නූපා වගේ පිරිමියෙක්ගේ ආදරය මම කවදාවත් හොයන්නෙ නැහැ
Q කන්දක් සේ මා නවකතාවේ පිටු අතර ඉපදුණු නූපා ජපානයේදී ඔබට සැබැවින්ම මුණගැසෙනවා. නවකතාවේ නූපාගේත් සිනමා වියමනේ නූපාගේත් ඔබට සැබැවින්ම හමුවුණු නූපාගේත් හදගැස්ම නිරෝෂාට දැනුණේ කොයි විදිහටද?
නූපා මට මුණගැසෙද්දි චිත්‍රපටයේ නූපාගේ චරිතය තුළ බොහෝ දුරට මා ජීවත් වී හමාරයි. නූපා හමුවුණාම අපි එයා එක්ක ඇවිද්දා. කතාබහ කළා. නූපා අපිට කන්න කෑම බීම අරන් ඇවිත් තිබුණා. මම රඟපාන්නෙ මේ ඇත්ත නූපා තුළින් නිර්මාණය වූ චරිතය නේද කියන හැඟීමෙන් අප හමුවට ආ ඒ නූපා දිහා මම බැලුවා. ඇත්ත නූපාගේ ජීවන සෙවණැල්ල තමයි සුමිත්‍රා රාහුබද්ධ කියන ලේඛිකාව තුළින් ඉපදුණු නූපා තුළ සිත්තම් වුණේ. නූපා මුණගැසුණාම මට දැනුණු දේ තමා මම එතෙක් එයා නොදැන සිටියාට මම නොදැනුවත්ව හරි නූපාව නූපා විදිහටම කියවලා තියෙනවා කියන එක. කන්දක් සේ මා චිත්‍රපටය තුළ ජීවත් වන නූපා කියන්නෙ මට සැබෑ ලෙසම හමුවුණු නූපාගේ හදගැස්ම තමයි.
Q නූපා තුළ ජීවත් වූ නිරෝෂා කියන්නෙ මගේ කියැවීමේ විදිහට නූපාගේ ජීවිතේ සෙවණැල්ලක්වත් ස්පර්ශ නොකළ නිදහස් ගැහැනියක්. ඒ නිදහස් ගැහැනිය නූපා තුළ ජීවත් වෙන්න කැමති වුණේ ඇයි?
නූපායි මමයි කියන්නෙ අහසට පොළොව වගේ චරිත දෙකක්. මම සම්පූර්ණයෙන්ම නූපාට වෙනස් නිසා තමයි මම ඒ චරිතය බාරගත්තෙ. මම මට ලැබෙන ඕනෑම චරිතයක් බාරගන්නෙ ඒ චරිතය තුළ මට රඟපාන්න තියෙන්නෙ මොකක්ද කියන හැදෑරීමත් එක්ක. ඒ චරිතය තුළ මට කොපමණ දේවල් කරන්න පුළුවන්ද කියන එක තමයි මට වැදගත්ම දේ. මොකද මට තෘප්තිමත් වෙන්න බැරි දේකින් මට තව කෙනෙක් තෘප්තිමත් කරන්න බෑ. මගේ රංගනය තුළ මම තෘප්තිමත් නම් තමා ප්‍රේක්ෂකයත් තෘප්තිමත් වෙන්නෙ. සුමිත්‍රා රාහුබද්ධ මට කතා කරලා එයාගේ නවකතාව ගැන කියද්දි මම ඒ නවකතාව කියවලා තිබුණේ නෑ. ඇය මට කිව්වා ඔයා තමයි මගේ නූපා කියලා. ඒ නූපා වෙන්න නම් මම ඒ නූපාව කියවන්න අඳුනගන්න ඕනෑ. මම ඇත්තටම සිංහල නවකතා කියවන කෙනෙක් නෙවෙයි. මම හුඟක් කියවන්නෙ ඉංග්‍රීසි පොත්. ඒ වගේම රුසියානු කෙටිකතා. කන්දක් සේ මා කියෙව්වෙ නූපා වෙනුවෙන්. දැන් මගේ පොත් එකතුවෙත් කන්දක් සේ මා තියෙනවා.
Q නූපා තුළ ජීවත් වෙන්න සුමිත්‍රා රාහුබද්ධ ඔබට ඇරයුම් කරද්දි ඔබ ඇයට දැක්වූ පළමු ප්‍රතිචාරය මොකක්ද?
මම ඇයගෙන් ඇහුවා පොත ලියපු කෙනාමද චිත්‍රපටයේ තිර රචනය ලියන්නෙත් කියලා. මොකද පොත කියන්නෙ එකක්. චිත්‍රපටය කියන්නෙ එකක්. මම ඇහුවා කවුද අධ්යක්ෂ කියලා. ඒ තමයි මට අහන්න වැදගත් වෙච්ච ප්‍රශ්න. ඊටපසු නවකතාව කියෙව්වම මට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ඇයව මා තුළින් ප්‍රතිනිර්මාණය කිරීම මා තෘප්තිමත් කරන රංගනයක් වේවි කියන හිතුවිල්ල මට ආවා.
Q නළුවෙකුට හෝ නිළියකට සැබැවින්ම තමන්ට සමානම චරිතයක් නිරූපණය කිරීමේදී සහ ඊට ඉඳුරාම වෙනස් චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීමේදී දැනෙන හැඟීම සහ වඩාත් ආකර්ෂණීය වන දෙය කුමක්ද?
මම නැවත මාවම ප්‍රතිනිර්මාණය කරන්නෙ ඇයි? මම නූපාට හාත්පසින්ම වෙනස් චරිතයක් වීමම තමයි නූපාගේ සාර්ථකත්වය. මට වඩා හාත්පසින්ම වෙනස් විදිහට හිතන පතන ගැහැනියක් තමයි මම මගේ තුළට නූපාව ගනිද්දි දකින්නෙ. ජීවත් වෙන්නෙ. මම මට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් තුළ ජීවත් වීම රංගනයේදි මට දෙයක් කරන්න තියෙන අවකාශය වැඩි කරන දෙයක් සහ රංගනය තුළ වඩාත් ආකර්ෂණීය දෙයක්.
Q නූපා ආදරය නැවත නැවතත් සොයන ගැහැනියක්. ආදරය කියන්නෙ ගැහැනියකට ජීවත් වීම උදෙසා අත්‍යවශ්‍යම සාධකයක් කියන එක ඇත්තක්ද? ආදරය නැතුව ජීවත් වෙන්න පුළුවන්ද?
ආදරය නැතුව ජීවත් වෙන්න පුළුවන්. නූපා කියන්නෙ පුදුම විදිහට ජීවිතය තුළින් ආදරය හොයන ගැහැනියක්. ඒත් ඒ නූපා නිරෝෂාගේ ජීවිතයේ අහලකවත් නෑ. මම ආදරය ජීවිතයට එහෙම එච්චරට ඕනෑ කියලා හිතන ගැහැනියක් නෙවෙයි. පිරිමියෙක්ගේ ආදරය ඒ විදිහට හොයන ගැහැනියකුත් නෙවෙයි. ලෝකයේ කවුරුත් හැමදාම එකම විදිහට හැමදේම දැක්කෙත් නෑ, හිතුවෙත් නෑ, දකින්න හිතන්න ඕනෙත් නෑ. මම එදා ඉඳන්ම හිතුවෙ ආදරය විවාහය වැනි සංකල්ප ගැන විශේෂයෙන් සිතිය යුතු නැහැ කියලා. ආදරය කියන දේ මම පුංචි කාලේ ඉඳන් මගේ පවුලෙන් මම උපරිමයෙන්ම ලබපු කෙනෙක්. මට හිතෙන්නෙ මිනිස්සු ආදරය හොයන්නෙ ජීවිතේ මොනවා හරි හිඩැසක් තියෙනවා නම් කියලා. ආදරය හොයන්නෙ ජීවිතේ හිස්තැන් පුරවන්න කියලා. සමහරු උපදින්නෙම ආදරය හොයාගෙන කියලා මට හිතෙනවා. සමහර අය අනෙක් අයට ආදරය බෙදා දීලා ආදරණීය ජීවිත ගත කරනවා. ඔය ඔක්කොම අපේ හිතේ තියෙන දේවල්. ඇත්තටම ගත්තොත් ඔය කිසි දෙයක් මේ ලෝකෙ නෑ. ආදරය කියන දේ ඇත්තක් නම් එය වෙනස් නොවී පවතින්න ඕනෑ. කලකදි සිතේ කැමැත්තක් වෙන බැඳීමක් තවත් කාලෙකදි අකමැත්තක් බවට පත්වෙන්න පුළුවන්. ඇත්තටම ආදරය කියලා දෙයක් තියෙනවා නම් එහෙම වෙන්නෙ කොහොමද? මේ ඔක්කොම මිනිස් හිතේ උපදින සංකල්ප විතරයි. ඇත්තටම ආදරය කියන්නෙ මගේ ජීවිතේ අවශ්‍යතාවක් නෙවෙයි. ආත්මාර්ථයෙන් තොර ආදරයක්වත් ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක්වත් ලෝකෙ නැති බව මම දන්නවා.
Q නූපාව සිනමා වියමනක් තුළින් ප්‍රතිනිර්මාණය කිරීම ප්‍රතික්ෂේප නොකරන්න ඔබට සුවිශේෂීම වූ එක් හේතුවක් තිබුණාද?
මම මට ලැබෙන හුඟක් චරිත ප්‍රතික්ෂේප කරපු නිළියක්. මම චරිතයක් ප්‍රතික්ෂේප කරද්දි මම වෙනුවට ගන්න පුළුවන් ආදේශක නිළියකගේ නමකුත් කියනවා. මම එහෙම චරිත ප්‍රතික්ෂේප කරන්නෙ සමහරක් විට ඒ කාලෙ මම ඉන්න මූඩ් එක ඒක වෙන්න ඇති. මම ජීවිතයේ වැඩියෙන්ම ඉල්ලන දේ සහ ප්‍රිය කරන දේ තමයි නිදහස. ඒ වගේම මම හුඟක් කාර්යබහුල වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. මාධ්‍යවේදිනියක් ලෙස රංගන ශිල්පිනියක් ලෙස මම මොන දේ කළත් මගේ පෞද්ගලික ජීවිතේ මම කැමති ස්වරූපය වෙනස් කර ගන්න මම කැමති නෑ. මම මට ලැබෙන ගොඩක් රංගන ආරාධනාවන් බැහැයි කියන්න එපා කියන්න තමයි හේතු හොයාගන්නෙ. මට චිත්‍රපටයකට කතා කරද්දි ඒ අධ්යක්ෂවරයා සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්ද, මේ චිත්‍රපටය සම්මාන ලැබෙන එකක් වෙයිද, ඒ කිසි දෙයක් අදාළ නෑ. මට අදාළ එකම දේ මගේ ප්‍රේක්ෂකයාට ඒ රංගනය තුළදී නිරෝෂාව සිහිපත් නොවීමයි. නූපා තුළත් ඒ ආකාරයෙන් එය සිද්ධවෙන බව මට දැනුණා. මම කරන දේ කරන කාලෙදි බදාගෙන පුදුමාකාර කැපවීමකින් කරන කෙනෙක්. ඊටපස්සෙ මම එය අත්හැරලා දානවා. මම කිසිම දෙයක් අවබෝධයක් නැතුව නිරීක්ෂණයකින් තොරව කරන්න කැමති කෙනෙක් නෙවෙයි. මම හැමවිටම හරිම සිහිකල්පනාවෙන් වැඩ කරන කෙනෙක්. අහන දේත් කරන දේත් කියන දේත් මම සිහියෙන් කරන කෙනෙක්.
Q නිරෝෂා ඇත්තටම රඟපානවා කියන්නෙ මොකක්ද?
රඟපානවා කියන්නෙ ඒ චරිතය තුළ ජීවත් වීම කියන එකට. රඟ නොපා රඟපෑම තමයි තවත් අතකින් රඟපෑම කියන්නෙ. රඟපානවා කියන එක කැමරාවට දැනෙන්න ඕනෑ. සමහර දේවල් තියෙනවා අපිට භෞතිකව ස්පර්ශ කරන්න බෑ. අවකාශය කියන්නෙ එහෙම දෙයක්. මට හිතෙන්නෙ රඟපෑම කියන්නෙ ඒ විදිහට භෞතිකව ස්පර්ශ කරන්න බැරි එක්තරා ජීවත් වීමක්, සැරිසැරීමක් සහ නිර්වචනය කරන්න බැරි දෙයක්. රඟපෑම සහ රඟ නොපෑම කියන දෙක අතරේ තියෙන දෙයක් විදිහටයි මම රඟපෑම දකින්නෙ.
Q හිම මත නිරාවරණ දෙපතුලින් ඇවිදින්න තරම් කන්දක් සේ මා සහ නූපා වෙනුවෙන් ඔබේ කැපකිරීම ප්‍රබල වුණා. ඒ මතක අතර මොහොතකට ඇවිදින්න කැමතියි ඔබත් කැමති නම්?
සීතල, ඉවසන්න බැරි සීතල මගේ ගතට හරි දුකක් දුන්නා. හිම මත දර්ශන හුඟක් ඒ චිත්‍රපටයේ තියෙනවා. මම ඒ දර්ශනය කරන්න දර්ශන තලයට ගියාම මම ඉන්නෙ ඔළුව වහගෙනද, අත් කකුල් වහගෙනද, ඒ කිසි දෙයක් හිතන්නෙ නෑ. හිම මත නිරාවරණ දෙපතුලින් දුවන්න සිද්ධ වෙද්දි මම ඒ සීතල ගැන හිතුවෙ නෑ. ඒ දර්ශනය හීනයක ස්වරූපයෙන් ගන්න අවශ්‍ය වෙද්දි මම මට විඳින්න වෙන දුක වේදනාවන් ගැන හිතුවෙ නෑ. හිම මත දුවන්න විතරක් නෙවෙයි දුවන්න කියනකම් සපත්තු නැතුව හිම මත හිටගෙන ඉන්නත් සිද්ධ වුණා. මම වැඩක් කරද්දි කිසිම දෙයක් ගැන දුක් වෙන්න හේතුවක් ඉතුරු කර ගන්නෙ නෑ. ඒ වෙනුවෙන් මට කළ හැකි ඕනෑම කැපකිරීමක් කරනවා. මම කවදාවත් වැඩක් කරද්දි බැහැ කියන වචනය කියන්න අකමැති කෙනෙක්. මට වැඩක් කරද්දි ඕනෑ තරම් නොකා නොබී වැඩ කරන්න පුළුවන්. දුවනවා තියා කකුල උස්සගන්නවත් බැරිව හිටියත් ඇක්ෂන් කියන වචනය ඇහෙද්දි ඒ ඔක්කොම අමතක වෙනවා. සීතලේ කට කට ගාලා දත්මිටි කකා මම හිටියෙ ඇක්ෂන් කියන වචනය ඇහෙනකම් විතරයි. මගේ යටිපතුල්වල හිම නිසා තුවාල වෙලා ලේ ගලපු අවස්ථාවලුත් තිබුණා. ඉනෙන් පල්ලෙහා වැඩ කරන්නෙ නෑ වගේ දැනුණු වෙලාවල් තිබුණා. මාව ඔතලා මළ කඳක් වගේ අරගෙන යන්න සිද්ධවෙච්ච අවස්ථාත් තිබුණා. අසීරු දේශගුණයත් අසීරු පරිසරයත් විඳ දරාගනිමින් වෙනම භාෂාවක්, වෙනම මිනිස් වර්ගයක් ඉන්න රටක වෙනම වැඩක් අපි ලොකු මහන්සියක් දරාගෙන ඉටු කළා.
Q ජීවිතේ ආව ගමන දිහා නැවත හැරී බලද්දි පසුතැවීම කියන හැඟීම හිතට එන තැන් තියෙනවද?
නැහැ. කවදාවත් නැහැ. අවශ්‍ය තැනදි අවශ්‍ය මහන්සිය කැපකිරීම අපි දෙයක් වෙනුවෙන් කළේ නැත්නම් ඒක වැඩක් නෑ. එහෙම කළ කෙනකුට කවදාවත් පසුතැවිල්ලක් ඉතුරු වෙන්නෙ නෑ. හිතද්දි සංතෝෂයක් දැනෙන හැඟීමක් මිසක්. මම ජීවිතේ කිසිම දවසක මම කරපු කිසිම දෙයක් ගැන පසුතැවිලි වෙලත් නෑ. අනාගතයේදි එහෙම වෙන එකකුත් නෑ. පසුතැවිලි වීමක් කියන්නෙ දුක් වීමක්. එහෙම දුක්වෙලා වැඩක් තියෙනවද? පෙර සූදානමක් තියෙන කෙනකුට කවදාවත් පසුතැවිලි වෙන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නෑ. ජීවිතේ ගැන පසුතැවිලි වෙන්න ඕනෙත් නෑ. සීමාව ඉක්මවලා සතුටු වෙන්න ඕනෙත් නෑ.
♦ සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ