පුංචි කාලේ ලෑලි ගෙදරක පැදුරේ නිදාගත්තත් අපි හිටියේ සතුටින්
රංගනය යනු ඉතා පුළුල් ක්ෂේත්‍රයකි. එහි සීමා මායිම් මනාව හඳුනා ගනිමින් රංගනයේ යෙදෙන කුසලතා සපිරි ශිල්පීහු ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් ලෙස හඳුනා ගනිමින් ප්‍රේක්ෂකාගාරය ඔවුන්ව අගය කරයි. මෙවන් ශිල්පීන් නිරන්තර ජන ආකර්ෂණය දිනා ගනිමින් කලාවේ රැඳී සිටී. එලෙස දශක කිහිපයක් මෙරට වේදිකාව, ටෙලිනාට්‍ය හා සිනමාව යන මාධ්‍යයන් ත්‍රිත්වයෙහිම නිරත දක්ෂ රංගන ශිල්පියකු, ගායන ශිල්පියකු සමඟයි අද හදසර My Story කතාබහ. ඔහු නමින් රොඩ්නි වර්ණකුල. රංගනයේ යෙදුණ සෑම චරිතයක් ඔස්සේම ඔහු තම ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්තෙකි.
පාසල් වේදිකාව තමයි මගේ රංගනයේ ආරම්භය. හයවන ශ්‍රේණියේ සිටම මම පාසල් වේදිකාවේ කැපී පෙනෙන සිසුවෙක්. මගේ පාසල පමුණුගම මහා විද්‍යාලය. මම වේදිකාවේ රංගන ශිල්පියෙකු ලෙස පාසලේ විවිධ තරගවලට සහභාගී වුණා. අන්තර් පාඨශාලා තරගවලට සහභාගි වුණා. රංගනය විතරක් නෙවෙයි. කවි ගායනා කළා. ගීත ගායනා කළා. වාද විවාද කණ්ඩායම්වල හිටියා. මේ වගේ බොහෝ අංශවලින් පාසලේදී දක්ෂතා කුසලතා වඩවා ගන්න මට හැකිවුණා.
රොඩ්නිගේ මවත් පියත් දෙදෙනාම මේ වනවිට ජීවතුන් අතර නොමැත. ඔහුට අක්කලා දෙදෙනෙක්, මල්ලිලා දෙදෙනෙක් සහ එක් නංගී කෙනෙක් සිටින අතර සිය ළමා විය ඔවුන් ඇසුරේ ඉතා සොඳුරු බවයි ඔහු සිහි කරන්නේ.
අපි කුඩා කාලයේ හිමිවුණේ ඉතාම සරල ජීවන රටාවක්. තාත්තා රජයේ සේවකයෙක්. අම්මා රැකියාවක් කළේ නැහැ. මහා ලොකු ආර්ථික පසුබිමක් අපට තිබුණේ නැහැ. ඉතා කුඩා ලෑලි ගෙදරක අපි ජීවත් වුණා. බිම එලූ පැදුරක තමයි නිදාගත්තේ. කුස්සියේ වාඩිවෙලා අම්මා රහට උයලා දෙන කෑම ටික හයදෙනාම වටවෙලා කෑවේ. අම්මා හරිම දක්ෂ ආදරණීය කාන්තාවක්. පල්ලිය ඇසුරේ අපි හයදෙනා ආදරයෙන් යහමඟ රැගෙන ආවා.
රොඩ්නිගේ පියා දක්ෂ ටීටර් රංගන ශිල්පියෙකි. ගමේ සාජ්ජයක, වේදිකාවක නිතර හමුවූ ඔහු කලාවට හිතැති ආදරණීය පියෙකි. තාත්තා හොඳ සංගීතවේදියෙක්. එයා වාදනය කළේ ෆුට් බැලෝ සර්පිනාව. ඒක වාදනය කරමින් ගීත ගයනවා හරිම ලස්සනයි. ජාඇල බෝපිටිය ප්‍රදේශයේ ජීවත්වුණු අපිව පල්ලිය සමඟ ආගම සමඟ බොහොම බැඳීමෙන් කටයුතු කරන අතරේ සංගීතයට, ගායනයට රුචිකම් ඇතිව ළමා විය බොහොම සරල සුන්දර ලෙස ගත කළා. මම පාසලේ හතරවන පන්තියේ ඉඳන්ම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ හිටියා. මට වයස අවුරුදු පනහ වෙනකල්ම මම ගීතිකා කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටියා. මේ සියලු හැකියාවන් ඔප් නැංවූ මගේ මුල් ගුරුවරයා තමයි මගේ ආදරණීය පියාණන්. තාත්තා වාදනය කළ ෆුට් බැලෝ සර්පිනාවක් අදත් මගේ ළඟ තියෙනවා. තාත්තා ගමේ පොල් කොටන් වේදිකාවේ ටීටර් පෙන්නද්දී, සංගීත සාජ්ජවලදී තාත්තාට ගමේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර දකිද්දී මටත් ඒ ගැන ලොකු කැමැත්තක් උනන්දුවක් ඇතිවුණා. ඒ නිසාම කුඩා කාලයේදීම මටත් රංගනයට, රංගන ශිල්පියෙක් වෙන්න හිතේ ආසාවක් ඇතිවුණා. එහෙම නැතිව දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වෙන්න මම හීන දැක්කේ නැහැ. රංගන ශිල්පය මට ජීවිතේ බොහෝ දේ ලබා දුන්නා. ඒක හරිම වාසනාවක්. ඔහු පවසයි.
රොඩ්නි වර්ණකුල වෘත්තීය රංගන ශිල්පියකු ලෙස කලඑළි බැස්සේ ලූෂන් බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයෙනි. එයට මඟ කියන්නිය වූයේ ප්‍රවීණ කලාකාරණියක වූ අභාවප්‍රාප්ත අනුලා බුලත්සිංහල රංගවේදිනියයි. ඒ 1980 අවුරුද්ද. මම රංගනයේ පළමු ගුරුවරයා තාත්තානේ. ඒ කියන්නේ එයා මට මෙහෙම කරන්න කියලා ළංවෙලා ඉගැන්නුවේ නැහැ. හැබැයි එයා රඟපාන ආකාරය, ගී ගයන වයන ආකාරය ඔස්සේ ප්‍රායෝගිකව මට කියා දුන්නා. ඉතින් ඊට පස්සේ තමයි මම මේ කියන අසූව වසරේදී ටවර් පදනමේ පැවැත්වුණු පාඨමාලාවට යොමුවුණේ. එතැනදී තමයි මට අනුලා බුලත්සිංහල හමුවුණේ. එතුමිය තමයි මට වේදිකා නාට්‍යයක් කරනවා මම කියන්නම් කියලා මගේ ලිපිය අරන් ගිහින් මට මේ ගමන එන්න පාර පෙන්නුවේ. ඒ 1981 වසර. මම තමයි ඒ නාට්‍යයට එක්වුණ ආධුනිකම රංගන ශිල්පියා. එතකොට ටෙලිනාට්‍ය එහෙමත් නැහැනේ. ඒ නාට්‍යය තමයි තාරාවෝ ඉගිලෙති කියන වේදිකා නාට්‍යය. ලූෂන් බුලත්සිංහල නාට්‍ය නිර්මාණයක්. ඉන්පස්සේ වැනීසියේ වෙළෙන්දා, ආනන්ද ජවනිකා, මධුර ජවනිකා, නරි බෑණා ආදී ලෙස වේදිකා නාට්‍යය පනහකට පමණ ඔහු තම රංගන හැකියාව තුළින් දායකත්වය ලබා දී ඇත.
කුමටද සොබනියේ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්...
ගීතය ගයමින් වසර ගණනාවක් ගම දුව සැනසවූ නරිබෑණා වූයේ රොඩ්නි වර්ණකුලය. රෑපවාහිනිය ලංකාවට පැමිණීමත් සමඟ ටෙලිනාට්‍ය කලාව මෙරට ආරම්භ විය. 1988 වසරේදී රොඩ්නිද ටෙලි තිරයට සම්ප්‍රාප්ත විය. ඒ ඇන්ඩෘ ජයමාන්න අධ්‍යක්ෂණය කළ ගමේ විත්ති ටෙලි නාට්‍යයෙනි. එහි ඔහු ප්‍රධාන චරිතයක් නිරෑපණය කළ අතර බෝඩිම, වාඩිය, නෝනාවරුනි මහත්වරුනි, එතුමා, සෙදෝනා, නාන කාමරය, දර ගැරේජ් ආදී ටෙලිනාට්‍ය 25කට පමණ ඉන්පසු ඔහු රංගන දායකත්ව සැපයීය. එතුළින් ප්‍රේක්ෂකාගාරයේ ආදරය දිනාගන්නට ඔහුට ඉඩ ලැබුණේ ඔහුගේ රංගන දක්ෂතාව නිසාමය. එහෙත් ඔහු නිරන්තරයෙන් ප්‍රේක්ෂකයා හමුවූයේ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙසය. පුදුමය නම් කොතරම් දක්ෂතා දැක්වුවද ඔහුට කිසිදු සම්මානයක් ලබා නොදීමය.
වසර 40ක් පමණ වන මගේ රංගන දිවිය තුළ කිසිම සම්මාන උළෙලක සම්මාන ලබා නැහැ. එකම වතාවක් රාජ්‍ය නාට්‍ය උළෙලකදී කුසලතා සම්මානයක් හිමිවුණා. ඒ ගුරු තරුව වෙනුවෙන්. හැබැයි මට ජන සම්මාන නම් නිවස පිරෙන්නම ලැබිලා තියෙනවා. නිල සම්මානවලට නුසුදුසුය. ජන සම්මානවලට සුදුසුය කියලා තමයි හිතන්න තියෙන්නේ. ඔහු පවසන්නේ ඔහුට සුපුරුදු සැහැල්ලු සිනාවෙන්මය.
රොඩ්නි සිනමාවට ප්‍රවිෂ්ටය වනුයේ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ බහුබූතයෝ චිත්‍රපටයෙනි. ඉන් අනතුරුව සිකුරු හතේ, ගින්දරී, සුහද කෝකා, ක්ලීන් අවුට් ආදී චිත්‍රපට දහයකට පමණ ඔහු රංගනයෙන් දායකත්වය ලබාදී ඇත. ඔහුගේ ගායන හැකියාවද කලා ලොවේ ජනහද දිනූවකු වීමට ඔහුට අත්වැලක් විය. මේ වනවිට ඔහු ගීත දෙසීයක් පමණ ගායනා කර ඇත. සංයුක්ත තැටි කිහිපයක්ද එළිදක්වා තිබෙන අතර ප්‍රසංගවලදීද ඔහුට ඉතා ඉහළ ප්‍රතිචාර හිමිවන්නේ ඔහු සතු ගායන හැකියාව නිසාමය.
සිනමාව තුළ මම කළ සමහර චරිත ගැන ආපසු හැරී බලද්දී යම් පසුතැවීමක් නැත්තේමත් නැහැ. ගොඩක් වෙලාවට යාළු මිතුරුකම් නිසා භාරගත් සමහර චරිත පිළිබඳ ලොකු පැහැදීමක් නැහැ. පුංචි කනගාටුවක් ඇතිවෙනවා. හැබැයි වේදිකාව තුළ මා කළ කී දේ ගැන නම් මම ගොඩක් සතුටුයි. ප්‍රේක්ෂකයාත් හරිම සතුටුයි. මම දැන් අවුරුදු හතරකින් පමණ ටෙලිනාට්‍යයක් භාරගෙන නැහැ. දැන්නම් ඒවා කරන්න ගියාම හරිම අමුතු වටපිටාවක් තමයි තියෙන්නේ. වේදිකාව තුළ මේ තත්ත්වය නැහැ. හැබැයි ටෙලිනාට්‍යවලට ඉතා මෑතකදී රඟපෑම සඳහා එක්වූ නාට්‍ය දෙක තුනක් කළ නවකයින් ඉන්නවා ප්‍රවීණයින් මායිම් නොකරන. ඔවුන් සමහර වෙලාවට අපිව හඳුනන්නෙවත් නැති තරම්. සමහරවිට හඳුනගෙනත් නොදුටුවා සේ ඉන්න අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඇක්ෂන් කියන්න කලිනුත් ඔවුන් නිකම් රඟපාන්න වගේ.
වතාවක් චිත්‍රපට රෑගත කිරීමකදී ඉතාම කනගාටුදායක අත්දැකීමක් ලැබුවා. විජය අයියයි මමයි දෙන්නම ඒ චිත්‍රපටයේ හිටියා (ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත විජය නන්දසිරි මහතා) අපි දෙන්නගේ රෑගත කිරිම් නිමවෙලා අපිට වෙන්වූ නවාතැනේ විවේක කාමරයට අප දෙදෙනාම ගියා. ඒ යද්දී හැමතැනම කට්ටිය නිදි. එහෙම නැත්නම් වාඩිවෙලා. කිසිම ඇඳක, පුටුවක ඉඩක් නැහැ. එකම නවක ශිල්පියෙකුවත් විජය අයියාටවත් පුංචි ඉඩක් දෙන්න ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් අපි දෙන්නා එළියට ආවා. අපි දකිනවනෙ අනික් ඕනම රුකියාවක, ක්ෂේත්‍රයක ප්‍රවීණයින්ට සලකන ආකාරය. කිසියම් ගෞරවයක් තියෙනවනේ. මේ ක්ෂේත්‍රයේ ඒක දකින්න නැහැ. ඇත්තටම ඒක නම් මහ කලකිරීමක් දැනෙන තැනක්. මේ කලාව තුළ අපි යන මාවත එළිපෙහෙළි කළ පිරිසක් ඉන්නවනේ. අප ඔවුන්ට ගරු කළ යුතුයි. මම නම් මගේ ප්‍රවීණයන්ට ගරු කරනවා. ඒක නිරායාසයෙන්ම වෙන දෙයක්. රොඩ්නි පවසන්නේ සැබෑම හැඟීමකින්ය.
මේ වනවිට දරු මුණුබුරන් සමඟ බෝපිටිය තම උපන් ගමේ ජීවත්වන රොඩ්නි වේදිකාව සමඟ නිරත්තරයෙන් එක්වනු දැකිය හැක. ඔහුගේ ආදරණීය බිරිඳ ඉරානි සුබසිංහය. මේ දෙපළට ප්‍රසංගිකා, සමාධි නමින් දියණියන් දෙදෙනෙකුත් ඉරෝන් නමින් පුතෙක්ද වන අතර දියණියන් දෙදෙනාම විවාහ වී දරුවන් ලැබ සතුටින් ජීවිත ගෙනයති. එකම පුතා මේ වනවිට සිය උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටී.
ඔහු රංගනයේ යෙදුණ කතුරු මිතුරු, ගින්දරී 03, ජොබ්ලස් ඩග්ලස්, වීර පුතා චිත්‍රපට ඉදිරියේදී තිරගත විමට නියමිත අතර රොඩ්නිට ආදරය කරන ඔබට එම ආරංචිය වැදගත් වනු ඇත. මධුර ජවනිකා හා නරිබෑණා ඔස්සේ වේදිකාවේදී ඔහුව හමුවීමට අපට හැකිය. තම උපරිම හැකියාව තුළින් ප්‍රේක්ෂකයා හට අපූරු රසයක් ලබාදෙන ප්‍රතිභාපූර්ණ කලා ශිල්පී රොඩ්නි වර්ණකුල ඔබට තව බොහෝ කලක් නිර්මාණ ඔස්සේ තම ආදරණීය ප්‍රේක්ෂකයන් පිනවීමට හැකියාව ලැබේවායි හදසර අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
මොනිකා සේරසිංහ