නිශ්ශංක දිද්දෙනිය කියන කලා ලොවේ රසකතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිශ්ශංක දිද්දෙනිය කියන්නේ දශක ගණනක් පුරා වේදිකාවේ විවිධ චරිතවලට පණ දීපු ප්‍රතිභාපූර්ණ රංගධරයෙක්. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ප්‍රේමතෝ ජාය තී ෂෝකෝ, මහාසාර,  වැනි විශිෂ්ඨ නිර්මාණවල මෙන්ම තවත් දැවැන්ත නාට්‍යකරුවන්ගේ නිර්මාණ රැසකට දායක වූ රංගන ශිල්පියෙක්. වේදිකාවේ කුමාරයා විදියට අන්වර්ත නාමයෙන් හඳුන් වන නිශ්ශංක දිද්දෙනිය වේදිකාවේ මුහුණ දුන් රස කතා කීපයක් අපි දැන කියා ගතිමු.

නළු නිළියොත් එක්ක  බෝට්ටුව පෙරළිලා

අපි නාට්‍ය දර්ශනයක් පවත්වන්න අම්බලන්ගොඩට ගියා. ඒ එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යයක්. සාමාන්‍යයෙන් දුර පළාතක නාට්‍ය දර්ශනයකට ගියාම අපි කාලබීලා පොඩ්ඩක් විනෝද වෙනවාට සරච්චන්ද්‍ර මහත්තයා කැමැති නැහැ. මොකද නාට්‍ය දර්ශන වාරය හරිහැටි කර ගන්න බැරිවෙයි කියලා සරච්චන්ද්‍ර මහත්තයාට බයයි. කොහොම නමුත් එදා අම්බලන්ගොඩ ගිහින් නාට්‍ය දර්ශන වාරයට කලින් පොඩ්ඩක් කාලා බීලා විනෝද වෙන්න අපි කල්පනා කළා. අනුලා බුලත්සිංහල, විජේරත්න වරකොගොඩ ඇතුළු ශිල්පීන් 20 ක් විතර අපේ කණ්ඩායමේ සිටියා. නාට්‍ය දර්ශන වාරයට තව බොහෝ වෙලාවක් තියෙන නිසා බෝට්ටු සවාරියක් යමු  කියලා අයෙක් යෝජනා කළා. ඒකට නාට්‍ය කණ්ඩායමේ කවුරුවත් අකමැත්ත පළ කළේ නැහැ. අපි ඉතින් හැමෝම ගිහින් බෝට්ටුවට නැග්ගේ රිසිසේ බෝට්ටු සවාරියක් යන්න හිතාගෙන. කට්ටියම බෝට්ටුවට නැග්ගට පස්සේ මම බෝට්ටුවට යන්න ගැම්ම ගන්න හිතාගෙන පැන්නා. එකවරම බෝට්ටුවේ සමබරතාවය නැති වෙලා ගිහින් බෝට්ටුව වතුරට පෙරලුනා. ගග මැදදී හදිස්සියේ හරි බෝට්ටුව පෙරලුනා නම් ලොකු හානියක් වෙන්න තිබුණේ. ආරම්භයේදී බෝට්ටුව පෙරලුනු නිසා හානිය අඩුවුණා. හැබැයි ඉතින් බෝට්ටුව පෙරලීමත් එක්ක කට්ටිය හොඳටම බය වුණා. ඒ වෙලාවේ කාටහරි ජීවිත හානියක් හරි වුණා නම් අපට නාට්‍ය පෙන්වන්න බැරි වෙනවා. මගේ නාට්‍ය ජීවිතයේ භයානක මතකයක් විදියට ඒ සිදුවීම හිතේ තැන්පත් වී තිබෙනවා.

 

සිංහබාහු බලපු ළමයෙකුට දුනු ඊතල ඕනෑවෙලා.

සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ චරිතය මම දීර්ඝ කාලයක් රඟදැක්වූවා. ඒ චරිතයට ලංකාව පුරාම සිටින ප්‍රේක්ෂකයන්ගෙන් ඉමහත් ප්‍රතිචාරයක් හිමි වුණා. සමහර ප්‍රේක්ෂකයෝ සිංහබාහු නාට්‍ය හතරපස් වතාව නැරඹුවා. එහෙම නරඹපු ප්‍රේක්ෂකයෙක් එක වතාවක් මට නියම කතාවක් කිව්වා. සිංහබාහු නාට්‍ය බලන්න ආවට පස්සේ එක ළමයෙක් ගෙදර ගිහින් හොඳටම අඬනවලු මටත් දුනු ඊතල හදලා දෙන්න කියලා. පස්සේ මට බැරිම තැන හදලා දුන්න කියලා ඒ තාත්තා මට කිව්වා. සමහර සිංහබාහු බලපු ප්‍රේක්ෂකයන් මාත් එක්ක තාමත් පුදුම හිතවත්කමින් බැඳිලා ඉන්න පිරිස් සිටිනවා. මේ ප්‍රතිචාර තමයි මාව ජීවත් කරන්නේ  කියලා මට හිතෙනවා.

අමිල චින්තක ගමගේ