නටලම ගොඩගිය එකෙක් මම - ලලිත් පැරකුම්
ලලිත්... මේ දවස්වල ප්රචණ්ඩ එක්ක කාර්යබහුලවෙලා. මොකක්ද මේ වැඩේ?
ප්රචණ්ඩ කියන්නෙ ලංකාවේ පවත්වන අති දැවැන්ත නර්තන ප්‍රසංගයක්. මේක මම තනියම කරන වැඩක් නෙමෙයි. මෙම ප්‍රසංගයට නර්තන ශිල්පීන් වගේම නළු නිළියන් රැසක් සහභාගි වෙනවා. ඒ වගේම ලංකාවේ අංක එකේ නර්තන නිර්මාණකරුවන් මෙම ප්‍රසංගයට සහභාගි වෙනවා. ලංකාවේ මෙතෙක් පැවැත්වූ රියැලිටි නර්තන ප්‍රසංග ජයග්‍රහණය කළ මගේ දරුවන් මෙම ප්‍රසංගයේ නර්තනයෙන් එකතු වෙනවා. ප්රචණ්ඩ කියන නමේ තේරුමත් එක්ක එදා මෙදා තුර නොකළ අති දැවැන්ත නර්තන ප්‍රසංගයක් පැවැත්වීමට අපි සූදානම්.
කවදද ප්රචණ්ඩ පැවැත්වෙන්නෙ?
මෙම ප්‍රසංගය අප්‍රේල් මාසෙ හයවැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි. එදින සවස හයට අපි ප්රචණ්ඩ ආරම්භ කරනවා.
ප්රචණ්ඩ කාලයක් තිස්සේ ලලිත්ගේ හිතේ තිබුණු හීනයක්ද?
ඔව්.. මේ ප්‍රසංගය මම 2019 වසරේදි පැවැත්වීමට සූදානම් වුණු නර්තන ප්‍රසංගයක්. හැබැයි මේ තරම් දැවැන්ත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වුණේ නැහැ. හොරණ ශ්‍රීපාලි රංග ශාලාවේදී තමයි පවත්වන්න සූදානම් වුණේ. මට මගේ පාසලේ ඉගෙන ගන්න දුවා දරුවන්ගේ හැකියාවන් පෙන්වන්නයි ඕන වුණේ. නමුත් කොවිඩ් තත්ත්වයත් එක්ක අපිට ඒ බලාපොරොත්තුව ඒ කාලෙදි ඉෂ්ඨ කර ගන්න බැරි වුණා. කොහොම හරි කොවිඩ් ප්රශ්නය මැද සැනසිල්ලක් ලැබුණට පස්සේ ආයෙත් ලංකාවේ පළවෙනි නර්තන ප්‍රසංගය විදිහට මගේ නර්තන ප්‍රසංගය පටන්ගන්න ඕන වුණා. ලංකාවේ ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙක් සහභාගි කරගෙන ලංකාවේ දැවැන්ත ප්‍රසංගයක් කරන්න මට ඕන වුණා. ඇත්තම කිව්වොත් මේක මගේ හීනයක්.
ලලිත්ගේ නර්තන පාසලේ දක්ෂ ගුරු මණ්ඩලයක් ඉන්නවා. මේ ප්‍රසංගයට ඔවුන්ගේ නර්තන විශේෂාංගත් ඉදිරිපත් කරනවද?
ඔව්.. රියැලිටි නර්තන කලාවේ ඉතා දක්ෂ ජනප්‍රිය නර්තන නිර්මාණකරුවෙක් වන ගයාන් ශ්‍රීමාල් මහතාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඔහු ලංකාවේ වෙනම ආරයක් හදාගත්තු කෙනෙක්. ඒ වගේම මගේ අයියා කමල් ආදරයෙන් මතක් කරනවා. මම නර්තන ශිල්පියෙක් වෙන්නෙ මගේ අයියා නිසායි. ඔහු ඉතා දක්ෂ නර්තන ශිල්පියෙක්. සාරා අබේවර්ධන, ජෝති, අමා, අවිශ්ක, නිලමේ, අයේෂ් වැනි ගුරු මණ්ඩලය ආදරයෙන් මතක් කරනවා. අපි හැමෝගෙම එකතුවෙන් තමයි ප්රචණ්ඩ බිහිවෙන්නේ. මීට අමතරව මට බොහෝ පිරිසක් මේ වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා. මට මේක තනියම කරන්න බැහැ. මම ලංකාවේ වගේම ජාත්‍යන්තර ජයග්‍රහණ බොහොමයක් දිනපු කෙනෙක්. මට මේ පිරිසත් එක්ක එකතුවෙලා ප්රචණ්ඩ කරන්න ඕන වුණා. මේ වෙද්දි ලංකාව පුජා මගේ නර්තන පන්ති තිස් හතරක් තියෙනවා. මේ පන්ති තිස් හතරෙම දරුවන් තෝරාගෙන මම මේ ප්‍රසංගය පවත්වනවා. ඔවුන්ගෙන් දක්ෂ දරුවන් දෙසිය පනස් දෙනෙක් තෝරාගෙන මම මේ ප්‍රසංගය පවත්වනවා.
ඔබගේ නර්තන පාසලේ ඉගෙන ගන්න දරුවන්ගේ වයස් සීමාවක් තියෙනවද?
අවුරුදු තුනේ සිට දරුවන් මගේ නර්තන පාසල්වලින් ඉගෙන ගන්නවා. අවුරුදු දෙකහමාරේ සිට තුන දක්වා දරුවන්ගෙන් මම පන්ති ගාස්තු ගන්නේ නැහැ. සමහර චූටි දරුවෝ ඇවිත් බලාගෙන ඉඳලා යනවා. මේ ප්රසංගයේදිත් අවුරුදු තුනේ සිට දරුවන් ප්රචණ්ඩ නර්තන ප්‍රසංගයට සහභාගි වෙනවා. අප්‍රේල් මාසයෙන් පසුව ආයෙත් අපේ නර්තන පාසලට දරුවන් බඳවා ගන්නවා. පසුව අපේ වෙස් මංගල්‍ය පවත්වන්නත් සූදානමින් ඉන්නවා.
ප්රචණ්ඩ බලන්න කැමති අයට ඒ සඳහා අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?
මේ වෙද්දි අපේ ප්රචණ්ඩ නර්තන ප්‍රසංගයේ ප්‍රවේශ පත් සියල්ලම විකිණී හමාරයි. දින හයක් ඇතුළත සියලුම ප්‍රවේශ පත් අලෙවි වුණා. ලංකාවේ වගේම විදෙස් රටවල් කිහිපයකින්ම මේ ප්‍රසංගය නැරඹීමට පැමිණෙනවා. මගේ පාසලේම දරුවන් එක්දහස් පන්සීයක් පමණ සිටිනවා. ලංකාවේ ජනප්‍රිය YouTube නාලිකා කිහිපයක්ම මෙම ප්‍රසංගය ඔවුන්ගේ නාලිකාව ඔස්සේ ප්‍රදර්ශනය කරාවි. ඒ නිසා ඒ ඔස්සේ මෙය නරඹන්න හැකියාව ලැබේවි.
ප්රචණ්ඩ ඇරඹුමක් පමණක්ද?.
ඔව්.. මම හැමවෙලේම වෙනස් දේවල් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මිනිසුන් මට ආදරය කළා. අපේ ආගම දහම, සංස්කෘතිය රුකගෙන මම වෙනස් දේවල් කළා. ලෝක නර්තනයට භයානක තත්ත්වය ගෙනාවේ මමයි. ඒකෙදි කිසිම කෙනෙක්ට අනතුරක් නොවෙන්න මම ඒ ඉදිරිපත් කිරීම් කළා. මේ ප්‍රසංගයත් ලොකු වෙනසක් වේවි. මම පාරේ කපුරු බෝල විකුණපු කොල්ලෙක්. අද වෙනකොට මම ජීවිතේ බොහෝ දේවල් දිනාගෙන තියෙන්නෙ මේ නර්තන හැකියාව නිසායි. මම ජීවිතේ ගොඩ ගියේ නර්තනය නිසායි.
දිශානි ජයමාලි