පුංචි තිරයෙ පෙනී සිටියේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් - ‘ඌරෝ අතර පෝක්’ රංගනය ගැන මට තක්සේරුවක් තිබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නාට්‍යකරුවන්ගේ මහා මංගල්‍යය රාජ්‍ය නාට්‍ය උළෙල පසුගියදා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. මෙහිදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ සමිත ප්‍රධීෂ්වරය. ඒ අසංක සායක්කාරගේ ‘ඌරෝ අතර පෝක්’ නාට්‍යයේ කළ අද්විතීය රංගනය වෙනුවෙනි. ප්‍රවීණ වේදිකා නළුවන් සමඟ නිර්දේශ වෙමින් එම සම්මානය සමිත දිනා ගැනීම සුවිශේෂී කාරණාවකි. ඊට පෙර දින පැවැති රයිගම් ටෙලි සම්මාන උළෙලේදී පෝක් වීදිය ටෙලි නාට්‍ය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සම්මානය සමිත දිනා ගත්තේය. සැඳැල්ල මේ කතා බහ රංගනයේ නව මං සොයා යන අපූරු රංගවේදියෙකු සමඟය.

සමිත ප්‍රධීෂ්වර හොඳම නළුවා දක්වා ආ ගමනේ අතීතය කවරාකාරදැයි සොයා බලමු.

කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඉඳන් මම ක්‍රීඩකයෙක් විදියට තමයි කටයුතු කළේ. ඒ කාලේ නාට්‍යවලට කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණියාට පසු ජ’පුර පරපුර හා එක්වෙලා නාට්‍ය කටයුතුවලට සම්බන්ධ වුණා.

ඒ අනුව 1999 විතර සුමේධ මුණසිංහ නිෂ්පාදනය කළ ‘රාජිනී ගැබ්බරයි’ කියන කෙටි නාට්‍යයට රංගනයෙන් දායක වෙලා හොඳම නළුවාට නිර්දේශ වීමට අවස්ථාව ලැබුණා. ක්‍ෂේත්‍රයේ යම් දෙයක් කළ හැකියි කියන ආත්ම විශ්වාසය ඇති වුණේ එතනදී. ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් යෞවන හා රාජය නාට්‍ය උළෙලවලට එක්වීමට අවස්ථාව ලැබුණා. ඒවායේ සම්මානනීය වීමට අවස්ථාව ලැබුණ. 2004 දී චතුරානි තිලකරත්නගේ සෙල්ලම් ගෙදර නාට්‍ය වෙනුවෙන් හොඳම වේදිකා පරිපාලනයට සම්මාන හිමි වුණා.

මගේ කලා ගමන් මගේ ලොකුම සංදිස්ථානයක් වෙන්නේ අසංක සායක්කාර නාට්‍යවේදියා එක්ක එක්වීම හරහා. ඔහු මගේ ජීවිතයට හැම මොහොතෙම වටිනා දේවල් ගෙන ආ නාට්‍යකරුවෙක්. 2012 දී ශ්‍රීමත් සුමන නාට්‍ය වෙනුවෙන් කෙටි නාට්‍ය හොඳම නළුවා සම්මානය දිනා ගැනීමට හැකි වුණා. 2018 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලෙන් හැපී හනිමුන් නාට්‍යයට සම්මාන ලැබුණා. දිග නාට්‍ය අංශයෙන් පළමු වරට තමයි හොඳම නළුවා සම්මානය හිමි වුණේ. පළමුවරට රාජිත දිසානායක තමයි මම දිගු නාට්‍යයකට සම්බන්ධ කර ගත්තේ. ඔහුත් මේ මොහොතේ සිහිපත් කළ යුතුයි. එසේම කැලණිය විශ්වවිද්‍යාලයේ අනුරාධ සුබසිංහ නිර්මාණය කළ ‘ඉන්ද්‍රජාලික පෙම්වතිය’ නාට්‍යයටත් මට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. ඊට අමතරව අසංක සායක්කාරගේ ’මං කෙළින් මිනිහෙක්’ නාට්‍යයටත් මට ප්‍රේක්‍ෂක ප්‍රතිචාර හිමි වුණා. ඉදිරියේදී ඔහුගේම ‘කොටු’ නාට්‍යයෙනුත් කරළියට පැමිණීමට නියමිතයි.

ඌරෝ අතර පෝක්’ නාට්‍යයේ ඔබ රඟපාන්නේ නළුවෙකුට සාමාන්‍යයෙන් රඟපාන්න ලේසි චරිතයක් නෙවේ. ඔබ එහි චරිත 13ක් විවිධ අවස්ථාවලට මාරුවෙමින් නිරූපනය කරනවා. මේ චරිතය ඔබට මොන තරම් අභියෝගයක් වුණාද?

ඒකට අභියෝගයකට වඩා හොඳ අවස්ථාවක් විදියට මම සලකන්න කැමැති. තමන්ගේ රූපණ ශක්‍යතාව හරහා බලන්න සහ ප්‍රදර්ශනය කරන්න ලැබුණු හොඳ අවස්ථාවක්. මේ හරහා මට මං ගැන හොඳ තක්සේරුවකට එන්න අවස්ථාව ලැබුණා. මට එක චරිතයකට ඉඳලා අනිත් චරිතයට මාරුවෙන්න තිබෙන්නේ තත්පර 15ක් පමණයි. මං මේ චරිතය අභියෝගයක් විදියට නොසලකන්නේ එහෙම උනොත් ප්‍රේක්‍ෂකයා ඉදිරියට යාමට පෙර මට තැතිගැන්මක් ඇතිවන නිසයි.

ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව මා කළ නිරූපණය ප්‍රේක්‍ෂකයාට ප්‍රක්ෂේපණය වූ බව මට පැහැදිලියි.

රාජ්‍ය නාට්‍ය උළෙලේ තරඟකාරී නාට්‍ය රැසක් තිබුණා. සෞම්‍ය සංජීව ජයනාත් වැනි දක්‍ෂයන් රැසක් ඔබ සමඟ තරගයට හිටියා. සම්මාන උළෙලට යන්න කලින් හොඳම නළුවා වෙයි කියලා පුංචි හරි බලාපොරොත්තුවක් තිබුණද?

හොඳම නළුවා නෙවෙයි කිසියම් හෝ ඇගයීමක් ලැබෙයි කියන බලාපොරොත්තුව තිබුණා. අපි පෘතග්ජන අය විදියට ඒක නැහැයි කියන්න බැහැ. මා ඌරෝ අතර පෝක් නාට්‍යයේ කළ චරිතය පිළිබඳ මට මං ගැනම තක්සේරුවක් තිබුණා. ඒ වගේම ප්‍රේක්‍ෂකාගාරයෙනුත් හරි ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණා. මේ දෙකම සම්පූර්ණ වුණාම සම්මාන උළෙලෙදී මොනවම හරි වෙයි කියන බලාපොරොත්තුව ඇති වුණා. සෞම්‍ය කියන්නේ ඉතා ඉහළ මානයක රංගන කෞශල්‍යයක් තියෙන කෙනෙක්, ජයනාත් සංජීව ලා කියන්නේ එයාලගේ රංගනය බලලා අශ්වාදය ලබපු කෙනෙක්. ඒ බව මං ඒ දෙන්නටම කියලා තියෙනවා. සෞම්‍ය තාම මට මුන ගැහිලවත් නැහැ.

ඒ ශිල්පීන් සමඟ නිර්දේශවීමම ලොකු ජයග්‍රහණයක් විදියට තමයි මම සලකන්නේ.

ඔබ ළඟ ළඟ සම්මාන උළෙල දෙකකදීම සම්මානනීය වෙනවා. රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම සහය නළුවා සම්මානය ලැබෙනවා.

අසංක සායක්කාර කියන්නේ මට හැමවිටම කලා ක්ෂේත්‍රයේ මට වාසනාව හා සාධනීය දේවල් ළඟා කර දුන් සහෝදරයෙක්, සාලින්ද රත්නායක අධ්‍යක්‍ෂණය කළ ඒ නාට්‍යයේ පිටපතක් අසංකගේ ඒ නාට්‍යයේ විල්සන් චරිතයට තමයි මට හොඳම සහය නළුවා සම්මානය හිමිවන්නේ. මම අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් තමයි ටෙලි නිර්මාණවලට දායක වී තිබෙන්නේ. ඒක භාග්‍යයක් සහ වාසනාවක් විදියට මම සලකනවා.

ඔබ කෙටිනාට්‍යවල කාලයක් කටයුතු කරමින් සිටින අතරේ හිටපු ගමන් විදෙස්ගත වෙනවා. ඒක ඔබේ රංගන ජීවිතයට ඔබම කරගත් අවැඩක් නෙවේද?

මම හැම මොහොතෙම විදේශ ගත වුනේ මගේ පවුලේ අභිවෘද්ධිය සඳහාමයි. මොන දේ ලැබුණත් දවස අවසානේ අපේ සුවිශේෂී සංස්ථාව වෙන්නේ පවුල් සංස්ථාවනේ. මට විදෙස් ගතවීමට අවස්ථා දෙකම ලැබුණේ මට සම්මාන හිමි වුණාට පස්සේ. මම අවුරුදු හතක් පමණ ජපානයේ සහ එංගලන්තයේ තමයි කටයුතු කළේ. කලාව තුළ යම් රික්තයක් ඒ නිසා ඇති වුණත් මට කනගාටුවක් නැහැ. මං හිතනවා පමාවී පිපෙන මල් සුවඳයි. මගේ මගේ ගමන ගැනත් මට තෘප්තිමත්. මං කිසිම පසුතැවීමක් නැහැ. මට තව කලාව තුළ ඉදිරියට යන්න කල් තියෙනවා කියලා මම හිතනවා.

සම්මාන ලැබුණම සමහරු තව පියවරක් ඉදිරියට තියෙනවා වගේම සමහරු නැත්තටම නැති වෙනවා. ඔබ අයිති මේ දෙකෙන් කෝකටද?

හොඳම නළුවා කියන්නේ සර්වකාලීනව මට ලැබුණු සම්මානයක් නොවේ. 2021 වසරේ වේදිකාගත වූ නාට්‍ය කීපයක් අතුරින් හා  විනිශ්චය මණ්ඩලයේ කීප දෙනෙක් එකතු වී කළ තෝරාගැනීමක්. මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් මට තිබෙනවා. සම්මාන ලැබීම නිසා මහා උත්කර්ශයක් ප්‍රහර්ෂයක් මම විඳින්නේ නැහැ. ඒ වගේම මගේ ගමන එන්න උදව් කළ මවුපියන් බිරිඳ දරුවන් සමීපතමයන් හැමෝටම ස්තූති කරන්න කැමති.

අමිල චින්තක ගමගේ