නිරූපිකාවක් විදිහට ආයෙත් මම වැඩ කරන්න ගත්තා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නර්තන ශිල්පිණියක් ලෙස කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ශෙනුකි අනන්‍යා කලකට පසුව සාරවිට අප සමග එකතු වුණා. දැනට කලා කටයුතුවලින් තරමක් ඈත්ව සිටින ශෙනුකි නුදුරේම නැවතත් නිරූපණ කටයුතු සඳහා සිය දායකත්වය ලබා දෙන්නට සූදානමින් සිටියි.

ශෙනුකි කොහොමද ඉතින් ජීවිතේ?

හොඳින් ගෙවා ගෙන යනවා. පසුගිය කාලේ කලා කටයුතුවලින් ටිකක් විතර ඈත් වෙලා හිටියා. නමුත්, දැන් ආයෙත් ඒ පැත්තට යොමු වෙන්න හිතාගෙන ඉන්නවා මම. මොකද, අදටත් මාව ගොඩ දෙනෙක් දන්නේ කලා කටයුතුවලට සම්බන්ධ වුණ නිසා. ඉතින් මම හිතුවා දැන් ආයේ හොඳ කාලය කලා වැඩවලට එකතු වෙන්න කියලා.

පසුගිය කාලේ මොකද කලාවෙන් ඈත්වෙලා හිටියේ?

මුලින්ම හේතුව තමයි කොවිඩ් වසංගත තත්ත්වය. ඒ හින්දා ගොඩක් අයට කලා කටයුතුවලට තාවකාලි සමුදීමක් දෙන්න සිදු වුණා. ඒත්. සමග රටේ පැණ නැගුණ ප්‍රශ්න. බොහෝ දෙනෙකුට තමන්ගේ වෘත්තියවත් හරියට කරගන්න බැරිවුණ කාලයක් වුණා. ඒ ඇතිවුණ සිද්ධිදාමයත් එක්ක කලාවට සමුදෙන්න මට සිද්ධ වුණා.

ඒ කියන්නේ ශෙනුකි ආයෙත් දැන කලා කටයුතුවලට එකතු වෙනවා?

මම ක්ෂේත්‍රයට ආවේ නර්තන ශිල්පිණියක් විදිහට. නමුත්, මම ආයේ ඒ පැත්තට යොමු වෙන්න අදහසක් නැහැ. නිරූපණ කටයුතුවලට පුර්ණ කාලීනව කැප වෙලා කරන්න අදහසක් තියෙනවා. ගොඩක් මට උදව් කරන කෙනෙක් තමයි රූපලාවන්‍ය ශිල්පි ශෙනාල් සිල්වා අයියා. ඉතින් ඔහුගේ මඟ පෙන්වීම යටතේ ඉදිරියේදී නිරූපණය පැත්තට යොමු වෙන්න හිතාගෙන ඉන්නවා. දැනටත් ඔහුගේම වැඩ කිහිපයකට මම දායක වුණා.

තරුණ පිරිස් අද වැඩිපුර මේ ක්ෂේත්‍රවලට එනවා නේද?

ගොඩක්ම සමාජ මාධ්‍යය හරහා. මීට වසර පහය හයට පෙර තිබුණට වඩා අද සමාජ මාධ්‍යය කියන්නේ ඉතාම ප්‍රබල මාධ්‍යයක්. අපි වගේ තරුණ, නවක කලාකරුවන්ට ලොකු හයියක් වුණ මාධ්‍යයක් කිව්වොත් හරි. වි‍ශේෂයෙන්ම ෆේස්බුක් හා යු ටියුබ්. බලන්න දෛනිකව කොපමණ ප්‍රමාණයක් තරුණ අය තමන්ගේ නිර්මාණ මේ හරහා එළිදක්වනවද. ඉතින් මම දකිනවා වෙනදාටත් වඩා වැඩි තරුණ පිරිසක් අද කලා කටයුතුවලට එකතු වෙනවා.

ඔබ ආ ගමන ගැන තෘප්තිමත්ද?

අනිවාර්යයෙන්ම.. මම මුලින් කිව්වා වගේ මාව බොහෝ දෙනෙකු අඳුනගත්තේ කලාව හරහා. අදටත් මම ඒ නිසයි කලාවට ආදරේ. නර්තන ශිල්පිණියක් විදිහට ආපු ගමනේ අද මම නිරූපිකාවක් විදිහට වැඩ කරනවා. ඉතින් ගොඩක් සතුටුයි කලාවට මට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන.

බුද්ධික සේනාධීර