පුතෙක් එනකම් බලාගෙන ඉද්දි දුවෙක් ආවා - අශිකා මතසිංහ
අශිකා මතසිංහ අද දරුවන් තිදෙනෙකුගේ ආදරණීය මවක්. කුළුඳුලේම ඇයට ඉපදුණේ දියණියක්. හැබැයි ඇය කියන විදිහට ඇය මුලින්ම කැමැත්තෙන් හිටියෙ නම් පුතෙකුටලු. එහෙම හිතපු ඇය පුංචි දියණියකගේ ආදරණීය මවක් වුණා. අද වෙද්දි ඇය දියණියකගේ සහ පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්.
මම මුලින්ම හිතාගෙන හිටියෙ මට පුතෙක් හම්බවෙනවා නම් ෂෝක් කියලයි
මම හරිම ආසාවෙන් හිටියෙ සුරේන් වගේ පුතෙකුටයි. බබා ලැබෙන්න කලින් අපි දොස්තරගෙන් අපිට දුවෙක්ද පුතෙක්ද කියලවත් ඇහුවෙ නැහැ. අපිට ඒක (සප්‍රයිස්) එකක් විදිහට දැනගන්නයි ඕන වුණේ. පුතෙක්ට ආසාවෙන් හිටිය මම වැඩිපුරම නිල් පාට ඇඳුම් තමයි මැහුවෙ. බබාට බඩු ගත්තෙත් නිල් පාට ඒවායි. මාව දැකපු ගොඩක් අය කිව්වෙ මට පුතෙක් තමයි ලැබෙන්නෙ කියලා. දුව ඉපදුණේ පෞද්ගලික රෝහලක. දරුවා ඉපදෙන්න දින දීලා තිබුණු දිනට සතියකට කලින් සිසේරියන් කරලා දරුවා බිහි කරන්න ඕනෙ කියලා දොස්තරලා තීරණය කළා. එයා ටිකක් ප්‍රමාණයට වඩා බර වැඩි නිසා වෛද්‍යවරුන් එහෙම තීරණය කළා. එදා මට සිසේරියන් සැත්කම කරද්දි සුරේනුත් මම ළඟින්ම හිටියා. ඒ වෙලාව නම් මට හරියට මතක නැහැ. හැබැයි සුරේන් ළඟ ඉඳන් අපිට දුවෙක් කියලා කියනවා මට යාන්තම් මතකයි. ටික වෙලාවකට පස්සෙ තමයි මම අපිට දුවෙක් කියලා දැනගත්තෙ. දුව අපි ළඟට ආවේ (සප්‍රයිස්) එකකුත් එක්කයි.
දුවව බඳින්නම් කීවලු
සුරේන්ව මට මුලින්ම මුණගැහුණෙ විවාහ උත්සවයකදියි. ඒ නෙරංජලා ජයසිංහගේ විවාහ උත්සවයේදි. නෙරංජලා මගේ හොඳ යාළුවෙක්. අදටත් අපි හොඳ යාළුවෝ. නෙරංජලාගේ දෙවැනි මනමාලිය විදිහට හිටියෙ මමයි. කොහොමත් සුරේන් ඊට කලින් ඉඳන් මගේ ගැන අහලයි තිබුණෙ. සුරේන් මංගල උත්සවයට කලින් ඉඳන්ම නිරංජලාව හොඳටම හඳුනනවා. ඔහු කලාවට හරිම කැමති කෙනෙක්. ඉතින් මාව එයාට යෝජනා කරන්න එයාගේ යාළුවන්ට ඕනවෙලා තිබිලා. නිරංජලා වගේම චමල්ෂාන් මගේ හොඳ යාළුවෙක්. ඒ නිසා නිරංජලාගේ මංගල උත්සවයට සුරේන්ටත් ආරාධනා කරලා තිබුණා. එදා තමයි සුරේන් මට විවාහ යෝජනාව කළේ. ඊට කලින් එයාගේ දුරකතනයේ එයා මගේ ඡායාරූප පවා දාගෙන ඉඳලා තියෙනවා. කාලයක් දුරකථන මුහුණතේ පවා මගේ ඡායාරූප සුරේන් දාගෙන ඉඳලා තියෙනවා. ඉතින් මංගල උත්සවය දවසේ මාත් එක්ක ළඟ හිටපු අක්කා කෙනෙක්ට එයා මගේ අම්මා කියලා හිතලා 'මම දුවව කසාද බඳින්න කැමතියි' කියලා අහලා. ඒ අක්කා හිනාවෙලා 'මම අම්මා නෙමෙයි' කියලා. ඊට පස්සේ සුරේන් මම ළඟට ඇවිත් 'අපි බඳිමුද?' කියලා ඇහුවා. ඇත්තටම මට ඒක සප්‍රයිස් එකක්. ටික දවසකින් එයා අපේ ගෙදරට ඇවිත් අම්මාගෙන් ඇහුවා. හැමෝගෙම ආශිර්වාදයෙන් අපි විවාහ වුණා.'
ලස්සන බලු පැටියෙක් දුන්නා
මේ දෙන්නා හරි ආදරණීයයිනෙ. පුංචි පුංචි මතකයන් කෝටියයි. ඒ අතරේ හුවමාරු වුණු තෑගි බෝගත් බොහොමයි. ඒ අතර අපූරු මතකයන් බොහොමයක් තියෙනවා කියලයි අශිකා අපිට කිව්වෙ.
'සුරේන් මට මුලින්ම දුන්නෙ ලස්සන සෙල්ලම් බලු පැටියෙක්. තාම ඒක මම ළඟ තියෙනවා. මම එයාට මුලින්ම (පර්ෆියුම්) එකක් තෑගි කළා. ඊට පස්සෙ සුරේන් මටත් මම එයාටත් ගොඩක් තෑගි දුන්නා. කොහොමත් එයා උපන් දිනවලට (සප්‍රයිස්) දෙනවා.'
හිම කඳු අස්සේ ලොකු සාදයක්
ඔන්න ඉතින් ඒ විදිහට (සප්‍රයිස්) කරපු උපන් දින අතරේ අශේකාට හරි අපූරු උපන් දින පාටියක් සුරේන් එයාට හොරෙන් ලක ලෑස්ති කරලා තිබුණා.
'හිම කඳු) නාට්‍යයේ රූගත කිරීම් කරන දවසක තමයි මගේ උපන් දිනය යෙදිලා තිබුණේ. එදා සුරේන් රූගත කිරීම් කරන තැනට එනවා කිව්වට ආවෙ නැහැ. මට ඉතින් එයා ආපු නැති එකට හරිම දුකයි. මම කේක් ගෙනල්ලා (හිම කඳු) රූගත කරන තැන හිටපු හැමෝටම දුන්නා. රූගත කිරීම් ඉවරවෙලා හවස මම ගෙදර ගියා. අපිට උත්සවයකට යන්න තියෙනවා. ඔයා ලෑස්ති වෙන්න කියලා එයා කිව්වා. එයා කිව්වෙ එයාලගෙ කාර්යාලයේ උත්සවයක් කියලයි. ඉතින් අපිත් ලෑස්තිවෙලා එයාත් එක්ක ගියා. මට හිතාගන්න බැරි වුණා. එයා (හිම කඳු) කණ්ඩායමටයි මගේ යාළුවෝ හැමෝටමයි ආරාධනා කරලා ලොකු උත්සවයක් ලෑස්ති කරලා තිබුණා. ඒක නම් මාර (සප්‍රයිස්) එකක්.'
එදා රූපවාහිනිය කැඩිලා
මම මුලින්ම රඟපෑවේ (මල්සර) කියන ටෙලිනාට්‍යයෙයි. ඇත්තම කිව්වොත් ඒක මුලින්ම රූපවාහිනියේ විකාශය වෙද්දි අපේ ගෙදර රූපවාහිනිය කැඩිලා තිබුණෙ. ඒ නිසා මට ඒක බලන්න ලැබුණෙ නැහැ. ඒක විකාශය වෙලා ටික දවසකට පස්සෙ තමයි මට ඒක බලන්න ලැබුණෙ. ඇත්තටම මම හිටපු මුල්ම ටෙලිනාට්‍ය නරඹද්දි මට ඒක (සප්‍රයිස්) එකක් වුණා.
නැකත් දවසෙ දුව නෑ
අපි කාලයක් හිටියෙ නිල නිවාසවලයි. කාලයකට පස්සෙ අපි අපේම ගෙදරක් මිලදී ගත්තා. ඒකට පදිංචියට යන්න තැනක් දීලා තිබුණු දවසට කලින් දවසේ අපේ ලොකු දුව වැඩිවියට පැමිනුණා. ඉතින් නැකැතට මුලින්ම අපි හතරදෙනා විතරයි ගියේ. ලොකු දුවට එදා යන්න ලැබුණෙ නැහැ. තමන්ගේම ගෙදරකට යන්න ලැබීමත් (සප්‍රයිස්) එකක් තමයි.
දිශානි