නිරුවත දිහා කලාත්මක ඇසින් බලන්න පුළුවන් නම් ලංකාවේ මිනිස්සු මෙච්චර කුලප්පු වෙන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල අතිශය ජනප්‍රිය ඉල්මහේ කුරුල්ලෝ මියුසික් වීඩියෝව හරහා ප්‍රේක්ෂකයන් වශී කළ නටාෂා රොෂෙල් වර්තමාන යුගයේ නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන දක්ෂ සරාගී නිරූපිකාවක්ද වනවා. ඇය මියුසික් වීඩියෝ ගණනාවක රංගන නිරූපිකාවක ලෙස කරළියට පැමිණියත් ඇය වඩාත්ම ජනප්‍රිය වන්නේ නිරූපිකාවක් ලෙසිනි. 

සම්පූර්ණ නම - නටාෂා රොෂෙල් ලියනගේ

වයස- අවුරුදු 28

පදිංචිය – කඩවත

පාසල- ශාන්ත ජෝසප් විද්‍යාලය,ග්‍රෑන්ඩ්පාස්. මම ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබුණ ළමයෙක් නෙමෙයි. මට ඕන වුණේ නිරූපණයට එන්න.  මම පාසල් අධ්‍යාපනය අවසන් කළ සැණින් නිරූපණයට සම්බන්ධ වුණා.

පවුලේ තොරතුරු - අම්මායි ,තාත්තායි, අක්කායි, මමයි තමයි පවුලේ ඉන්නේ. අම්මා ගෘහණියක්. තාත්තා කලින් රැකියාවක් කළා දැන් විශ්‍රාමිකයි. දැන් අම්මාවයි තාත්තාවයි මම බලාගන්නවා.

නිරූපිකාවක් වෙන්න නටාෂාට පාර කැපෙන්නේ කොහොම ද?

2017 දි කොත්තු මී  වෙළෙඳ දැන්වීමේන් තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ.  මගේ නිරූපණ ජිවිතේ වෙනස් වෙන්නේ ඇත්තටම කොත්තු මී ඇඩ් එකත් එක්ක. ඒකට මට අවස්ථාව ලැබෙන්නේ මුහුණු පොතේ හැඳුනුම්කමකින්. ඊට පස්සේ 2018 දි සුගතපාල ද සිල්වාගේ "මන්දාරමේ" කියන  මියුසික් වීඩියෝ එකේ මට රංගනයෙන් දායක වෙන්න ලැබුණා. 

නිරූපණය කියන දේ ආස හිතුණ පමණින්ම කරන්න පුළුවන් කලාවක්ද? 

නැහැ. නිරූපණය කියන්නේ ආස හිතුණ පමණින්ම කරන්න පුළුවන් කලාවක් කියලා වර්තමානයේ බහුතරය හිතාගෙන ඉන්නවා. සමහරු හිතනවා ෆොටෝ ෂූට් එකක් කළ පමණින් නිරූපිකාවක් වෙන්න පුළුවන් කියලා. ඒ පිළිබඳ හැදෑරීම වගේම කැපවීම තියෙන්නම ඕන. මමත් නිලූ සේනානායක මහත්මියගෙන් නිරූපණය පිළිබද හැදෑරීම් කළා. ආසාව තිබුණා කියලා   ෆොටෝ ෂූට් එකක් කළ පමණින් නිරූපිකාවක් වෙන්න බැහැ.  මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරැදු 7 ක් විතර. ඒත් අදටත් මම ෆොටෝ ෂූට් එකක් කරද්දි අලුත් දේවල් ඉගෙන ගනිමින් තමයි මේ කලාව කරගෙන යන්නේ. 

නිරූපිකාවන් වෙන්න ඉගෙන ගන්න අද ලංකාවේ තැන් බිහිවෙලා තියෙනවද?

අතීතයේ නිරූපණ කලාව ගැන ඉගෙන ගන්න තැන් තිබුණේ නැහැ. නමුත් අද නිරූපණ ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තරය දිනපු මේ කලාවේ කප් ගහපු ප්‍රවීණයන් කිහිප දෙනෙක් ඉන්නවා ඇකඩමි පවත්තවාගෙන යන. විශේෂයෙන් චූලා, නිලූ ,රොසෑන් වගේ ප්‍රවීණ කිහිප දෙනෙක් නිරූපණ පාසල් කරගෙන යනවා. වෘත්තිය මට්ටමෙන් නිරූපණ කලාවට පිවිසෙන්න ඉන්න තරුණ තරුණියන්ට හැදෑරිමකින් ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථා වන් ගොඩක් දැන් තියෙනවා. 

 නටාෂාගේ දායක වුණ මියුසික් වීඩියෝ අතුරින් ඉල් මහේ කුරුල්ලෝ පහුගිය කාලේ අතිශය ජනප්‍රිය වුණු ගීතයක් වුණා.  

ඇත්තටම ඔව් නිසල කාවිංගගේ ඉල්මහේ කුරුල්ලෝ සින්දුව රිලීස් කරලා දවස් තුනකින් වගේ යූ ටියුබ් එකේ මිලියනය පසු කළා. එහි මගේ නිරූපණයටත් ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුනා.  

නිරූපණය පැත්තෙන් මේ දවස්වල මොනවද අලුත් වැඩ?

මේ දවස්වල නම් ලොකුවට වැඩ නැහැ. අවුරුද්දේ මුල කියන්නේ නිරූපණය පැත්තෙන් වැඩ ටිකක් අඩු කාලයක්. කොහොමත් ක්ෂේත්‍රයට ඇවිත් තියෙන අලුත් අය  අඩු ගානට වැඩවලට යන නිසා ජේෂ්ඨයන්ට වැඩ ටිකක් අඩු වෙලා තියෙනවා. ගොඩක් දෙනා බලන්නේ ගාන අඩුවෙන් වැඩේ වැඩියෙන් කරගන්න. ප්‍රසිද්ධ වෙෙළඳ සන්නාම නම් මුදලට වඩා බලන්නේ වැඩේ කොලිටි එක මම එහෙම කොලිටි වෙෙළඳ සන්නාම කිහිපයක් එක වැඩ කරගෙන යනවා.

නටාෂා මේ වෙනකොට වෘත්තිය මට්ටමේ නිරූපිකාවක්ද? 

ඔව් මගේ වෘත්තිය නිරූපණය. මොඩ්ල් කෙනෙක් කිව්වාම සමාජය දකින්නේ හරිම පටු විදිහට. ඒත් නිරූපණය කියන්නේ හරියට කරනවනම් සුන්දර විඳින්න පුළුවන් කලාවක්.  

නිරූපිකාවක් කියන්නේ හරියට මැටි ගුළියක් වගේ ඕන ඕන විදිහට හැඩ කරන්න පුළුවන්.  කැමරාවක්  ඉදිරියේ නිරැවත් වීම ගැන නටාෂගේ අදහස කොයි වගේද? 

ගොඩක් දෙනා කැමරාව ඉස්සරහ නිරුවත් වෙන්නේ තමන්ගේ රාමුව හදාගන්න. ජනප්‍රිය වෙන්න. සරාගී කියන දේ පෙන්වන්න නිරූපිකාවක් නිරුවත් වෙන්නම ඕන නැහැ. සරාගී බව ඇස් වලින් මුහුණෙන් පෙන්වන්න පුළුවන්.  මට එවැනි අවස්ථාවක් ලැබුණොත්  ප්‍රඩක්ට් එක හොඳ නම් මම භාරගන්නවා. නිරුවත් වෙනවා කියන එක කැත විදිහට බැලුවොත් කැතයි. ලංකාවේ ඒ වගේ දේවල් කොහොමත් බලන්නේ කැත විදිහට. නිරුවත කියන්නේ කලාවක්. ඒ කාලව දිහා ලස්සනට කලාත්මක ඇසින්  බලන්න පුළුවන්නම් නිරුවත දැක්කාම ලංකාවේ මිනිස්සු මෙච්චර කුලප්පු වෙන්නේ නැහැ.         

බහුතරය නිරූපිකාවෝ රංගනයට එන කාලේ නටාෂාට රංගනය අවස්ථාව ලැබිලා නැද්ද?   

මියුසික් වීඩියෝ ඇරෙන්න මම රඟපාලා නැහැ. ටෙලි නාට්‍ය වලට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් මම හිතනවා මට රඟපාන්න බැහැ කියලා. 

ලංකාවේ තියෙන පැජෙන්ට් ගැන නටාෂාගේ අදහස කොයි වගේද?                 

ලංකාවේ පැජෙන්ට් කියන්නේ කිසිම තේරුමක් නැති කාලය නාස්ති කරන දෙයක්. සමහර පැජෙන්ට්වල තියෙන්නේ තනිකරම බොරුව සහ රැවටීම.  නිරූපිකාවක් විදිහට ජාත්‍යන්තරයට යන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ඇත්තම කියනවනම් ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙලා වැඩක් නැහැ. මම නිරූපණය පැත්තෙන් ජාත්‍යන්තර ව වැඩ කරලා නැති වුණාට ඉන්දියාවේ සහ මාලදිවයිනේ මියුසික් වීඩියෝ දෙකක නිරූපණයෙන් දායක වෙලා තියෙනවා.  

ආදරය සම්බන්ධයෙන් මොනවගේ අදහසක් ද තියෙන්නේ?               

ආදරය විවාහය සම්බන්ධයෙන් මට ඇත්තටම අදහසක් නැහැ. තමන් ස්ථාවර නම් ජීවිතේට කෙනෙක් ඉන්නම ඕන නැහැ. හැම දේම හැමෝටම ගැළපෙන්නේ නැහැ මං හිතනවා මට විවාහය ගැළපෙන්නේ නැහැ කියලා. මං ආදරය කරලා තියෙනවා. ආදරය විඳලා තියෙනවා. ජීවිතේට ආදරේ නැතුව ඉන්න බෑ කියලා කිව්වාට මට එහෙම එකක් නෑ. අම්මා තාත්තා ආදරයෙන් බලාගන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව.

නදීශා අතුකෝරළ

ඡායාරූප - මාලක වැලිගොඩපොල

 හැඩගැන්වීම් - නිල්මා දිල්රුක්ෂි (සැලොන් දිල් රූ-කඩවත)

පසුතලය - ගොඩගම රීච් හෝටලය