පුතා එක්ක ආදරෙන් අවුරුදු සැමරූ පුෂ්පිකා
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට අපේ ජනප්‍රිය කලා තරු අවුරුදු සැමරුවේ කොහොමද කියලා දකින්න ලැබෙනවා. තමන්ගේ පවුලේ අයත් එක්ක එකතුවෙලා ආදරෙන් සමරන ලද ඒ අවුරුදු සැමරුම්වලට ඉහළ ප්‍රතිචාර, සුබපැතුම් සෑහෙන්න. මේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පුෂ්පිකා ද සිල්වාගේ අවුරුදු සැමරුම. අවුරුදු වෙනුවෙන් ඇය මේ විදියට සටහනක් ද තබා තිබුණා.
"පොඩි කාලේ මම හැදුණු වැඩුණු සුන්දර පරිසරයෙන් මට ලැබුණු අපේ දේ, අපේ කම, අපේ සංස්කෘතියට මම හදවතින්ම ආදරෙයි.
ඒවා මගේ මතකයත් එක්ක බැඳිලා තියෙන්නේ.
මට මතකයි අපි පුංචි කාලේ අලුත් අවුරුද්ද ළං වෙනකොට ගෙවල්වල කැවිලි හදන සුවඳින් පරිසරයේ සුවඳ පවා වෙනස් වෙනවා. කොහාගේ මිහිරි හඬ ඇහෙනවා, දුර ඈත ඉන්න නෑදෑයන් පවා ගෙවල්වලට එකතු වෙනවා.
නැති බැරි ඇති හැකි හැම කෙනෙකුගේම ගෙදර අලුත් අවුරුද්දට ලැහැස්ති වෙනවා. මේ සොබා දහම පවා අලුත් අවුරුද්දට සූදානම් වෙනවා.
මේ වෙනකොට අපේ රට ආර්ථික වශයෙන් ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දීල ඒකෙන් ගොඩ එමින් තිබෙන කාලයක් උනත් මේ තරම් අමාරු කාලයක පවා අපේ රටට ආවේණික සංස්කෘතික අනන්‍යතාවය ජනතාව අතරේ තවමත් රැඳී පවතින බව අවුරුද්දට ලක ලැහැස්ති වෙන අයගෙ මුහුණුවල තියෙන සතුට, උනන්දුව දැක්කම පැහැදිලියි.
අපිටම ආවේණික පුණ්‍ය කාලය, ආහාර පිසීම, නැකතට ආහාර අනුභවය, මුදල් ගනුදෙනු කිරීම, හිසතෙල් ගෑම වගේ අපූරු චාරිත්‍ර අවුරුදු නැකැත් ලිතේ ඇතුළත්වෙනවා.
නැකත කියන්නේ ශුභ වෙලාවක්. ඒ කාලයේ අපි හොඳ දෙයක් කළොත් අපිට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. අපේ රටට පැමිණෙන විදේශිකයන් පවා අපේ අලුත් අවුරුද්දට හරිම කැමතියි.
නමුත් මේ වෙනකොට සමහර අයට අපේ සම්ප්‍රදායික සිංහල චාරිත්‍ර වාරිත්‍ර අමතකවෙමින් යනවා. ඒ නිසා ශ්‍රී ලාංකික කාන්තාවක් සහ මවක් වශයෙන් මට අවශ්‍යවෙන්නේ මේ හොඳ සිරිත් විරිත් මගේ දරුවට පුරුදු කරලා, තවත් පරම්පරාවකට මේ හොඳ දේවල් රැගෙන යන්න.
ඉතින් මේ අවුරුද්දෙත් මගේ අම්මත් තාත්තත් පුතුකිත් එක්ක මම අලුත් අවුරුද්ද සමරනවා. තමන්ගේ අය එකම තැනකට එකතු වෙන හැම දවසක්ම අවුරුදු දවසක් තමයි.
පැරණි තරහ මරහ අමතක කරලා ආදරය සාමය එකමුතුකම සහයෝගය සුහදත්වය වපුරන්න අලුත් අවුරුද්ද හොඳම අවස්ථාවක්.
අතීතයේ ඉඳලා ගමින් ගමට අවුරුදු උත්සව තියන්නේ මිනිසුන් අතරේ තියෙන අමනාපකම් දුරුවෙලා මානසික ආතතිය අඩු වෙලා එකිනෙකා අතරේ අලුතින් සහයෝගීතාවය වර්ධනය කර ගන්න ඕන නිසා.
ඉතින් අපි අපේ සංස්කෘතික උරුමයන් රැකගෙන අපේ අනාගත පරම්පරාවට මේ සොඳුරු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර දායාද කරමු.
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.!
- පුෂ්පිකා ද සිල්වා