නාඩගම්කාරයෝ ’ලෙල්ලා’ නිසා තමයි අද හැමෝම මා ගැන කතා වෙන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ තරුණ ශිල්පියාගේ නම ඉෂාන් නිලක්ෂ. නමුත් ඉතින් එයා ගැන ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂාගාරය නම් දන්නේ ලෙල්ලා කියලයි. ලෙල්ලා කියන නම ඒ චරිතයට ලැබුණු විදියත් අහම්බයක්. නාඩගම්කාරයෝ නාට්‍යයේ තවත් චරිතයක් ලෙස හමුවන මේ ලෙල්ලා කවුද?

කවුද මේ ඉෂාන්. රඟපාන්න ආවේ ඇයි?

 ඉස්කෝලේ යන කාලයේදී මුලින්ම නම් රඟපාන්න ආවේ. නාඩම්ගාරයෝ නාට්‍යයේ පළාත් සභා මන්ත්‍රී ලෙස රඟපාන දුලාංජ අයියාගේ හඳුනා ගැනීමත් එක්ක රඟපෑම ගැන හදාරන්න කියලා මාව උනන්දු කළා. සද්ධා සර්ගේ ඉන්ෆාස් ආයතනයට ගියේ ඉන් පස්සෙයි. එතැනින් තමයි ගමන පටන් ගත්තේ.

ඉෂාන්ගේ ගම?

දඹදෙණිය.

කියමුකෝ බලන්න ගෙදර විස්තර?

තාත්තා කරන්නේ ඩ්‍රයිවින් ජොබ් එකක්. අම්මා ඇඟලුම් ආයතනයක සේවය කරනවා. පවුලේ මායි - නංගිලා දෙන්නයි. අපි ගමේ හරි සාමාන්‍ය පවුලක්.

ගමේ ඉන්න නිසා පොල් ලෙලි ව්‍යාපාරයක් හැබෑවට කරන්න හිතුණේ නැද්ද? දඹදෙණිය පොල් එහෙම සරුවට තියෙනවනෙ?

පොල් තිබුණට ඒ ගැන අත්දැකීම් නම් නැහැ. පොල් ලෙලි බිස්නස් එකක් ගැන කවදාවත් හිතුවෙත් නැහැ.

ඉගෙන ගත්තේ මොනවා කරන්න හිතාගෙනද?

එහෙම ලොකුවට අරමුණක් තිබුණේ නැහැ. පාසල් ගියා ඒ වැඩ ටික කළා. 12 වසරේ සිටියදී ගුරුවරයෙක් වෙන්න තියෙනවා නම් කියන අදහස ආවා. ඒත් අරමුණ ඉෂ්ට වුණේ නැහැ. සද්ධා සර්ගේ ඉන්ෆාස් එකට ගිය නිසා නළුකමට අවස්ථාව ලැබුණා.

එක පාරටම නළුකමට හිත ගියේ?

මං අර ඉස්සෙල්ලා කිව්වේ පාසල් කාලයේදී වේදිකා නාට්‍යවල වැඩ කළා. ඒ කාලයේදී 12 වසරෙදි රාජ්‍ය නාට්‍ය උළෙලට අපි ළමයින්ගේ මල් වත්ත කියලා නාට්‍යයක් කළා. මම ඉගෙන ගත්තේ දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ. 2018 දී ආයෙත් ළමා නාට්‍යයක් කළා. ඒකෙත් රඟපෑවා. එදා අපේ පාසලට තමයි ඒ නාට්‍ය නිසා දෙවැනි ස්ථානය ලැබුණේ. ආයෙත් 2018 දී. රාජ්‍ය – නාට්‍ය උළෙලට කෙටි නාට්‍යයක් යොමු කළා. මගේ සර් කෙනෙක්. ඒකේ නම ප්‍රේමී කවි නඩුව. ඒ විදියට නළුකම ටික – ටික කරගෙන ගියා.

ටෙලි නාට්‍යයකට මුලින්ම ආවේ?

සද්ධා මංගල සූරියබණ්ඩාර සර්ගේ අග්නි පියාපත් නාට්‍යයේ පුංචි චරිතයක් රඟපෑවා. ඉන්පස්සේ හිත නිවන කතා නාට්‍යවල රඟපෑවා. ඒ අතරෙදි කළම්ඹු ටෙලි මාලාවේ සුමියා කියන චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණා. ඒ චරිතය රඟපාමින් සිටියදී තමයි නාඩගම්කාරයෝ ලෙල්ලා චරිතය මට ලැබුණේ.

අද කොහොමද ප්‍රතිචාර?

නාඩගම්කාරයෝ ‘‘ලෙල්ලා නිසා තමයි අද හැමෝම මා ගැන කතා වෙන්නේ.

 

සැබෑ ජීවිතයේදීත් ලෙල්ලා විදියද?

ඊට වඩා වෙනස්

මොන වගේද?

කොහොමද ඒක කියන්නේ.

ආරංචි විදියට නම් කන – බොන අනෙක් තරුණයින් එක්ක නිතර ගැවසෙන තරුණයෙක් කියලයි.

ඔව්. එහෙම තමයි. ගමේ ඔක්කෝමලා වගේ මගේ යාළුවෝ. තරහා කාරයෝ මට නැහැ. ගමේ ඔක්කෝමලා මට ආදරෙයි. නාට්‍ය නරඹලා හොඳයි කියලා තමයි ඒ අය කියන්නේ.

ඉෂාන්ට ඉෂාන් ගැන හිතෙන්නේ කොහොමද?

ජොලියට බර නිතර හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න කොල්ලෙක්. හරිම සරලයි.

ලෙල්ලා සහ සුමියාගේ චරිත හැර තව වෙන මොනවද චරිත?

දැනට නම් මේ චරිත දෙක විතරයි. ලෙල්ලා කියලා නෙවෙයි සද්ධා සර් මුලින්ම නම දාලා තිබුණේ. කොණ්ඩ බඩා චමින්ද කියලයි. පස්සේ ලෙල්ලා කියලා නම දාන්න මුල් වුණේ සජිත ඇන්තනී අයියා. ඒකට සහාය දුන්නේ සංගීත් ප්‍රභූ, පසිඳු සහ විරාජ් අයියා. ඒ ගොල්ලෝ තමයි මාව ලෙල්ලා කළේ. දැන් මට ඉෂාන් කියන්නෙත් නෑ නිලක්ෂ කියන්නෙත් නැහැ. ලෙල්ලා කියලා කියන්නේ.

කොහොමද ඉතින් ලෙල්ලා වෙච්ච ඉෂාන්ගේ ප්‍රේමියගේ විස්තර?

අනේ මට කෙල්ලෙක් තවම නැහැ. ඉස්සෙල්ලා වෘත්තිය හරියට කරගෙන ඉන්න එපැයැ.

නළුකම දිගටම කරන්නද කල්පනාව?

නළුකම හදාරමින් දිගටම කරගෙන යාමට උපරිම වෙහෙසෙනවා. ඒ හැර අපේ මාමා කෙනෙක් ඉන්නවා. එයා එක්ක ෆොටෝග්‍රැෆ කරනවා.

ලෙල්ලා ගමේ ඉඳලමද එන්නේ?

ඔව්, සමහර දාට යාළුවන්ගේ ගෙවල්වල නතර වෙනවා.

නාඩගම්කාරයෝ කණ්ඩායමේ යාළුවෝ කවුද?

අනේ ඔක්කෝමලා හොඳ යාළුවෝ. බොක්කේ යාළුවෝ කිව්වොත් තමයි හරි. ඒක හරියට එක පවුලක් වගෙයි. මට සජිත අයියගෙන් වගේම අනෙක් හැමෝගෙන්ම මාර සපෝට් එකක් ලැබෙන්නේ. කිරි පුතා, සුද්දා, කවඩියා, කැමරා අධ්‍යක්ෂ ඇතුළු ඔක්කෝමලා මට මාර සපෝට්. ශිවා සර් කොහොමත් මගේ ගුරුවරයෙක්නේ. ඉතින් බොහෝ දේ කියලා දෙනවා. සද්ධා සර් සහ ඉන්ෆාස් ආයතනයේ චේතනී මිස්, බොහොම ගෞරවයෙන් මතක් කළ යුතුමයි.

Once Upon Time  කළම්ඹු නාට්‍යයේ මැර චරිතයක්නෙ කරන්නේ, සැබෑ ජීවිතයේදීත් ඒ වගේ පාට් දාලා තියෙනවද?

ඒ කාලයේ පාසල් යන කාලයේදි නම් බරටම ඒ වගේ රණ්ඩු කර ගත්තා. මගේ දේකට නෙවෙයි. යාළුවකුට මොනවා හරි දෙයක් කිව්වාම මාත් ඒවාට පැටළුනා. දන්නේ නැද්ද ඉතින් විසේකාර තරුණකමටනෙ. ඒවා ඉතින් දුරදිග ගිය ඒවා නෙවෙයි.

ලෙල්ලා ගේ වයස?

අවුරුදු 23යි.

දැනට බාර ගත්ත වෙනත් චරිත මොනවද?

Key (යතුර) නාට්‍යයේ චරිතයක් ලැබිලා තියෙන්නේ.

ආදර යෝජනා එහෙමත් එනවා ඇති?

තවම එහෙම නැහැ, හොඳ යෙහෙළියන් පිරිසක් නම් මට ඉන්නවා. ආදරය ප්‍රේමය ගැන තවම මට එච්චර ලොකු වැටහීමක් නැහැ. ආදරය – ප්‍රේමය මොකක්ද කියලා මාත් හොයමින් ඉන්නේ.

ගමේ ඉන්නකොට මොනවද කරන්නේ?

තාත්තා ගෙදර ඉන්නවා නම් නිතරම කතා කරනවා, එන්න වගා කරන දේට උදවු වෙන්න කියලා. සපෝට් එක දුන්නේ නැත්නම් බැණුම් තමයි.

ලෙල්ලාට වගේ ලෑන්ඩ් මාස්ටර් එක පදින්න පුළුවන්ද?

පදින්න පුළුවන්. හැබැයි ස්ටාර්ට් කරන්න බැහැ. එක පාරක් ස්ටාර්ට් කරන්න ගිහින් ලොකු අකරතැබ්බයක් වුණා.

නාඩගම්කාරයෝ රත්නා සහ ලෙල්ලා එක පවුලේ අය වගේ පෙනුම නේද?

ඔව්. ඒක බොහෝ දෙනෙක් කියන දෙයක්. මගේ කොණ්ඩය රැවුල කැපුවාම මුහුණුවර හරියට ඒ වගේයි. මම පොඩි කාලයේදීයි, ඒ මල්ලි පොඩි කාලයේදීයි එකම පෙනුම. සමහරු මගේ ෆේස් බුක් එකේ මැසේජ් එවන්නේ එයා මල්ලිද කියලා අහලයි.

සඳුන් ගමගේ