පොඩ්ඩෝ ටිකක් එකතු වෙලා හදපු අලුත්ම සංගීත කණ්ඩායම ශ්‍රී රශ්මි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කණ්ඩායම් සංගීත කලාව නැවුම් මානයකට ගෙනයන්නට දැරූ උත්සාහයක ප්‍රතිපලයක් ලෙස බිහිවූ මහනුවර ශ්‍රී රශ්මි සංගීත කණ්ඩායම කෙරෙහි මෙවර අපගේ අවධානය යොමු විය. පාසල් අධ්‍යාපනය ලබන ගැහැණු දරුවන් නම දෙනෙකු හා එක් පිරිමි දරුවෙකුගෙන් සමන්විත මෙම සංගීත කණ්ඩායමේ ආරම්භය සිදුව ඇත්තේ පසුගිය පෙබරවාරි 15 වැනිදාය. සංගීත ක්ෂේත්‍රය තුළ නිබඳ නමක් දිනා සිටින කැප්ටන් රූපසිංහ මෙම කණ්ඩායමේ කළමණකාරු ලෙස කටයුතු කරන අතර, ඔහු මහනුවර ශ්‍රී රශ්මි ගැන අපට පැවසුවේ මෙවැන්නකි.

ශ්‍රී රශ්මි සංගීත කණ්ඩායමේ ආරම්භය සිදු වු‍ණේ කොහොමද..

සංගීත කණ්ඩායම නම් ආරම්භ කළේ මීට මාස නමයකට පෙර. හැබැයි ප්‍රසංගයකට කියලා මේ අය පළමු වතාවට ප්‍රසංග වේදිකාවට ගොඩ වුණේ පසුගිය පෙබරවාරි 15 වැනිදා. ඒ දොළුව ගල්පිල්ල ක්‍රීඩාංගණයේ තිබුණ ප්‍රසංගය හරහා. විශේෂත්වය වන්නේ මේ අයත් සමග ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණ ෆීල් බැක් සංගීත කණ්ඩායමත් එම ප්‍රසංගය සඳහා සංගීතවත් කළා. එම සංගීත කණ්ඩායමේ නායක ෆීල් බැක් සංගීත කණ්ඩායමේ නායක දුෂාන්ත නිකහැටිය තමයි ශ්‍රී රශ්මි සංගීත කණ්ඩායමේ ප්‍රධාන උපදේශකවරයා විදිහට කටයුතු කරන්නේ.

කණ්ඩායමේ සාමාජිකයින් පිරිස ගැනත් කතා කරමු..

කණ්ඩායමේ නායිකාව විදිහට කටයුතු කරන්නේ තේජානි. ඇය තමයි කණ්ඩායමේ කිබෝඩ් වාදන ශිල්පිණිය විදිහට කටයුතු කරන්නේ. එතකොට මේ කණ්ඩායමේ ඉන්න එකම පිරිමි දරුවා තමයි මලිෂ. ඔහු ඩ්‍රම්ස් වාදනයෙන් සහය වෙනවා. කවිෂා ඔක්ටපැඩ් වාදනයෙන්ද, අනුත්තරා ලිඩ් ගිටාර් වාදනයෙන්, මහේෂිකා රිදම් වාදනයෙන්, පබසරා බේස් ගිටාර් වාදනයෙන් සහය වෙනවා. ශ්‍රී රශ්මි සංගීත කණ්ඩායමේ නිත්‍යා ගායිකාවන් විදිහට කටයුතු කරන්නේ නිශාදි, රවිෂා, ජනුලි හා සුරනි. ඒ අතරේම නිවේදන කටයුතු රවිෂා හා ජනුලි අතින් සිදු වෙනවා.

දැනට ප්‍රසංග කොපමණ ප්‍රමාණයකට ශ්‍රී රශ්මි දායක වෙලා තියෙනවාද..

දොළුව ගල්පිල්ල ක්‍රීඩාංගණයේ තිබුණ සංගීත ප්‍රසංගයෙන් පසුව අපි පෙබරවාරි 22 වැනිදා පිළිමතලාවේ සංගීත ප්‍රසංගයකට සහභාගි වුණා. මාර්තු මාසයේ දැනට ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතර ගල්ගමුව හා කැකිරාව ප්‍රසංග සඳහා එක්වීමට දැනටමත් අපි කැමැත්ත පළ කරලා තියෙනවා. අවුරුදු සමය නිසා අප්‍රේල් මාසයේදී ශ්‍රී රශ්මි අපි ගොඩක් කාර්යබහුල වෙලා තියෙනවා. දැනටමත් අපව සංගීත ප්‍රසංග කිහිපයකටම සම්බන්ධ කරගෙන තියෙනවා.   

ශ්‍රී රශ්මි කණ්ඩායමේ සාමාජිකයෝ තවමත් පාසල් යන වයස්වල දරුවෝ..

ඔව්, මේ සියළු දරුවන්ගේ දෙමව්පියෝ සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ අය. විශේෂයෙන්ම මේ දරුවන්ගේ තාත්තලා. සංගීතය ගැන දැනුමක් තියෙන හා සංගීතය ගැන ඉගෙන ගනිමින් ඉන්න දරුවෝ ටිකක් තමයි මේකට අපි එකතු කරගත්තේ. ඉතින් සංගීත කණ්ඩායම ආරම්භ කරන්න කලින් අපි මේ අයට සංගීත පිළිබඳව දැනුමක් අවබෝධයක් ලබා දුන්නා මාස හතරක් විතර. ඊට පස්සේ තමයි මේ අයව අපි ප්‍රසංග වේදිකාවට යොමු කළේ. ඒ වගේම විශාල මුදලක් වැය කරලා මේ අයටම කියලා ශබ්දාගාරයකුත් මම හදලා තියෙනවා දැන්. සංගීත කණ්ඩායම ආරම්භ කරපු මුල් කාලේ බොහෝ අයගේ උනන්ඳුවක් තිබුණ මේ ළමයි ගැන. මම හිතන්නේ ඒ තිබුණ උනන්ඳුව නිසාම මේ දරුවන්ගේ මංගල ප්‍රසංගය නරඹන්න දොළුව ගල්පිල්ල ක්‍රීඩාංගණයට ඉතා විශාල ජනකායක් එකතු වෙලා හිටියා පෙබරවාරි 15 වැනිදා.

කොහොමද මේ අයව ප්‍රසංගවලට සම්බන්ධ කරගන්නේ..

මම තමයි මේ සංගීත කණ්ඩායමේ කළමණකරු. ඉතින් මා හරහා තමා මේ අයව සම්බන්ධ කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ශ්‍රී රශ්මි අපි ප්‍රසංග භාරගන්නේ සිකුරාදා හා සෙනසුරාදා දිනවල පමණයි. මොකද, ඉරිදා දිනවල අපිට ළඟ ප්‍රදේශයක ඇරෙන්න ප්‍රසංග භාරගන්නේ නැහැ. හේතුව මේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට එය බාධාවක් වෙන නිසා. ඉරිදා දින ප්‍රසංග භාරගන්නේ සඳුදා දවස නිවාඩු දිනයක් නම් පමණයි. මොන දේ කළත් මම මුලිකත්වය දෙන්නේ මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට. ශ්‍රී රශ්මි සංගීත කණ්ඩායමට අමතරව තව මම රංග මාතා කියලා නර්තන කණ්ඩායමකුත් පවත්වාගෙන යනවා. ඉතින් ඒ නර්තන කණ්ඩායමෙත් ඉන්නේ තවමත් පාසල් යන දරුවෝ. ඉතින් ඔවුන්ගේ අධ්‍යාපනයට මුලීකත්වය දිලා තමයි අපි කලා කටයුතු භාරගන්නේ. සංගීත කණ්ඩායම වගේම නර්තන කණ්ඩායම සම්බන්ධ කරගන්න පුළුවන් මගේ 0779316171 කියන අංකයට කතා කළොත්.

බුද්ධික සේනාධීර