නැති බැරි ළමුන්ට සංගීත භාණ්ඩ ටිකක් පරිත්‍යාග කරන්න මට ලොකු ආසාවක් තියෙනවා
‘‘ඉස්කෝලෙ කාලේ’’ විශේෂාංගයෙන් මෙවර සඳැල්ල හා එකතු වෙන්නේ කලා ක්ෂේත්‍රයේ ගායන අංශයෙන් වගේම රංගන අංශයෙන් විශිෂ්ට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක ප්‍රතිචාර දැඩිව දිනාගත් කලා තරුවක්. ඔහු සූර්යා දයාරුවන්.
මම ඉස්කෝල තුනකට ගියා. මුලින්ම ගියේ පොලොන්නරුව ගිරිකුලවැව කනිෂ්ඨ විද්‍යාලයට. එතැනින් පසුව පොලොන්නරුව අත්තනකඩවල මධ්‍ය විද්‍යාලයටත්, පොලොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයටත් තමයි ගියේ. මුලින්ම ප්‍රාථමික අවධිය ගත කළේ ගිරිකුලවැව කනිෂ්ඨ විද්‍යාලයේ. ඉන් පසුව මම සංගීතයට වැඩි ඇල්මක් දක්වපු නිසා ඒ පිළිබඳ හදාරන්න මාව ගෙදරින් 7 වසරේ සිට යොමු කළා. අත්තනකඩවල මහා විද්‍යාලයට. ඒ ඉස්කෝලෙන් සාමාන්‍ය පෙළ දක්වාම ඉගෙන ගත්තා. එතැනින් පසුව උසස් පෙළ හදාරන්න තමයි තෝපාවැව මහා විද්‍යාලයට ඇතුළත් වුණේ.
මට මතකයි මම ඉස්කෝලෙ ගිය පළවෙනිම දවස. අම්මයි, තාත්තයි එක්ක තමයි ගියේ. කොහොමත් මගේ පළවෙනි ඉස්කෝලෙ ගෙදර ළඟම නිසා යනඑනකොට දකින්නත් ලැබෙනවානෙ. ඒ හේතුව හින්දම ද දන්නෙ නැහැ මට ඒ ඉස්කෝලෙ නුහුරු බවක් දැනුණෙ නැහැ. හරිම ආසාවෙන් තමයි ඉස්කෝලෙ ගියේ. ඒ කාලෙ මම හරිම නිශ්ශබ්ද චරිතයක්. මගේ මුල්ම ගුරුතුමිය වුණේ රන්මැණිකේ ගුරුතුමිය. ඇය මට හරිම ආදරෙයි. ඒ නිසාම ඒ කාලෙ ඉතින් ඉස්කෝලෙදි ඇඬුවෙ එහෙමත් නැහැ. හරිම කැමැත්තෙන් ඉස්කෝලෙට ගියා.
මට ඒ කාලෙදි හොඳම මතකයක් තියෙනවා යාලුවෙක් එක්ක වුණු සිදුවීමක්. ඒ කාලෙ මම නිශ්ශබ්ද චරිතයක් නිසාම මගෙත් එක්ක රණ්ඩු කරගන්න ආපු අයත් හිටියා. එක වතාවකදී අපේ ගෙවල් ළඟ ළමයෙක් මට ගලකින් ගැහුවා. ඒ ළමයගෙ ගෙවල් තියෙන්නෙ ඉස්කෝලෙට දකුණු පෙදෙසෙන්. මගේ ගෙදර වම් පෙදෙසෙ. ඉතින් ඒ එක දවසක මටත් තරහා ගිහින් පාරෙ යනකම්ම මම ඒ ළමයට ගල්වලින් ගහ ගහ ගියා. දෙන්නට දෙන්නා ගල් ගහ ගහ ගියේ. ඒ ළමයා ගෙදරට යනකම්ම මම ගල්වලින් ගැහුවා. එතැනින් පස්සෙ මම ගෙදරට යනකම්ම ඒ ළමයාත් ගල් ගහ ගහ පැන්නුවා.
ඇත්තටම ඒ කාලෙ චණ්ඩි වැඩකට කියලා කරලා තියෙන්නේ ඒ දේ තමයි. ඒ වගේම ඒ කාලෙ සුන්දරම මතකයන්වලට තියෙන්නෙ අපි ගොඩක්ම සොබාදහම එක්ක තමයි ජීවත් වුණේ. අපේ ගෙවල් අවට වැව් ගොඩක් තිබුණා. ඒ වගේම යාළුවො එක්ක නානවා, සරුංගල් අරිනවා, පෝය දවස්වලට වැව්වල මල් කඩලා දන්සල් දෙනවා. ඒ වගේම පලතුරු පේර, අඹ සියඹලා වගේ ගස්වල ගෙඩි කඩලා විකුණලා යාළුවො එක්ක එක එක දේවල් කනවා. ඒවගෙන් පොත්පත් ගන්නවා.
ඒ කාලෙ මම ඉගෙනගන්නත් හරිම දක්ෂයි. පන්තියේ කොහොමත් පළවෙනි, දෙවැනි ස්ථානවල හිටියා. ඒ වගේම සංගීතයටත් ගොඩක් දක්ෂයි. පොඩි කාලෙ ඉඳන් ගීත ගායනා කරන්න දක්ෂතාවය තිබුණා. මගේ පවුලෙ මට සහෝදර සහෝදරියො අපි ඔක්කොම 7ක්. ඒ හැමෝටම අම්මට, තාත්තට ගීත ගායනා කරන්නත්, සංගීත භාණ්ඩ වාදනය කරන්නත් පුළුවන්. ඒ කාලෙ තාත්තා මාව නළවලා තියෙන්නෙත් වයළින් වාදනය කරලා. පවුලෙ ඒ නැඹුරුව හින්දා මම ඉස්කෝලෙත් සංගීතය පැත්තෙන් කැපීපෙනන චරිතයක් වුණා. ඉස්කෝල තුනේම මම ජනප්‍රියයි. ඉස්කෝලෙ ප්‍රසංගයකදී, තරගයකදී ඒ හැම දේකදීම මම ඉදිරියෙන්ම හිටියා. සංගීත තරගවලට සම්බන්ධ වෙලා ඒ තුළින් ජයග්‍රහණ රැසක් ලබාගත්ත නිසාම ගුරුවරුත් මට ගොඩක් ආදරෙයි. ඉස්කෝලෙ සමිති සමාගම්, විවාද ආදියට සම්බන්ධ වෙලා ලොකු ජනප්‍රියත්වයක් ඒ කාලෙ ලබාගෙන තිබුණෙ. මම ගිය ඉස්කෝල තුනම මිශ්‍ර පාසල්. ඒ නිසාම ගැහැණු ළමයින්ගේත් වැඩි ආකර්ෂණයක් තිබුණා. සමහර වෙලාවට අපේ වයස ගැහැණු ළමයි, අක්කලා, නංගිලා හැමෝම වගේ මට කියලා ගීත ගායනා කරව ගන්නවා. මමත් ඉතින් එයාලා කැමති ගීත ගායනා කරනවා.
මට මතකයි ඒ සමහර වෙලාවට අපේ ටීචස්ලා කියනවා මේ ළමයාව කෙල්ලන්ගෙන් බේරගන්න හරි අමාරුයි කියලා. පාඩුවෙ ඉන්න දෙන්න කියලා බනිනවා. කොහොමත් මම හරිම පිරිසිදුවට, ලස්සනට පිළිවෙළට ඇඳුම් ඇන්දා. ඒ පිළිවෙළටත් ඉස්කෝලෙ ගොඩක් දෙනෙක් කැමතියි. ඒ දේවල් නිසාම ඒ කාලෙ ප්‍රේම ආරාධනා එහෙමත් ගොඩක් තිබුණා.
මට ඉස්කෝලෙ කාලෙදි මුලින්ම ගැහැණු ළමයෙකුට ආකර්ෂණයක් හිතුනෙ 7 වසරෙදි. මම 7 වසරේ ඒ ගැහැණු ළමයා එතකොට 5 වසරෙ. ඒ තමයි මගේ මුල්ම ප්‍රේමය. ඇය ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. ශිෂ්‍යත්වය එහෙමත් සමත් වුණා. ඒ වගේම පන්තියේත් පළවෙනියා තමයි වෙන්නෙ. ඉතින් ඒ කාලෙ අපි පොත් හුවමාරු කරගන්නවා. යන්නෙ, එන්නෙ එකට. ඒ වගේ අවුරුදු 3ක් 4ක් වගේ ඒ ප්‍රේමය තිබුණා. මුලින්ම අපි දෙන්නා අතර යාළුකමක් තමයි තිබුණෙ. ඒ කාලෙදි ඉතින් ඇති වුණු හැඟීම ආදරයක්ද මොකද්ද කියන්න අදටත් දන්නෙ නැහැ.
සමහර වෙලාවට පන්තිය පිටින්ම දඬුවම් විඳලා තියෙනවා. පොදුවේ ගුටි කාලා තියෙනවා ප්‍රින්සිපල්ගෙන්. එක වතාවක මට මතකයි මම තනියම ගුටි කෑවා වරදක් නොකරම. ඒ මම 9 වසරෙදි. ඇත්තටම ඒ සිදුවීම කියන්නෙ සංගීත විභාගයක පිළිතුරු ලියද්දි සර් අපිට දුන්න සටහනේ විදියටම මම එක් ප්‍රශ්නයකට උත්තර සපයලා තිබුණා. කොහොමත් මගේ මතක ශක්තිය ඉහළ තැනක තියෙනවා. නමුත් සර් මාව ළඟට ගෙන්නලා ගුටියකුත් දීලා කිව්වා කොපි කරලා නේද ලිව්වේ කියලා. මොකද සර් දුන්න සටහනේ විදියටම මම පිළිතුරු ලියලා තිබුණ නිසා. මම නැහැ කිව්වට සර් පිළිගත්තෙම නැහැ. ඉතින් එදා මම නොකරපු වරදකට දඬුවමක් වින්දා. නමුත් අන්තිමට මම O/L, A/L හොඳම ප්‍රතිඵල අරගෙන ඉහළින්ම සමත් වෙලා විශ්වවිද්‍යාල වරම් පවා ලබාගත්තා. ඉතින් අදටත් සර් ඒ ගැන මතක් කරනවා. අද මම සර්ගෙ හොඳම ගෝලයෙක් බවටත් පත්වෙලා තියෙනවා.
තවත් එක් වතාවක නොකරපු වරදකට දඬුවම් විඳින්න ගිහින් බේරිලා තියෙනවා. ඒ පන්තියම එකතු වෙලා කරපු වරදක් නිසා. එක දවසක පන්තිය අතුගාලා නැතිව වගේ යම් ප්‍රශ්නයකට පන්තියෙ හැමෝම ගුටි කෑවා. එදා මම ඉස්කෝලෙ එද්දි පරක්කු වුණා. එදා මම ගේට්ටුවෙන් ඇතුළට එද්දි මම දැක්කා පන්තියෙ හැමෝම ගුටි කනවා. මම ඒ තැනට යන්නෙ නැතිව හැංගිලා බලාගෙන හිටියා. ඒ බලාගෙන ඉන්නවා ප්‍රින්සිපල් දැකලා මට කතා කළා. මම ළඟට ගියාම ප්‍රින්සිපල් කිව්වා තමුසෙට ගහන්න හිතෙන්නෙ නැහැ මූණ දැක්කම කියලා. අහිංසකකම නිසා. ඉතින් එදා මම බේරුණා. කොහොමත් මට ඉස්කොලෙ ප්‍රින්සිපල්, ගුරුවරුන් ගොඩක් ආදරෙන් හිටියෙ. මොකද මම කලින් කිව්වා වගේ සංගීතය පැත්තෙන් හොඳ නමක් දිනාගෙන හිටපු නිසා. ඒ කාලෙ තරුණ සේවාසභාවෙන් හොඳම ජන ගී ගායකයා, සමස්තලංකා තරග ඒ හැම දේකින්ම පාසල් මට්ටමින් සම්මාන රැසක්ම ඉස්කෝලෙට අරන් දීලා තියෙනවානෙ. අද මම කලාකරුවෙක් විදියට මේ ඉන්න තැන ගැනත් ඉස්කෝලෙට ආඩම්බරයක් තියෙනවා. ඒ නිසාම මට දෙතුන් වතාවක්ම ඉස්කෝලෙට ආරාධිත අමුත්තෙක් විදියට යන්න ආරාධනා ලැබිලා තියෙනවා.
ඉදිරියේදී අපි පාසල් මට්ටමින් වැඩසටහනක් පවත්වාගෙන යන්නත් කතා කරගෙන යනවා. නමුත් රටේ පවතින මේ තත්ත්වය නිසා කිසිම දෙයක් කරගන්න බැරි මට්ටමක් තියෙන්නේ. මේ දේවල් පහව ගියාට පස්සේ පොඩි තරගාවලියක් පවත්වලා තෑගි භෝග ලබාදීලා ලස්සන වැඩක් කරන්න තමයි ඉන්නේ. මොකද මට ලොකු ආසාවක් තියෙනවා. නැති බැරි ළමුන්ට වයළින්, බට නලා වගේ සංගීත භාණ්ඩ ටිකක් පරිත්‍යාග කරන්න. ඒකට විශේෂම හේතුව අපි ඉස්කෝලෙ යන කාලෙ A/L වනතුරුම මට වාද්‍ය භාණ්ඩ මොනවත්ම තිබුණෙ නැහැ. අපේ පවුල් පසුබිමත් එක්ක ඒ දේවල් ගන්න ආර්ථික තත්ත්වයක් තිබුණෙ නැහැ. මොකද ගොවිතැන් කරන පවුල් පසුබිමක මම ජීවත් වුණේ. ඒ නිසා දක්ෂතා තියෙන දරුවන්ට මගේ ඉස්කෝලෙට ඒ වගේ දෙයක් ලබාදීම ලොකු සතුටක්.
මම ඉස්කෝලෙන් ඉවත් වෙන්නෙ 2009 වසරේ. ඒ අයින් වුණත් අද අදටත් ඉස්කෝලෙ දකිද්දි ඉස්කෝලෙ නිල ඇඳුම ඇඳලා යන ළමයින්ව දකිද්දි ඒ අතීතයට ආයෙත් යනවා. මම ඉස්කෝලෙන් අයින්වෙලා 2009 වසරේම තමයි මගේ මුල්ම සිනමා නිර්මාණය ‘‘සමනල සංධ්වනිය’’ එක්ක එකතු වුණේ. ඒ තුළ මම කළේ පාසල් ශිෂ්‍යයෙක්ගෙ චරිතයක්. ඒ පටන් ගත්තු ගමනෙදි මට ඉස්කෝලෙ ශිෂ්‍යයෙක් විදියට වතාවන් කිහිපයකම රංගනයන් කරන්න ලැබුණා. අවසානයේ මීට මාස 3කට පෙරත් මගේම ගීතයක මියුසික් වීඩියෝවකට සම්බන්ධ වුණා. ඒ හැම මොහොතකම මට සිහිපත් වෙන්නෙම මගේ අතීතය. ඒ නිල ඇඳුම ඇඟට දාගත්තම දැනෙන්නෙ අමුතුම හැඟීමක්. හරිම ආසයි. නමුත් මම ආයෙත් ඉස්කෝලෙ යන්න නම් කැමති නැහැ. ඒ ගිය කාලෙ හැමෝම එක්ක ආදරයෙන් ගෞරවයෙන් ඒ කාලය වින්ඳා ඉගෙන ගත්තා, හැම දේම කළා. ඒ නිසා ඒ ආපු ගමනට ආපස්සට යන්න මට උවමනා නැහැ. නමුත් ඉඳලා හිටලා හරි යාළුවො හමුවෙලා කතා බහ කරලා එන්න නම් ලොකු කැමැත්තක් තියෙනවා.
ධනු විජේරත්න