පොඩි කාලේ ඉඳලා මම කලාවට සම්බන්ධ වෙලා වැඩ කළා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ධනුෂ්ක රත්නායකගේ මන්දාරම් කතාවේ ඔබ දකින යොවුන් රංගන ශිල්පිණියක් තමයි සුහන්දි උපෙත්මා කියන්නේ. දැනට ටෙලි නාට්‍යය අතළොස්සකට සිය රංගන දායකත්වය ලබාදී ඇති සුහන්දි මේ වනවිට ප්‍රේක්ෂකයින්ගේ කතාබහට ලක්වෙමින් සිටින නවක රංගන ශිල්පිණියක්ද වෙයි.

සුහන්දි කියන්නේ අවුරුදු කුමාරියක්?

ඔව් ගිය වසරේ ස්වාධින රූපවාහිනියේ අවුරුදු කුමරි තරගයේ දෙවැනියා වුණා මම. ලොකු බලාපොරොත්තුවක් නම් තිබ්බේ නැහැ මේ වගේ ජයග්‍රහණයක් මට ලැබෙයි කියලා. මොකද, මටත් වඩා ගොඩක් ලස්සන දක්ෂ අවුරුදු කුමරියෝ රාශියක් මේ තරගයට සහභාගි වෙලා හිටියා. නමුත්, අවසන් තරගකාරියන් 12 දෙනාට තෙරේන කොට මට හිතුණා මුල් ජයග්‍රාහිකාවන් තුන්දෙනා අතරට මට එන්න පුළුවන් වේවි කියලා. අවුරුදු කුමරිය තරගයේ දෙවැනියා වගේම පැහැපත් සමට හිමි මිණි කිරූළත් මට දිනාගන්න පුළුවන් වුණා.

රංගනයට සම්බන්ධ වුණේ කොහොමද?

අවුරුදු කුමරිය තරගයට යන්න කලින් ඉඳලාම මම කලාවට සම්බන්ධ වෙලා වැඩ කළා. මුලින්ම රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වල පෙනී හිටියා. ඒ හරහා මාව ගොඩ දෙනෙක් අඳුනගත්තා. ටෙලි නාට්‍යයට රංගනයටත් එකතු වෙන්න අවස්ථාව ලැබුණේ ඒ අඳුනා ගැනීම් මත තමයි. මුලින්ම මම රඟපෑවේ 1990 කියන ටෙලි නාට්‍යයේ. ඒකේ මම රඟපෑවේ මේඝනා කියන චරිතය.

මේ දිනවල ඔබ අලුත් ටෙලියක දකිනවා?

ඔව් ධනුෂ්ක රත්නායක අයියාගේ මන්දාරම් කතාව. සතියේ සෑම දිනකම රාත්‍රි නමයට මේ ටෙලි නාට්‍යය ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වෙනවා. දැනට කරපු ටෙලි නිර්මාණ අතරින් මම වඩාත් ආසාම ටෙලි නාට්‍යය තමයි මේක. මන්දාරම් කතාව ටෙලි නාට්‍යයේ කතාව දිග හැරෙන්නේ නුවර අහස යට සිද්ධ වුණ සුන්දර ආදර කතාවක් පාදක කරගෙන. මම හිතනවා මේ කතාව ඉතාමත් ආදරණිය විදිහට ප්‍රේක්ෂකයින් වැළඳ ගනියි කියලා.

ඉදිරියට එන්න තියෙන ඔබගේ නිර්මාණ මොනවද?

මා දායක වුණ ටෙලි නාට්‍යය කිහිපයක්ම ඉදිරියට එන්න තියෙනවා. මේ දිනවලත් තව අලුත් ටෙලි නාට්‍යයක රූපගත කිරිම්වලට සහභාගි වෙනවා. මම හිතනවා උදා වූ මේ අලුත් වසරේදී මාව ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ මගේ ආදරණිය ප්‍රේක්ෂකයින්ට මාව දකින්න පුළුවන් වේවි කියලා.

කලාවට සම්බන්ධ වුණ එක මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. මොකද මේක මට පොඩි කාළේ ඉඳලා තිබුණ හීනයක්. තෙරේන කාලේ ඉඳලා මම රංගනය පිළිබඳව හැදැරූවා. ඒ එක්කම නර්තනයත්. පාසල් කාලේ ඉතින් ගොඩක් වෙලාවට නැඹුරු වුණේ කලා කටයුතුවලට තමයි මම. කලා ශිල්පිණියක් වෙන්න හැමෝටම බැහැ. ඉතින් ඒ වාසනාවත් මට තිබුණා. ඉතින් මගේ ලොකුම බලාපොරොත්තුව තමා කලාව පැත්තෙන් ලොකු ගමනක් යන එක.

බුද්ධික සේනාධීර