පොටෝ ෂූට් එක දැක්කම අපි බැඳලා කියලා කට්ටිය හිතුවා
ගයාන් ගුණවර්ධන, නොහොත් ‘පාර දිගේ’ ආදරණීය ‘භාණු’ තමයි මේ. ‘භානු’ දුප්පත්, ඒ වගේම හරිම ආදරණීය කොල්ලෙක්. සැබෑ ජීවිතයේදී ගයාන් මොන වගේ කෙනෙක් කියලද ඔබ හිතන්නෙ? මොකක්ද එයාට පූජනී භාග්‍යා එක්ක තියෙන සම්බන්ධය? මේ දෙදෙනා හොර රහසේම විවාහ වූ බවට පසුගිය දිනවල ගොසිප් අඩවිවල පවා පළවුණා. ඒවායෙහි ඇත්ත නැත්ත, ගයාන්ගෙන් අහමු.
ගයාන්, මේ දිනවල ‘පාරදිගේ’ නේද?
ඔව්, අපි ඔක්කෝම ‘පාරදිගේ’ නෙ. ‘භානු’ කියන්නේ හරිම සාධාරණයට ගරු කරන, සංගීතයට ආදරය කරන, සහෝදර සහෝදරියන්ට ගොඩාක් ආදරය කරන, පාරේ සංගීතය කරන ශිල්පියෙක්. එයාගෙ අරමුණ කවදාහරි දවසක හොඳ ගමනක් යාමයි. මේ වගේ චරිත එක්ක හැඩ වූ පාර දිගේ ඇත්තටම ලස්සන කතාවක්.
ඒ, පාරදිගේ ‘භානු’ නෙ? දැන් ඉතින් සැබෑ ජීවිතේ පූජනී සහ ගයාන්ගෙ ආදරය ගැනත් කියමු?
පූජනී සහ මම ඇත්තටම හරි හොඳ යාළුවෝ. කලා ජීවිතයේදී මට හමුවූ හොඳම හිතවතියක්, මගේ ජීවිතයේ ළඟින්ම ඉන්න මිතුරියක්. කලා ක්ෂේත්රයේ යාළුවෝ ගොඩාක් හිටියට, සමීප මිතුරන් ඉන්නේ ඉතාම අතළොස්සයි. ඒ සුළු දෙනාගෙන් කෙනෙක් තමයි පූජනී, අපි සුළු පිරිස එකතුවෙලා තමයි එකට ගමන් යන්නෙ. එකට පාටි දාන්නෙ. තවත් විදියකට කිව්වොත් පූජනී කියන්නෙ මාව හරියට තේරුම්ගත්ත කෙනෙක්. අනෙක් අය ගැන කිව්වොත් දුෂේනි, සචින් චතුරංග, ඉඳුවර සූරියබණ්ඩාර, කුසල් මධුරංග, සංගීත් ප්‍රභූ, ඉෂාන් වන්නිආරච්චි මගේ ළඟින්ම ඉන්න යාළුවො ටිකයි. ඒ අය මගේ පවුලේ සහෝදර සහෝදරියන් වගේ. මගේ මිතුරිය පූජනී හරිම හොඳ කෙනෙක්. මගේ ආදරය දිනා ගත්ත මිතුරියක්.
‘පූජනී’ ඒ විදියට ආදරණීය මිතුරියක් බවට පත්වුණේ ඇයි?
2019 දී හුස්මක් තරමට ටෙලි නාට්‍යයේ රඟපාද්දි තමයි මට පූජනීව හමුවුණේ. ඒ වෙද්දි මම ගීත ගායනයට ටිකක් විරාමයක් දීලා රංගනයට ඇවිත් හිටියෙ. අනේ අපරාදේ ඔයා සිංදු කියන්නෙ නැත්තෙ? ඔයාට ලස්සන කටහඬක් තියෙන්නෙ කියලා ඒ වෙලාවෙ පූජනී ඇවිත් මට කිව්වා. ඒ වනවිටත් මියුසික් වීඩියෝවලට ඉඳලා එයාට ඒ ගැන මට වඩා උනන්දුවක් තිබුණෙ. ඔයා ආයෙත් මියුසික් වීඩියෝ එකක් කරන්න කියලා මාව ධෛර්යමත් කළා. ඒත් එක්කම කසුන් සත්සර මට ඔබ වෙනුවෙන් ගීතය නිර්මාණය කරලා දුන්නාම, ‘පූජනී’ ඒ මියුසික් වීඩියෝවෙ රංගනයට පෙනී සිටියා. ඒ ගීතය ගොඩාක් ජනප්‍රිය වුණා. ඒ මියුසික් වීඩියෝවට ප්‍රචාරයක් ලබා දෙන්න අපි දෙන්නා බ්‍රයිඩ්ල් ෆෝටෝ ෂූට් එකක් පවා කළා. ඒ නිසා බොහෝ දෙනෙක් හිතුවෙ අපි දෙන්නා මැරි කරලා කියලයි. ෆොටෝ ෂූට් එක ඒක තමයි හේතුව. කොහොම වුණත් එදා ඉඳලා අපි දෙන්නා දෙන්නට දෙන්නා කතා කරමින් වැඩ කරගෙන යන්න පටන් ගත්තා. එයා මගේ හොඳම ආදරණීය මිතුරියක් බවට පත්වුණේ ඒ විදියටයි.
ගයාන්, පූජනීගෙ දකින හොඳම ගුණාංගය මොකක්ද?
වර්තමානයේ අපට හොඳ රංගන ශිල්පීන්-ශිල්පිනියන් රැසක් සිටිනවා. ඒ අතරින් මම දැකපු බොහෝම ආදරණීය චරිතයක් පූජනී. තනි තීරණ ගන්න, එක මතයකට ආවොත්, ඒ මතයේ සිටින වචන වෙනස් කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම අහිංසකයි. පොඩි සැර ගතියකුත් තියෙනවා. ඒ සියල්ල අතරේ ගැහැණියකට තිබිය යුතු ලාලිත්‍ය එයාට තියෙනවා.
රඟපෑමට එහා ගිය ඇයගේ වෙනත් දක්ෂතා ලෙස ඔබ දකින්නෙ?
ඇය හොඳ රංගන ශිල්පිනියක්. ඩයලොග් එහෙම හොඳ මතකයේ තියාගෙන මූඩ් එක අනුව හොඳට රඟපාන කෙනෙක්. එයා හොඳ මොඩ්ල් කෙනෙක්. මොඩ්ල් කෙනෙකුට තිබිය යුතු ලාලිත්‍ය ඇයට තියෙනවා. ඒ පැත්තෙන් දිගටම වැඩ කරන්න කියලා මම කිව්වා. ඒ වගේම එයාට ගැයුමට සහ නිවේදනයටත් හැකියාවක් තියෙනවා.
මේ යාළුකම මෙච්චර සමීපව තියෙන නිසා ගෙවල්වලින් මොනවද කියන්නෙ?
ගෙවල්වලිනුත් අපිට එහෙම ප්‍රශ්න නැහැ. මොකද හොඳ යාළුවන්ට ප්‍රශ්න තියෙන්න විදියක් නැහැනෙ.
‘පූජනී’ බල්ලො ඇති කරන්න හරිම ආස කෙනෙක්නෙ. ඒ වැඩේට ගයානුත් උදව් කරනවද?
පූජනිලගෙ ගෙදර බල්ලො දහයක් පහළොවක් විතර සහ පූසන් දහයක් විතර ඉන්නවා. එයා ඒ විදියට බල්ලො-පූසො ඇති කරද්දි මම මාලු ඇති කරන්න කැමැති කෙනෙක්. පූජනිලගෙ ගෙදර හිටපු මාලු ටික දැකලා මම පිස්සු වැටිලා. මම ඒ මාලු ටැංකිය අපේ ගෙදර අරන් ආවා. මාලු බෝ කරන විදිය පවා මම දන්නවා. මීට පෙර අපේ ගෙදර බල්ලො ඇති කරලා තිබුණෙ නැහැ, පූජනී නිසා අපේ ගෙදර දැන් බල්ලෙකුත් ඇති කරනවා. අපේ ගෙදර ආ වෙලාවක අපෙ අම්මගෙ සහ අක්කගෙ ඔලුවට ඒ අදහස ගෙනාවෙ පූජනී. කොහොම හරි දැන් අපේ ගෙදර ඔන්න සුරතලෙක් ඉන්නවා. එයාගෙ නම ‘ලෝකී’ මම ෂූටිං ගිහින් ගෙදර එන්න රෑ වෙනකොට තාත්තා ඇහැරිලා ඉන්නවා. එයාට තනි රකින්නෙ ‘ලෝකී’. දැන් මට වඩා අපේ ගෙදර අය වැඩියෙන් ආදරෙත් එයාට. ඒ සුරතලා අපේ ගෙදරට අලුත් ආදරයක් ගෙනැල්ලා දුන්නා.
‘ගයාන්’ කොහොමද ගයාන්ගෙ ගායනා කටයුතු?
අලුත් ගීත කීපයක්ම ලැහැස්ති කරගෙන යනවා. ‘හිතේ කතාවේ’ ගීතය එළියට දාන්න හිතාගෙන ඉන්නෙ. ඒ අතරේ තවත් ගීත කරන්න හිටියත් රටේ වාතාවරණය එක්ක අපට ඒක මේ වෙලාවෙ කරන්න බැහැ. මිනිස්සු ඉන්නෙ ගීත අහන හෝ නරඹන මානසිකත්වයක නෙවෙයි. ඒ යහපත් පරිසරය උදාවුණාම නිර්මාණ ගමන ඉදිරියට කරනවා.
‘විවාහය’ ගැන තවම හිතලා නැද්ද?
හිතලා තියෙන්නෙ. විවාහ නොවී වුණත් ඉන්න පුළුවන්. ඒත් මම අපේ අම්මා-තාත්තාගෙන් විවාහයේ සුන්දරත්වය දුටුවා. ඒක ලස්සන පවුලක්. මාත් ආසයි, ඒ විදියෙ විවාහ ජීවිතයක් ගත කරන්න. ඒත් මේ වෙලාවෙ විවාහ වෙලා, රටේ පවතින තත්ත්වය එක්ක මගේ දරුවකුට දුක් දෙන්න මම කැමැති නැහැ. දරුවකුට කාලකණ්නි නොවී ජීවත්වීමට ඉඩ දෙන්න ඕනෑ. රට ගිලුණොත් අපිත් ගිලෙනවා. ඒත් මේ රටෙන් පැනලා යන්නෙ නැහැ. ආදරණීය ජනතාව එක්ක නැගී සිටින්නට වෙර ගන්නවා.
තරුණයකු ලෙස මේ රට යහපත් තැනකට ගේන්න ඔබ කරන යෝජනාව මොකක්ද?
එක පාරටම හිතාගන්න අමාරුයි. මේ වෙලා තියෙන ණය කන්දරාව සහ ප්‍රශ්න එක්ක හරි අමාරුයි උත්තරයක් දෙන්න. මේ හිටපු අයගෙන් කවුරු ආවත් වෙන්නෙ පෙර සිදුවූ දේ විතරයි. ඉතින් මොන පක්ෂයකින්, පාටකින් ආවත් කාලයකට අපට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්න වේවි. ඒ ප්‍රශ්න ටික විසඳිලා වෙනසක් වූ පසුව තමයි, විවාහය ගැන හිතන්නෙ. අපේ සම්පත් හරියට භාවිතා කළොත්, ඩොලරය පරද්දවන්න රුපියලට පුළුවන් වේවි.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ