නොසිඳි යුග යාත්‍රාවක ඇරඹුම ප්‍රේමයමයි
අනන්ත සංසාරයේ වීදියෙන් වීදියට සදානන්ද සරාගයක සරන ගමනේ අවසානය මම දකිමි. කියවමි. ඔව්. මරණයේ ද්වාරය අභියස ඒ අවසානය මම දකිමි. කියවමි. එහෙත් කෙළවරක් නොදකිමි. නොකියවමි. අනන්ත ගමනක තත්ත්පර, විනාඩි, පැය, දින, සති, මාස, වසර, කල්ප මෙතෙකැයි, කෙළවර මෙතැනැයි කියන්නට දන්නේම කවුද ඇත්තටම.. ඔබත් මමත් දන්නේ අවසානය ගැන විතරමයි. හැමදේකම... ඔව් හැමදේකම කෙළවර ගැන නොදන්න අපි දන්නෙ අවසානය ගැන විතරමයි...
ජීවිතය කියන්නෙම යුග යාත්‍රාවක්...
මම - භව - සසර.... ත්‍රිත්වය සම්මිශ්‍රණය වී සරන අනන්ත සුවිසැරියේදී ඔබත් මමත් කොයිතරම් නම් වාර ගණනක් සසර අතරමඟ වීදියෙන් වීදියට හමුවෙලා ඇද්ද? සංසාරයේ අක්මුල් විහිද ගිය ගමනක සමාරම්භය සොයා යන්නට තරම් මතක මංපෙත් සිසාරා ඇවිදින්න බැරි වුණත්, හුරුපුරුදු සුවඳක් දනවමින් ආත්මීය වූ ''මගේම'' හැඟීමක් දැනෙන්නේ එහෙම හමුවෙවී වෙන් වෙච්ච, වෙන්වෙවී හමුවෙච්ච ළබැඳි හිත්, ආදරණීය හිත් යළි යළිඳු මුණගැසෙද්දි වෙන්න ඇති නේද? ආදරයෙන් ආදරය විඳින්නත්, ආදරයෙන් වෛර ගින්දර පිරිමහන්නත්, සසර අතරමඟ නතර වෙච්ච ගනුදෙනු අවසන් කරන්නත්, මඟහැරුණු තැන ඉඳන් ඉතිරි දුර එකට යන්නත් අනේ මම දන්නෙ නැහැ තව තව... ඔව් අනේ තව තව බොහෝ දේ වෙනුවෙන් මේ සංසාරයේ අපි ආයෙත්, ආයෙත් ආයෙත් හමුවෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔබ?
සාගරත්, එරන්දිත්, සමාධිත් එක් භවයක හමුවෙනවා. ඒ හමුවීමේ සිට ආදරය එක්ක ඔවුන්ගේ ජීවිත ගලා යන හැටි, ඒ තුළ ඔවුන් අත්විඳින සොඳුරු සුවබර සේම, රළු පරළු අනපේක්ෂිත සංසිද්ධීන් සේම, නොසිතූ නොපැතූ තත්ත්පරයක මරණය අභිමුව දණ ගසන්නට සිදුවන ඛේදවාචකය ප්රස්තුත කරගෙන නිමැවුණ යුගාත්‍රා කෙළවරක් නැති සසර සක්මන ගැන දාර්ශනික මුහුණුවරකින් කතා කරන්නට දරන ප්‍රශංසනීය වෑයමක් විදිහටත් අර්ථකථනය කරන්න පුළුවන්. සාගරත් එරන්දිත් සසර මඟ නැවත හමුවෙනවා. එහෙත් සමාධි තවමත් සමාධි ලෙසින්ම සැරිසරනවා. පෙර භවයක නොවිසඳුණු සිදුවීම් දාමයක ගැට ලිහා ගනිමින් ආයෙත් ඔවුන් හමුවෙනවා. යුගාත්‍රා ප්රස්තුතය තුළ විහිදෙන්නේ එවන් සංසාර වියමනක අක්මුල් සංකේන්ද්‍රණය කරගත් අනුභූතියක්.
මේ සංසාරයේ අපිව රඳවන, භවයෙන් භවය අප කැටුව යන බන්ධනය තමයි ප්‍රේමය. ප්‍රේමයේ මුල් සිඳ බිඳ සුණු විසුණු කරන්නට හැකි දවසක යළි යළිඳු තනන්නට සංසාර මන්දිරයක් නැහැ. එදාට සංසාර මන්දිරයේ මූලය අංශු මාත්‍රයක්වත් ශේෂ නොකර බිඳ දමා අවසන්. ඔව්... ප්‍රේමයේ අවසන් අංශු මාත්රයත් සිඳ බිඳ දැමූ මොහොතක සංසාර මන්දිර තනමින් යනෙන භව සුවිසැරිය සමාප්තයි. කෙළවරයි. අපි ලෝකයට සපැමිණෙන, නික්මෙන සියලු සංසාර යාත්‍රාවන් නිමැවෙන්නේ ප්‍රේමය නිසාමයි. සියලු තෘෂ්ණාවන්, සියලු ප්‍රාර්ථනාවන් උපදින්නේ ප්‍රේමය නිසාමයි.
බොර දිය කඳුළක් දෝතට ගත්තෙමි
නිල් දියවර දෙස නොබලා
රෑ දුර අහසේ තරුවක් සෙව්වෙමි
සඳ මඬලින් නෙත් මඟහැරලා
මිටියාවත හිඳ මුදුනත විනිවිද
බැලුවෙමි නුඹ කොතැනකද කියා
හැම නෙත් මඟහැර නුඹ නෙත් සෙව්වෙමි
ජීවිතයේ ගිම් නිවන නිසා
ආ දුර කොතෙක්ද නොදනිමි කියන්න
සංසාරය මහ දුරක් නිසා
හමුවුණෙ ඇයි අපි සෙනෙහෙ වඩන්නට
අහසත් පොළොවත් ලෙසින් මෙදා
මතකෙන් මතකය හදවත සඟවා
ලොවටම රහසින් හඬමි සදා
තනි තරුවක් වෙමි කළුවර අහසක
සඳවත නුඹ මට දුර හින්දා
යුගාත්‍රා විඳිමින් ඒ පද අතර මම හුදෙකලා වෙමි. නැවත නැවත යුග්‍රාත්‍රා විඳිමි. සාගරගේත් එරන්දිගේත් ප්‍රේමය විවාහයකින් කෙළවර වුවත් නොසිතූ සංසිද්ධියක් අභිමුව සාගරට එරන්දි මඟහැරේ. කාලයේ වැලි තලා මත පියමං කරද්දී දිනෙක ඒ හිස්තැනට සමාධි පැමිණේ. සමාධි යනු එරන්දිගේ පියාගේ දෙවැනි බිරියගේ දියණියයි. මඟහැරුණු එරන්දි යළි, නොඑතැයි සිතූ එරන්දි යළිත් පැමිණේ. ඒ අනපේක්ෂිතය ඔවුන්ගේ ජීවිත මරණය දක්වාත්, යළි සසර හමුවීමක් දක්වාත් රැගෙන ගිය කතාන්දරයක් විචිත්‍රවත් ලෙස යුගාත්‍රා තුළ සිතුවම් වී ඇත.
මායාවෙන් ඔබ්බට යථාර්ථයත්, යථාර්ථයෙන් ඔබ්බට සත්‍යයත් දකින්නට යුගාත්‍රා ප්‍රේක්ෂකයා පොළඹවයි. වර්ණ සංකලනය, සංගීත සම්මිශ්‍රණය, නොසිඳෙන සිද්ධි දාමයක ඇමුණුම, සිද්ධියෙන් සිද්ධියට කුතුහලයේ සරල නොවූ රේඛාවක් තුළ ප්‍රේක්ෂකයා කැඳවාගෙන යන රිද්මය සැබැවින්ම සෞන්දර්යාත්මකය. ලාංකික සිනමාවට නවමු අත්දැකීම් එක් කරන්නට වෙහෙසුණු සහ වෙහෙසෙන චන්න පෙරේරා වැනි ප්‍රවීණ සිනමාවේදියෙකුගේ ආගමනය එදා මෙදා තුර අප අගයන්නේ ලාංකික සිනමාව සාර්ථක ප්‍රබල කර්මාන්තයක් ලෙස ගොඩනැගිය යුතු පසුබිමක ඒ සම්ප්‍රාප්තිය වඩාත් ඵලදායී වූ හෙයිනි. සාගරගේ චරිතයට හුස්මක් දෙන චන්නගේ ප්‍රවීණත්වය යුගාත්‍රා තුළ චන්න තවදුරටත් ඔප්පු කළ හැටි සුන්දරය. සිනමා හල් වෙත ප්‍රේක්ෂකයන් කැඳවන්නට දැරූ අනගි උත්සාහයක් ලෙස සැබැවින්ම මම යුගාත්‍රා අගයමි.
ප්‍රවීණ සිනමාවේදී සනත් ගුණතිලක, නදීකා ගුණසේකර මෙන්ම අසංකි ද සිල්වා, මාෂි සිරිවර්ධන ඇතුළු රංගන ශිල්පීන් යුගාත්‍රා රංගනයෙන් වර්ණ ගන්වයි. සැබැවින්ම සිනමා සිත්තමක සාර්ථකත්වය පිටුපස තේ කෝප්පය හදන සාමාජිකයාගේ සිට තිරය පිටුපසත්, තිරය ඉදිරියේත් සියල්ලන්ගේ දහඩිය මහන්සිය අපමණක් රැඳී තිබේ. ඒ සියලු වෙහෙස අභිමුව සමාධි සාගර වෙත පිරිනැමූ ඒ රෝස පාට රෝස මල් පොකුර ඇගෙන් ඉල්ලා ඔවුන් අභිමුව තබන්නට මේ මොහොතේ මට සිතේ. මක් නිසාද යත් සිංහල සිනමාවට තවත් අංකයක් පමණක් නොව, ආකර්ෂණීය වර්ණවත් සිනමා වියමනක් තෑගි දුන්නාට සිනමාවේදී චන්න පෙරේරාට මෙන්ම හැම දෙනාටමත් ස්තූතියැයි කිව යුතු නිසාමය. ධෛර්යත්, ආශිර්වාදයත්, සුබ පැතුමත් පිරිනැමිය යුතු නිසාමය.
සංජීවිකා