පුංචි තිරේ පොඩිවට දැකපු මං රිදී තිරේ ලොකුවට දකින්න ආසයි
පුංචි තිරයේ මේ දිනවල කතාබහට ලක්වන චරිතයක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කරගන්න හිතුවා. ඔහු නමින් සංගීත් ප්‍රභූ.
සංගීත් පුංචි තිරයේ දකින්න ඉන්නෙ මොන නිර්මාණ හරහාද?
මේ දිනවල නම් මම සම්බන්ධ වෙලා ඉන්නෙ ‘නාඩගම්කාරයෝ’ සහ ‘ළංවී’ නාට්‍ය දෙකට තමයි. නාඩගම්කාරයෝ කවඩියා සහ ‘ළංවී’ හි මනු කියන චරිතයන් තුළින් දකින්න ඉන්නෙ.
‘ළංවී’ හි මනුට මේ දිනවල හොඳ ප්‍රතිචාරයක් තියෙනවා නේද?
ඔව්. ඇත්තටම මම රංගනයෙන් දායක වන අලුත්ම නිර්මාණය තමයි ‘ළංවී’ ඒ චරිතය හරිම සරළ ජීවිතයක් ගත කරන කොල්ලෙකුගෙ චරිතයක්. ඇත්තටම ලොකු වෙනසක් මේ චරිත රංගනය. මෑත කාලයේ මම රංගනයෙන් දායක වුණු කවඩියා චරිතයටත් ඉහළ ප්‍රතිචාරයක් ලබා ගන්න හැකිවුණා. ඒ චරිතය ගමේ හැදුණු වැඩුණු බොළඳ ටිකක් මෝඩ වගේ චරිතයක්නෙ. ඉතින් ඊට හාත්පසින්ම වෙනස් වූ චරිත රංගනයක් තමයි ‘ළංවී’ හි මනු කියන්නෙ. ඉතින් මේ නාට්‍ය නිර්මාණ දෙකට තමයි මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ.
සංගීත්ට වැඩිපුරම ලැබෙන්නෙම බරක් පතළක් නැති සෙල්ලක්කාරම චරිත රංගනයන් නේද?
ඔව්. ඇත්තටම මට ගොඩක් ලැබෙන්නෙම කෙළිලොල් දඟකාර චරිතම තමයි. ඒ සමහර විට මගේ වයස සහ පෙනුම නිසා වෙන්නත් ඇති. ඉතින් මම ගොඩක් ආසාවෙන් තමයි ඒ චරිත භාර ගන්නෙත්. නමුත් මට මේ හැම චරිතෙකටම වඩා වෙනස් චරිතයක් ලැබුණා මීට කාලයකට පෙරදි වගේ. ඒ ‘සක්කාරං’ නාට්‍යයේ පොඩි නිලමෙ චරිතය. ඒ චරිතය ලොකු වෙනසක් වුණා මට. ඉතින් ඒ වගේ එකිනෙකට වෙනස් චරිතත් නොලැබුණාම නෙමෙයි. කොහොමත් මම ලැබෙන චරිතයට මගේ පැත්තෙන් උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ කරනවා.
චරිතවලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ කරන නිසාම වෙන්න ඇති පසුගියදා සම්මානයටත් පාත්‍ර වුණේ? ඉතින් ඒ ලැබුණු සම්මානය ගැන කියමු?
මට ලැබුණෙ 2021 වසරේ නැගී එන නළුවාට හිමි සම්මානය. රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී. ඉතින් මට ඒ සම්මානය ලැබුණෙ ‘පෝර්ක් වීදිය’ නිර්මාණය වෙනුවෙන්. මේ සම්මානය ලබා ගන්න මට ලොකුම සහයෝගය සහ ශක්තිය ලැබුණෙ මෙහි නිර්මාණ අධ්යක්ෂවරයා සාලින්ද රත්නායක මහත්මයාගෙන්, ඔහුට තමයි මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ඒ වගේම ‘පෝර්ක් වීදිය’ නාට්‍ය කණ්ඩායම විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටියෙ කලා ක්ෂේත්රයේ ප්‍රවීණ ජනප්‍රිය කලාකරුවන් රැසක්. ඒ සියලුම දෙනාගේ සහයෝගය මත තමයි මට මේ සම්මානයට යන්න පුළුවන් වුණේ. ඒ හැමදේම එක්ක මම හිතනවා මගේ චරිත රංගනයටත් මම සාධාරණයක් ඉෂ්ට කළා කියලා. සාධාරණයක් ඇතිව මට මේ සම්මානය ලබා ගන්න හැකිවුණා කියන දේත් මගේ හිතේ තියෙනවා ඇත්තටම.
මේ චරිත රංගනයට ප්රේක්ෂකයන්ගෙන් තිබුණෙ කොයිවගේ ප්රතිචාරයක්ද?
පෝර්ක් වීදියේ දේව් කියන්නේ අඩු වයසින් විවාහයට පත්වුණු සමාජය තුළ ලොකුකමට ජීවත් වෙන්න හදන කට්ට මගඩි චරිතයක්. ඒ චරිතය ආදරණීය නොවුණත් ප්රේක්ෂකයො ආදරයෙන් වැළඳ ගත්තා. ඒ චරිත රංගනය ඉතින් මගේ ජීවිතේටත් වාසනාවක් ගෙනාව කියලා හිතනවා.
සංගීත් මේ සම්මානය ලබා ගන්න වේදිකාවට යද්දි ගොඩක් දෙනෙක් සංවේදී වුණු මොහොතක් බවට පත්වුණා නේද?
ඔව්. ඇත්තටම මම මේ සම්මානය ලබා ගන්න ගියෙ අම්මත් එක්ක. විශේෂයෙන්ම කියන්න ඕනෑ මම රංගන ශිල්පියෙක් විදියට මේ ක්ෂේත්රයේ ඉන්නෙ මගේ අම්මා නිසා. ඇයට තමයි ඕනෑ වුණේ මාව නළුවෙක් කරන්න. ඉතින් අද මම ඉන්න තැන අම්මාගේ සැබෑවුණු හීනයක් විදියට මම දකින්නේ. ඉතින් අම්මා මට මීට අවුරුදු කීපයකට පෙරදි වගේ කිව්වා පුතේ ඔයා අනිවාර්යයෙන්ම නළුවෙක් වෙනවා. නළුවෙක් වෙලා ඔයා කවදාහරි සම්මානයක් ගන්න යද්දි මාවත් වේදිකාවට එක්කන් යන්න කියලා. ඉතින් ඒ වචන ටික මගේ හිතේ තිබුණා. එදා ඒ සම්මාන උළෙලෙ මගේ නම කිව්වම මට අම්මා කියපු ඒ කතාව තමයි මුලින්ම මතක් වුණේ. ඉතින් මම මගේ අම්මත් එක්කම ගිහින් එදා ඒ සම්මානය අතට ගත්තෙ කියාගන්න බැරි සතුටකින්.
කවදාහරි සම්මානයක් ගන්න හිතේ බලාපොරොත්තුවක් තිබුණද?
අනිවාර්යෙන්ම. කවුරුත් කැමතියි සහ බලාපොරොත්තු වෙනවා තමන් නියැළෙන ක්ෂේත්රයේ යම්කිසි ඇගයීමකට පාත්‍ර වෙනවනම්. ඉතින් මටත් බලාපොරොත්තුවක් තිබුණා මම නියැළෙන ක්ෂේත්රයෙන් මට වටිනාකමක් ලබා ගන්න. මේ ගමන ඇත්තටම මම ආවෙ ලොකු කට්ටක් කාලා. ඉතින් ඒ ගමන් මඟ දුෂ්කර වුණත් අද මට ලැබිලා තියෙන අගැයුම් සහ ප්‍රතිචාර ගැන මාරම සතුටක් හිතට දැනෙනවා.
සංගීත් කිහිප වරක්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානයටත් නිර්දේශ වුණා නේද?
ඔව්. කිහිප වතාවක්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානයට නිර්දේශ වුණා. ඒ තුළින් පසුගියදා පැවති සම්මාන උළෙල තුන්වන ස්ථානය ලබා ගන්නත් හැකි වුණා. ඇත්තටම මට මේ සම්මානය වෙනුවෙන් නිර්දේශ වීමම මාර විදියට වටිනවා. මොකද ජනප්‍රිය කියන්නෙ ජනයාට ප්‍රිය වෙනවා කියන දේනෙ. එවැනි චරිතයක් වෙන්නට මටත් හැකියාව ලැබීම ගැන ඇත්තටම කියන්න වචන නැහැ. ඒ තරම් සතුටුයි. මේ තරම් ජනගහනය ඉන්න රටක මට මේ වගේ ප්‍රතිචාරයක් ලබා ගන්න හැකිවෙලා තියෙනවා කියන්නෙ ඒක මම පෙර කළ පිනක් විදියට මම දකින්නේ. මොකද ජනයාට ප්‍රිය මනුෂ්‍යයෙක් වෙනවා කියන එක මාරම අමාරු වැඩක්නෙ. ඉතින් මම මේ රැකියාවට ගොඩක් ගරු කරනවා සහ ආදරේ කරනවා.
රංගනය කියන්නෙ සංගීත්ගේ වෘත්තියද දැන්?
මගේ ජීවිතේම දැන් කලාව තමයි. නමුත් ඒ වෙනුවෙන්ම අපි කාණ්ඩ වෙන්න හොඳ නැහැ. අද එකම දෙයක් කරගෙන ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා තමන්ගෙම කියලා දෙයක් කර ගන්න ඕනෑ. ඒ නිසා මම රංගනයත් එක්ක තවත් ව්‍යාපාර කිහිපයකුත් කරගෙන යනවා. දැන් මගේම කියලා සැලුන් එකකුත් විවෘත කළා. ඒ වගේ අමතර දෙයක් නොකර කාලා බීලා, ගෙයක් හදාගෙන වාහනයක් එහෙම අරගෙන ඉන්න බැහැනේ.
කලා ක්ෂේත්රයේ ඉදිරි සැලසුම් කොයි වගේද?
ඇත්තටම මගේ ජීවිතේ තිබුණු ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගන්න හැකිවුණා. ඒ ලංකාවේ ප්‍රසිද්ධ අධ්යක්ෂවරයෙක්ගෙ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. පුංචි තිරයේ පුංචිවට දැකපු මාව රිදී තිරයේ ලොකුවට දකින්න මමත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ. ඉතින් ඒ හැමදේමත් එක්ක මටත් තවත් සතුටු වෙන්න පුළුවන් දේවල් ටිකක් ඉදිරියේදී කර ගන්න හැකිවෙයි.
ධනු විජේරත්න