිය සිනමාවේ විවිධ භූමිකා සමගින් නිළියක් නිෂ්පාදිකාවක් ලෙසත් සිනමාවේ නොමැකෙන මතක රැසක හිමිකාරිය වූ ඇය භාවපූර්ණ රංගනවේදිනිය නීටා ප්‍රනාන්දුයි.
පාංශූ චිත්‍රපටයේ බබා නෝනා වෙනුවෙන් නැවතත් සම්මානයක් ලැබුණා. එතනින්ම කතා ව පටන් ගමු?
මගේ චිත්‍රපට ජීවිතේ සංදිස්ථාන කිහිපයක් තියෙනවා. දුහුල් මලක්, පවුරු වළලු , තුන්වෙනි එක තමයි පාංශූ .පාංශූ චිත්‍රපටයේ අධ්‍යක්ෂක විසාකේස මම දැන හඳුනගෙන හිටපු කෙනෙක් නෙමෙයි. චිත්‍රපටය කරන්න අවුරුදු දෙකකට විතර කලින් විසාකේස මට ඕස්ට්‍රේලියාවේ ඉඳන් කතා කරලා පාංශූ කියලා චිත්‍රපටයක් කරනවා බබා නෝනා කියලා රෙදි අපුල්ලන ගැහැණියකගේ චරිතයක් කිව්වාම මම දෙපාරක් හිතුවේ නැහැ හා කිව්වා. ඇත්තම කියනවනම් බබා නෝනා කියන්නේ මාවම අභියෝගයට ලක්කළ ගැහැණියක්. බබා නෝනා කියන්නේ ඇත්තටම මගේ දෛවයේ ලියවී තිබුණ චරිතයක් විදිහටයි මම දකින්නේ. මොකද 1971 මල්ලිව පොලීසියෙන් අරන් ගිය වෙලාවේ මල්ලිව බේරගන්න මගේ අම්මාත් අඩ අඩා පාරවල් ගානේ දුවපු හැටි මට මතක් වුණා. මගේ අම්මා විඳපු දුක ඒ චරිතය ගොඩනගා ගන්න බලපෑමක් ඇති කළා කියලා හිතනවා. පාංශූ වෙනුවෙන් පිටරට සම්මාන දෙකක් සහ ලංකාවේ සිග්නීස් සිනමා උළෙලේ ජූරියේ විශේෂ සම්මානය වගේම ජනාධිපති සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානයත් හිමි වුණා.
ඔබ නිෂ්පාදනයෙන් සහ රංගනයෙන් දායක වන "ස්වර" ගැන කතා කරොත්?
ස්වර ගැන කියද්දි යොලන්ඩා විරසිංහ මතක් කරන්නම ඕන. ඇයගේ තමයි මේ කතා තේමාව. සමාජ සත්කාර සම්බන්ධ චිත්‍රපටි නිෂ්පාදනය කරන්න ඇය ගොඩාක් වෙහෙසුන චරිතයක්. ස්වර ගොඩනගන්න ඇය ගොඩක් මහන්සි වුන කෙනෙක්. ඇත්තටම අද ඇය ජීවතුන් අතර නැහැ. ඇයට මේ චිත්‍රපටය නරඹන්නවත් නොහැකි වීම ගැන ලොකු දුකක් තියෙනවා. කොහොම නමුත් ඇය මේ කතා තේමාව කිව්වාම මට ඕන වුණා කොහොම හරි මේක චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයන්ට දෙන්න. ඊට පස්සේ මම හෙව්වේ හොඳ අධ්‍යක්ෂකවරයෙක්. මනුස්සයන් සහ සමාජය අතර දේවල් කොහොමද දෝලනය වෙන්නේ කියන දේ තේරැම් ගන්න පුළුවන් ශක්තියක් සංජය ලග තිබුනා. ඒ නිසා මෙහි අධයක්ෂණයට සංජය නිර්මාල් තමයි හොඳම කෙනා කියලා මම හිතුවා. මම නිෂ්පාදනයෙන් සහය වුණා. මම රංගන ශිල්පිණියක් විදිහට ගොඩක් චරිත කරලා තියෙනවා. මම හිතුවා නිෂ්පාදිකාවක් විදිහටත් මගෙන් මේ කර්මාන්තයට සේවයක් වෙන්න ඕන කියලා. නමුත් නිෂ්පාදනයට වඩා මම තැන දුන්නේ මගේ නර්මදා කියන චරිතයට.
නර්මදා සතුටින් හිටපු ගැහැණියක්..ඇගේ ජීවිතේ වෙනස් වීම ඔබට දැණුනේ කොහොමද?
නර්මදා කියන්නේ ජනප්‍රිය හොඳ සමාජ තලයක් තියෙන සංගීතවේදිනියක් වගේම ජීවිතේ ඉතාම සැපවත්ව සතුටින් ගෙවපු ගැහැණියක්. එක තැනකදි ඇයටවත් හිතාගන්න බැරි විදිහට ඇයගේ ජීවිත කඩා වැටෙනවා එඩ්ස් නිසා. ඇය යනවා ඇයට ඒඩ්ස් වැළඳුන විදිහ සොයාගෙන. ජීවිතේ විඳින්න පුළුවන් අපවාද පීඩන හැලහැප්පීම් මැද්දේ හැබැයි ජීවිතේ ආයෙම නැගිටිනවා. මේ වගේ හැංගිලා ජීවත් වෙන බොහෝ දෙනෙක් මේ අපේ සමාජයෙත් ඉන්නවා. හරියට ස්වර 7 වගේ මේ කතාව ගෙතෙන්නෙත් චරිත 7ක් ඇතුළේ. සමාජයේ කතා නොකරන පැතිකඩක් තමයි අපි මේ තුළින් කතා කරන්නේ. විශේෂයෙන් තරුණ අය, දෙමාපියන්ට නොදන්න බෙහොමයක් දේවල් තියෙනවා ඉගෙන ගන්න මේ ස්වර චිත්‍රපටය තුළින්. ඒ වගේම HIV ආසාධිතයන් බව නොදැන ජීවිත් වෙන ගොඩක් රට පුරා ඉන්නවා. සමහර අය දැනගත්තාම එළියේ සමාජයට එන්න බයයි සමාජය ඒ අයව පිළිකුල් කරනවා. මේ ගැන නොදැන ඉන්න අය මේ චිත්‍රපටය හරහා දැනුවත් කරනවා සේම මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රබල පණිවිඩයක් මේ නිර්මාණය තුළින් දෙනවා.
මෙහි චරිත තෝරා ගත්තේ කොහොමද?
චරිත තෝර ගැනීමෙදිත් අපි ඒ ගැන ගොඩක්ම සැලකිලිමත් වුණා. දමිතා අබේරත්න රඟපාන්නේ HIV ආසාධිත ඇත්තම කෙනෙකුගේ චරිතයක්. නර්මදා කියන්නේ ලියවුන චරිතයක්. ධනූ රඟපාන ජෝ කියන චරිතයත් මේ සමාජයේ ජීවත් වෙන චරිතයක්. ධනූ ගැන විශේෂයෙන්ම කියන්න ඕන ධනූ ඉන්නාසිතම්බිගේ දක්ෂතාවය මම දැක්කේ ටෙලිවිෂන් එකෙන් . මම ඔහුට දුන්නේ අභියෝගයක්. ධනූගේ පළමු චිත්‍රපටය මේක. ඔහු කැමරාව ඉදිරියේ මා ඔහු තුල තැබු විශ්වාසය ඒ විදිහටම රැක්කා. හොඳ පළපුරැදු රංගන ශිල්පියෙක් වගේ ධනූ රගපෑවා. ධනූව චිත්‍රපටයට ගනිද්දි යම් යම් බාධක ටිකකුත් තිබුණා ධනූ දමිල කෙනෙක් ගන්න එපා කියලා. මම කිව්වේ අපි කතා කරන්නේ මනුස්සකම ගැන. අපේ තේමාවත් මිනිස්කම ලස්සනයි කියන එක. ඉතින් ඇයි අපි ජාති කුල භේද සොයන්නේ කියලා මම ඒ අයගෙන් ඇහුවා.
ඔබ නිතර දකින්න ලැබෙන්නේ ඒ වගේ චරිත වලට ,විවිධ තේමාවන්ට අභියෝග කරන නිර්මාණයන් තුළින්?
මගේ ලොකුම ආසාව වුණේ සමාජය ඇතුලේ අසාධාරණයට ලක්වෙන මිනිස්සු වෙනුවෙන් මිනිස් අයිතිවාසිකම් සහ මනුෂ්‍යත්වය ගැන සහ සමාජ සත්කාර ගැන කතා කෙරෙන නිර්මාණ කරන්න. මගේ හැකියාව ඒ වෙනුවෙන් පාවිච්චි කරන්නයි මට ඕන වුණේ. බොහෝ දෙනා සමහර අසාධාරණ කාන්තා හිංසනය ,මත්ද්‍රව්‍ය සමාජ රෝග වැනි දේවල් එළිපිට සමාජයේ කතා කරන්න බයයි,එහෙම නැත්නම් පිළිකුල් කරනවා. මට ඕන වුණේ ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න.
මේ චරිත 7 ගොඩනගාගන්න එච්.අයි.වී අසාධිත අය සමඟ අත්දැකීම් බෙදා හදා ගන්නත් අවස්ථාව ලැබුණා. ඒ අත්දැකීම කොහොමද?
ඔව්. HIV එක්ක ජීවත් වෙන අය සමඟ අපි එයලගේ හැඟීම් අත්දැකීම් බෙදාගත්තා. මාස 6 ක් විතර එයාලා එක්ක ගැටෙමින් අපි ඒ අයව අධ්‍යයනය කළා. එයාලගේ ජීවිත කතා ඇහුවා. ඒ දේවල් වලට අපිට වෛද්‍යවරු ගොඩක් උදව් කළා . HIV හැදෙන්නේ කොහොමද ,හැදුන කෙනෙක් ජිවත් වෙන්න ඕන කොහොමද, අපි වෛද්‍ය උපදෙස් ඒ අත්දැකීම් මේ චරිත තුළට ගත්තා . ඒ වගේම ලංකා පවුල් සංවිධාන සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය අපිට ගොඩාක් උදව් කළා. ලාදුරු වගේ මේක බෝවෙන රෝගයක් නෙමෙයි .අපි ඒඩ්ස් එක්ක ජීවත් වෙන අය එක්ක තේ බිව්වා කෑවා එයාලා එක්ක කාලය ගත කළා. අපි මේ චිත්‍රපට තුළින් කියන්නේ එයාලාව කොන් කරන්න එපා කියන එක. මට මතකයි එක දවසක් මේ චිත්‍රපටය ෆිල්ම් කෝපරේෂන් එකේ පෙන්නුවා. එතනට ඇවිත් හිටියා එච්අයිවී එක්ක ජීවත් වෙන කිහිප දෙනෙකුත්, චිත්‍රපටය ඉවර වුනාම ඒ අය මාව බදාගෙන ඇඬුවා මේ වගේ චිත්‍රපටයක් අපි වෙනුවෙන් හැදුවට බෙහොම ස්තූතියි කියලා.
"ස්වර" අවුරුදු 12 ක අතීතයක්?
ඇත්තටම ස්වර චිත්‍රපටය අවසන් කරලා වසර 12ට පස්සේ තමයි තිරගත වෙන්නේ. කතාව හොඳ වුණත් සමාජ සේවයක් විදිහට අපි කරන්න සිතුවත් චිත්‍රපටය හදලා ඉවර වුණාට පස්සේ නිකම් එපා වුණා වගේ තත්වයක් ඇති වුණා. මොකද අසුබවාදී දේවල් එකදිගට ආවා. චිත්‍රපට කළ කාලේ විශාල පෝලිමක් තිබුණා. කොරෝනා ආවා,අරගල ආවා. කතාව ලියපු යෝලන්ඩා වීරසිංහත් අසනීප වුණා. එයාගේ උනන්දුව එයාගේ ධෛර්ය මට නැතුව ගියා. මටත් ආර්ථික ප්‍රශ්ණ ආවා. මෑතකදි මට හිතුණා මෙච්චර හොඳ දෙයක් කරලත් ඇයි හංගගෙන ඉන්නේ කියලා. මෙච්චර හොඳ නිර්මාණයක් අවුරුදු 12 ක් තිස්සේ යට ගහගෙන ඉන්නේ ඇයි කියලා එයට දායක වුණ නළු නිළියන් පවා මගෙන් ඇහුවා. මොකද හරිම ආදරයෙන් ඒ චරිත කළේ. එතනදි මට ශ්‍රි ලංකා පවුල් සංවිධාන සංගමයත්, ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනත් ගොඩක් සහය වුණා. මම හිතනවා හරිම වෙලාවේ තමයි ස්වර ජනගත වුණේ කියලා. ඒ වගේම ලෝක ඒඩ්ස් දිනය දවසේම චිත්‍රපටයත් තිරගත කරන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි.
ඉදිරියේදී මොනවද අලුත් වැඩ?
ප්ලෑන් කරපු චිත්‍රපට දෙක තුනක් තියෙනවා. නිරන්තා හපන්වීර අධ්‍යක්ෂණය කරපු "තේජා" කියලා චිත්‍රපටයක් එන්න තියෙනවා. ඒක ඇඟලුම් සේවිකාවන්ට වෙන අකටයුතුකම් ගැන කතා කරන නිර්මාණයක්. තව චමින්ද ඉලුක්වෙලගේ "මාගම් සෝලි" කියලා චිත්‍රපටයකුත් එන්න තියෙනවා. ලගදීම තිරගත වීමට නියමිත වේසාවා Gigolo චිත්‍රපටයේ චරිතයට කතා කරහම මම චරිතය භාරගත්තේ මට ලැබුන වෙනස් විදිහේ චරිතයක් නිසා. ඒ කතාවේ මගේ චරිතයට මම හරිම කැමතියි. ඒක වෙනස්ම අත්දැකීමක්.
අද ගෙවන ජීවිතේ සතුටින්ද?
මට මහා ලොකු බලාපොරොත්තු නැහැ. අද දවස හොඳින් නිරෝගිව ජීවත් වෙන්න තමයි මම බලන්නේ. මගේ පෞද්ගලික ජීවිතෙත් සිනමා ජීවිතෙත් මහා වෘක්ෂය වුණේ මගේ සැමියා. අද ඔහු ජීවතුන් අතර නැහැ. අදටත් ඔහු දුන් ආදරය ආශිර්වාදය එක්ක තමයි මගේ ජීවිතේ රැදිලා තියෙන්නේ. අද මගේ සැමියා නැති නිසා මගේ ජිවිතේ නැවතත් පළමු තැන වෙලා තියෙන්නේ සිනමාව.
නදීශා අතුකෝරළ