පත්තර කොළ කෑල්ලකින් මම අතක්වත් පිහින්නේ නැහැ ඒ තරම් පත්තරවලට ආදරෙයි - නිශාන්ත ඩයස් බණ්ඩාර
මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන 'පත්තර සිරස්තල' වැඩසටහන සමඟ නිශාන්තව දකින්න ලැබෙනවා. ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හැමෝම පුවත් පැවසීම තුළින් මිනිසුන්ව උදේට ටිකක් කලබල කරනවා. සමාජ ප්‍රශ්න ඇතුළේ බොහෝ විට ගැටලු සහගත තත්ත්වයන් තමයි තියෙන්නෙ. කටට රහට අපි ඒවා කිව්වට ඒක ඇතුළේ තියෙන සියුම් කාරණා මතුපිටින් තමයි විස්තර කරලා දෙන්නෙ. ඒ නිසා බුද්ධිමය සංවාදයක් මේ ඔස්සේ ගොඩනැගෙන්න මට ඕන වුණා. ඒ නිසා මම පත්තර කියවීමට සම්බන්ධ වුණා. මම පත්තරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒ නිසා පවතින රටාවට වඩා උදෑසන පත්තර කියවීම වෙනස් විදිහකට කියවන්න මට ඕනෑ වුණා. ඒ වෙනසට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. ජාතික රූපවාහිනිය රජයේ මාධ්‍යයක්. ආණ්ඩුවේ ප්රවෘත්ති පමණක් මේ තුළින් කියවේවි යැයි බොහෝ දෙනෙක්ගෙ හිතේ තිබුණා. හැබැයි විද්‍යුත් මාධ්‍යයට සම්බන්ධ බොහෝ ආයතන ඒක පුද්ගල ආයතන විදිහටයි මම දකින්නෙ. සේවකයෝ විශාල පිරිසකගෙන්, ආයතනය පත් කරන සභාපතිවරයකුගෙන්, අධ්යක්ෂ මණ්ඩලයකින් තමයි රජයේ මාධ්‍යයක් සම්පූර්ණ වෙන්නෙ. වැඩසටහනක් වුණත් අදහස් දහයක් පහළොවක් ඇති අය අතර ඒ වැඩසටහන හුවමාරු වෙනවා. ඒ නිසා මේ සාමූහික බව රාජ්‍ය මාධ්‍ය ආයතනයක් තුළ තියෙනවා. රාජ්‍ය මාධ්‍යයකින් ආණ්ඩුවේ ඒවා ප්‍රචාරය කරනවා කියන චෝදනාවෙන් බැහැර වෙන්න බැහැ. ඒක ඇත්ත. හැබැයි ඒ අතරේ ජනතාවට අවශ්‍ය සෙසු දේවල් මේ ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඒ නිසා පත්තරේ තියෙන දේ සමබරව රූපවාහිනිය ඔස්සේ ඉදිරිපත් කරන්න මට ඕනෑ වුණා.
ඔබ ගමෙන් කොළඹට සේන්දු වුණු තරුණයෙක්. ගමේ මතකයන් හරි සුන්දර ඇති?
ගොඩක් සුන්දරයි. මම ඉපදුණේ පොළොන්නරුව ඇළහැර ප්‍රදේශයේ. මම දැන් මාතලේ පදිංචිවෙලා ඉන්නවා. මම ගමේ පාසලෙන් ශිෂ්‍යත්වය සමත්වෙලා මාතලේ විජය විදුහලට ඇතුළත් වුණා. උසස් පෙළින් පස්සෙ මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවා. මාතලේ නගරය කේන්ද්‍ර කරගෙන තමයි අපි පදිංචිවෙලා හිටියෙ. අදටත් එහෙමයි. මගේ ජීවිතේ බොහෝ දේවල් ගමත් එක්ක වෙනස් වුණා. ගම හරි සුන්දර තැනක්. ගමේ තියෙන කර්කෂ බව, කටුක බව මිනිසුන්ගේ ශක්තිමත් බව ගොඩනැගුවා. ගමෙන් ලැබුණු අත්තිවාරම හොඳ වුණොත් ඕනෑම දේකට මුහුණ දෙන්න පුළුවන්.
නිශාන්තගේ පවුලේ විස්තර කිව්වොත්?
මගේ තාත්තා සාමාන්‍ය පවුලක කෙනෙක්. අපේ පවුලේ දරුවන් දහ දෙනෙක් ඉන්නවා. අම්මා තාත්තා එක්ක දොළොස් දෙනයි. මම පවුලේ තුන්වැනි දරුවා. මට වැඩිමහල් අක්කා සහ අයියා ඉන්නවා. මම නංගිලා පස්දෙනෙක් ඉන්න අයියා කෙනෙක්. ඒ නිසා මට නංගිලා මල්ලිලා අයියා අක්කා හැමෝගෙන්ම ආදරය උපරිමයෙන් ලැබුණා. අදටත් ආදරය ලබන සහෝදරයෙක්. සමාජයේ සාමාන්‍ය සරල ජීවිත ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා පත්තර වැඩසටහන තුළදී මුලින්ම ගැටුම් ඇති කරන කාරණා ඉදිරිපත් කරන්නෙ නැහැ. තියෙන දේ සැබෑ ලෙසම සඳහන් කරනවා. එතනින් එහාට මගේ පෞද්ගලික මත සහ ගැටුම් ඇතිවන තැන් මම ඉදිරිපත් කරන්නෙ නැහැ. අද නීති පීඨයට යන්න ඉන්න දරුවා පිහියෙන් අනින තත්ත්වයට පත්වෙලා. පොතේ දැනුම ඉහළ වුණත් සමාජ දැනුම තුළදි අංශු මාත්‍රයක දැනුමක් නැහැ. ඒ නිසා මේ තත්ත්වය අපි වෙනස් කරන්න ඕනෙ. පවුලක් ඇතුළෙ ආදරය වපුරන්න ඕනෙ.
ළමා කාලයේදි මෙවැනි ක්ෂේත්රයකට යොමුවීමේ බලාපොරොත්තුවක් තිබුණද?
ඔව්.. මාධ්‍යයට සම්බන්ධ වෙන්න මගේ ලොකු කැමැත්තක් තිබුණා. මාතලේ විජය විදුහලේ ඉගෙන ගත්ත කාලේ ඉඳන් මම 'ලක්හඬ' ගුවන්විදුලියේ ළමා වැඩසටහන් කළා. 'ඉතුරු මිතුරු චැට්' කියන වැඩසටහන මම ඉදිරිපත් කළා. ඒ කාලේ ඉඳන් ජනමාධ්‍යයට ආසාවක් තිබුණා. විද්‍යාලය ඇතුළෙදි මම ලේඛනයට සම්බන්ධ වුණා. උසස් පෙළ කරද්දිත් ජනමාධ්‍යයට සම්බන්ධ බොහෝ දේවල් කළා. මම වෘත්තියෙන් වෙනත් ක්ෂේත්රයක් නියෝජනය කරන නිසා ජනමාධ්‍යයට පූර්ණකාලීනව සම්බන්ධ වෙන්න අමාරුයි. මම ගණකාධිකාරිවරයෙක් ලෙසත් කටයුතු කරනවා. අද වෙද්දි ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන කෙනෙක්. හැබැයි සමාජයේ දකින කාරණා නිසාම කමයි ආයෙත් මම පත්තර වැඩසටහනට සම්බන්ධ වුණේ. පත්තරයක කර්තෘ සහ සංස්කාරක මණ්ඩලය තමයි ප්‍රධාන සිරස්තලය තීරණය කරන්නෙ. පත්තර කලාව සියවස් ගණනාවක ඉඳන් පැවතෙන මාධ්‍ය කලාවක්. විද්‍යුත් මාධ්‍ය ඊට බොහෝ කාලයට පසුව එකතු වුණු මාධ්‍යයක්. ඉතින් මට හිතෙන විදිහට විද්‍යුත් මාධ්‍යයකට පත්තරය වෙනස් කරන්න බැහැ. අපේ තාත්තලා කඩේ ගිහින් මුලින්ම බැලුවේ පත්තරේ සිරස්තලය. එක පත්තරයක් සල්ලි දීලා අරගෙන ඒක අතේ තියාගෙන අනිත් පත්තරවල සිරස්තලත් කඩේ ඉඳන් බලලා තමයි ගෙදර ආවේ. පුංචි කාලේ ඉඳන් මම පත්තරේට ආසා කරපු කෙනෙක්. ඒ වගේම මම කතුවැකියට හරිම ආසයි. කතුවැකියක බොහෝ දේවල් ලියලා තියෙනවා. අදටත් මම කතුවැකියට හරි ආසයි. කර්තෘ ඇතුළු සංස්කාරක මණ්ඩලය පත්තරේ හරියට අවසන් කරලා තමයි උදේට ජනතාවට දෙන්නෙ. ඒ ලියපු දේ වෙනස් කරන්න අපිට බැහැ. මම මුලින්ම ප්‍රධාන තැන දෙන්නෙත් පත්තරවල සිරස්තලවලටයි. ඒත් ඇතැම් අය ඒ දේ කරන්නෙ නැහැ. වැරදි ප්‍රවෘත්තියක් ලබා දීම ජනමාධ්‍යයක් හැටියට අපි නොකළ යුත්තක්. ඉස්සර ඉරිදා පත්තරේ විතරයි අපේ ගෙදරට ගන්නෙ. මම හත වසරේ ඉඳිද්දි ඒ කාලේ හරි ආසාවෙන් පත්තරේ කතුවැකිය කියෙව්වා. ඒ වගේම සතිය පුරාවටම ජාතික පත්තරේ කියෙව්වා. රටේ තොටේ වෙන දේ මම ඇඳේ පෙරළිලා කියෙව්වා. මගේ ඉස්කෝලෙ නාලනී ගුරුතුමිය දවසක් ''පුතා ඔයා ලියන දැනුමත් එක්ක පත්තරේ තියෙන කතුවැකිය කියවන්න'' කියලා කිව්වා. අදවෙද්දී මම කතුවැකි සෑහෙන ප්‍රමාණයක් කියවපු කෙනෙක්. පත්තර කතුවැකි හරි ප්‍රබලයි. මම පත්තර කොළ කෑල්ලකින් අතවත් පිහදාන්නෙ නැහැ. වාහනය 'සර්විස්' කරලා පත්තර කෑල්ලක් බිමට දාලා තිබුණොත් මම ඒක අයින් කරලා වාහනයට නගිනවා. අකුරු එක්ක තමයි අපි නිමවෙන්නෙ. අකුරුවලට මම ආදරය කරනවා. මම අවුරුදු විසි එකක ඉඳන් නිර්මාංශ කෙනෙක්. මගේ ජීවිතේ ටිකක් වෙනස්. පත්තරේට තියෙන සෙනෙහස, ආදරය වෙන කිසිම මාධ්‍යයකට ගන්න බැහැ. බොහෝ වගකීමක් සහිතව ජනතාවට අතරට යන දෙයක්. අකුරක තියෙන ප්‍රබල බව මොන දෙයකින්වත් යටපත් කරන්න බැහැ. උදේට පත්තරේ වැඩසටහනක් නැති මාධ්‍ය ආයතනයක් නැති තරම්. ඒ තරම් පත්තරේට ජනතාව ආදරේ කරනවා.
දිශානි ජයමාලි / සේයාරූ - සුමුදු හේවාපතිරණ